ඉගෙනීමට අපි සැවොම ආසා කරමු. එහෙත් නිසි ක්‍රමය නොදනී නම් ඉගෙනුම අසාර්ථක වේ. අද නවලියෙන් ඔබට ඉදිරිපත් කෙරෙන්නේ වේගවත්ව ඉගෙනීම කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රම 10කි.
ඔබට මතක තබා ගැනීමට අවශ්‍ය දේවල් ශබ්ද නගා කියන්න
නිහඬව නොකියවා ශබ්ද නඟා කියවීම වැනි කාර්යශීලී ක්‍රමයක් අනුගමනය කරන විට ඒ මතකය දිගු කාලීනව පැවතෙයි.
සටහන් තැබීමේදී යතුරු පුවරුව වෙනුවට අත්අකුරු භාවිත කරන්න
වේගයෙන් ටයිප් කළ හැකි බව සත්‍යයකි. එහෙත් පර්යේෂකයින් පවසන්නේ අත් අකුරින් සටහන් තැබිම තුළින් වැඩිමනත් දෙයක් ඉගෙන ගත හැකි බවය.
ඔබේ අධ්‍යයන සැසි කොටස් කරන්න
එකවර යමක් ඉගෙනීම වෙනුවට කොටස්වලට බෙදා අධ්‍යයන කිරීම වඩා ඵලදායී වේ. එසේම යම් සටහනක් සකස් කළ පසු එය වරක් සෝදිසි කරන්න. ඉන්පසුව වැරදි නිවැරදි කිරීම් සහ වෙනස් කිරීම් සඳහා විනාඩි කිහිපයක් ගත කරන්න. වෙනත් විෂයකට මාරුවී පසුව එම විෂයට නැවත එන්න. වරින්වර මතක් කිරීමේදී මතකයට නගා ගැනීම දිගුකාලීන මතක ශක්තිය ඇතිකරයි.
සන්දර්භීය විචල්‍යතාව නම්වූ තවත් න්‍යායකින් පැවසෙන්නේ අප යම් මතකයක් ගබඩා කරගැනීමේදී එම අවස්ථාවේ අවට පරිසරයද මතකයේ තැන්පත් කෙරෙන බවයි. එවිට ඒ එක් අවස්ථාවක් මතකයට ගැනීම මගින් ඒ හා සම්බන්ධ අනෙක් මතකයන් ආවර්ජනය කිරීම පහසු කරයි.
ඔබ උගත් දෑ වෙන කෙනෙකුට උගන්වන්න
ඔබ උගත් දෑ අන් අයකුට විස්තර කර දීමෙන් එය වඩා හොඳින් වටහා ගැනීමට සහ මතකයට නැගීමට පහසු වේ.
ඉගෙනුම ලබන පරිසරය වෙනස් කරන්න
ඉගෙනුම ලබන පොත්පත් සමග බහුවිධ ඇසුරක් ලැබීමට අවස්ථා සැලසීම පරිසරය වෙනස් කිරීමේ අරමුණයි. එමගින් මොළයේ කරුණු රඳවා ගැනීම පහසු වේ. වෙනස් කාමර, වෙනස් ස්ථාන, වෙනස් මාර්ගගත ප්‍රවේශ මෙන්ම පොත්පත්ද වරින්වර වෙනස් කරන්න.
ස්වයං පරීක්ෂාව
ඔබ ඔබගෙන් ප්‍රශ්න අසමින් ඔබගේ දැනීම පරීක්ෂා කර බලන්න. ඔබ වැරදි පිළිතුරක් ලබාදෙන්නේ නම් නිවැරදි පිළීතුර නැවත මතකයට ගැනීමෙන් ඔබගේ මතකය තවත් ස්ථාවර වේ.
පාඩම් කිරීමෙන් පසු හොඳින් නිදා ගන්න
අප නිදා සිටින විට අප ඉගෙනගත් තොරතුරු මොළය වඩා හොඳින් ගබඩා කරයි. පැය 7-9 අතර නින්දක් ඉලක්ක කරගන්න. එය තොරතුරු සංවිධානය කර ගැනීමට සහ ගබඩා කිරීමට මොළයට ලබා දෙන සුදුසුම අවස්ථාවයි.
විවිධ විෂයයන් මිශ්‍ර කරන්න
එකවර විෂයයන් හෝ මාතෘකා කිහිපයක් ඉගෙනීම ඔබේ මොළයට විවිධ සංකල්ප සම්බන්ධතා ඇතිකර ගැනීමට සහ ඉගෙනීම දියුණුකර ගැනීමට පිහිටකි.
ක්‍රියාකාරීව මතකයට නැවීම
නිශ්චල සමාලෝචනය වෙනුවට මතකයේ ඇති තොරතුරු නැවත කැඳවා ගැනීමට උත්සාහ කරන්න. එමගින් ස්නායු මාර්ග ශක්තිමත් කරමින් ඉගෙනීමේ කටයුතු දියුණු වෙයි. පොත වසා මතකයේ ඇති සියලු දේ ලියන්න. එමගින් සක්‍රියව තොරතුරු ලබාගැනීමේ මාර්ගය දියුණුවෙයි.
සැබෑ ලෝකය හා සම්බන්ධ කරන්න
ඔබ උගත් දේ සැබෑ ජීවිතයේ උදාහරණ සමග සැසඳීමෙන් නව තොරතුරු සම්බන්ධ කර ගැනීම සහ වඩාත් අර්ථවත් ලෙස ඒවා මතකතබා ගැනීමට උපකාරී වෙයි.
https://www.inc.com ඇසුරිනි
සුනිල් අල්ගම ✍️