114 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමින් ශ්‍රී ලාංකීය සමාජයට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙහෙවරක් කරන කාන්තාවන් ඇගයීම “ලක් වනිතා අභිමානී” සම්මාන උළෙල මාර්තු 08 වැනි දා සවස් භාගයේදී බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී උත්සවාකාරයෙන් සිදුවිය.
පක්ෂ විපක්ෂ දේශපාලන සහ වර්තමාන සමාජයේ ක්‍රියාකාරී කාන්තා පුරුෂයන් රැසක් පිරිවරාගෙන පැවති ලක්වනිතා අභිමානී 2025 දී “වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පත” ලෙස නවලිය කාන්තා පුවත්පත විද්වත් ජූරියක් විසින් තෝරාගෙන තිබූ අතර නවලිය ඒ සඳහා මෙහෙයවීම වෙනුවෙන් නවලිය පුවත්පතේ කතුවරිය හරින්දී ලියනගේට එම සම්මානය හිමි විය.
ඇයට හිමි සම්මානය ලබාදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ ප්‍රධානී සජිත් ප්‍රේමදාස, ලක් වනිතාභිමානී සම්මාන උළෙල සංවිධානය කළ Iconic Award පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා දෙව්මිනී අතපත්තු, කළමනාකාර අධ්යක්ෂ අසංක අතපත්තු, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කැඳවුමකාරිනිය අප්සාරි සිංහබාහු තිලකරත්න සහ ව්‍යවසායිකා ටානියා අබේසුන්දර යන අය එක්විය.
ඊට අමතරව ගුවන් විදුලි සහ රූපවාහිනී යන විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේත්, සමාජ මාධ්‍ය සහ කලා, පරිපාලනය, අධ්‍යාපන, බැංකු, සංචාරක, කර්මාන්ත, රූපලාවණ්‍ය, රූපලාවණ්‍ය නිෂ්පාදනය, මැහුම්, ආයුර්වේද, කේක් නිෂ්පාදන වැනි විවිධ ක්ෂේත්රවල දස්කම් පාමින් ඉදිරියට පැමිණි කාන්තා පෞරුෂයන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර කාන්තාවක වශයෙන් සමාජයට කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක් වරක් ලැබෙන Life time achievement awards යන ගෞරවනීය පිදීම කලා ක්ෂේත්රය වෙනුවෙන් ප්‍රවීණ රංගවේදනී සුසිලා කෝට්ටගෙටත්, රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන් කළ දායකත්වය සඳහා වනිතා කරුණාරත්නටත් හිමි වීය.
ගැයුම් රැගුම් රැසක් මැද විචිත්‍රවත් දැයට වැඩ කරන කාන්තාවන් ඇගයීම ලක් වනිතා අභිමානී Iconic Award පුද්ගලික සමාගම මෙවර පවත්වන ලද්දේ දෙවන වරටයි
● ඡායාරූප – ඩයන් ප්‍රදීප්