අපි හැමෝමගේම ජීවිතේ රඳාපවතින්නේ ආහාරයි ජලයයි එක්ක. මේ දෙකෙන් එකක් හරි නැති වුණොත් මනුස්සයෙක් මැරෙනවා. කුසගින්න කියන්නේ හැම මනුස්සයෙක්ටම දැනෙන දෙයක් කෑම කඩවල්වලට කෑම විකුණන්නේ මිනිස්සුන්ගේ කුසගින්න නිවන්න. ඒත් ගොඩක් කඩවල කෑම විකුණන්නේ සැර ගණන්වලට. ඒ වගේ කඩ අතරින් මිනිස්සුන්ට නොමිලේ කෑම දෙන කඩයක් අපට හම්බවුණා. මේ කඩේ කරන්නේ නිශාන්ත හෙට්ටිආරච්චි.
ඇයි කැලේ කඩේ කියල නම දැම්මේ?
කැලේ කඩේ ඉස්සර කැලේ මැද දාල තිබුණේ. ඒ නිසා කට්ටිය කියන්න පුරුදු වුණා කැලේ කඩේ කියලා. දැන් නම් කඩේ තියෙන්නේ මුලටියන රක්ෂිතයෙන් මීටර් 100 වගේ එළියෙන්.
කොහොමද කැලේ කඩේ පටන් ගත්තේ?
මම මුලින් වෙන කඩවල උයන පිහන වැඩ, කැෂියර් එකේ වැඩ කළා. ඒ අත්දැකීම් නිසා හොඳට උයන්න පිහන්න මට පුළුවන්. ඒ නිසා මට මගේම කියල කඩයක් කරන්න හිතුණා. මුල්ම කාලේ නම් කඩ කළේ බද්දට. බදු මුදල් දීලා කඩේ කරගෙන යද්දිත් මේ සේවාව දිගටම කරන්න අමතක කළේ නැහැ. රක්ෂිතය ආසනයේ ගෙදර හැදුවට පස්සෙ ගෙදර ළඟම කඩේ හැදුවා. ඒ විදියට තමයි කැලේ කඩේ ආරම්භ කළේ.

කැලේ කඩේට එන පාරිභෝගිකයෝ හරි සතුටින් යන්නේ. මොකක්ද ඇත්තටම හේතුව?
කඩේ කෑම පිරිසිදුවට රසට තියෙන නිසා ගොඩක් අය සතුටින් කෑම කාලා යනවා. ඒ වගේම කඩ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. කැලේ කඩේ නම් තාම පටන් අරන් අවුරුදු දෙකක් වගේ.
මේ අවුරුදු විස්සෙම කඩ කරද්දී ගැබිණි අම්මලාගෙන්, භික්ෂූන් වහන්සේලාගෙන් කෑමවලට සල්ලි ගත්තෙ නැහැ. ඒ වගේම සමහර අය කඩේට එනකොට වාහානවල තෙල් ඉවර වෙනවා. ඒ වෙලාවට නොමිලේ වාහානෙට තෙල් දෙන්නත් අමතක කරන්නෙ නැහැ. පිටින් කෑම ගේන අයට නිදහසේ කාල යන්න පුළුවන්. ඒ අයටත් ව්‍යංජන ලබා දෙනවා.
ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුණේ?
මම නෝනයි බබාලයි එක්ක කතරගම ගියා. ගෙදරින් බත් පැකට් හදාගෙන ගියේ කන්න. ඒත් අපි ගියපු කඩේ පිටින් ගෙනාපු කෑම කන්න දෙන්නෙ නැහැ. ඒ නිසා මමයි ගෙදර අයයි හරි අපහසුතාවයට පත් වුණා. ඒ සිදුවීමත් හේතු වුණා මේ වගේ දෙයක් කරන්න. ඒ වගේම මට පුළුවන් විදියට හැමෝටම උදව් කරන්න කැමතියි.
ලාභයක් තියෙනවද මේ විදියට එන අයට ආහාර නොමිලේ දුන්නම?
ඔව්. මගේ කඩේ මම කරන සේවාව නිසාම මිනිස්සු අතරට යනවා. දුර ගමන් යන අය සංචාරයට එන අය වගේම නිතරම පුරුද්දට වගේ මගේ කඩෙන්ම කන්න එන කොටසක් ඉන්නවා. ඒ නිසා හොඳ ලාභයක් තියෙනවා.

රහට උයන්න සේවකයෝ කී දෙනෙක් වැඩ කරනවද ?
මහ ගොඩක් සේවකයෝ නැහැ. මගේ බිරිඳයි දුවයි මට උදව් කරනවා. කෑම උයන පිහින වැඩ ඔක්කොම කරන්නේ අපි එකතු වෙලා.
මොනවගේ අයද කඩේට එන්නේ?
කම්කරුවන්ගේ ඉඳල විධායක මට්ටමේ නිළධාරිනුත් මේ කඩේට එනවා. ඇවිදින්න යන අයත් එනවා. දුර ඉදන් එන අයතමයි ගොඩක්ම එන්නේ.මුලින් නම් රයිස් කොත්තු දැම්මා. ඒත් දැන් නම් තියෙන්නේ බිත්තර රොටී, රෝල්ස්. පරාට, එළවළු රොටී, ගෝදම්බ රොටී වගේ කෑම වර්ග.
රසකාරක දානවද කෑමවලට?
එහෙම ශරීරයට අහිතකර කිසිම දෙයක් එකතු කරන්නෙ නැහැ. ෆ්‍රිජ් එකක් පාවිච්චි කරන්නෙ නැහැ. එක දවසක හදන ශෝටිස් ඒ දවසෙම විකුනනවා.
සල්ලි ගන්නෙ නැති නිසා අපහසුතාවය පත් වෙන අය ඉන්නවා. එහෙම කෙනෙක් ආවොත් මොකද කරන්නේ?
ඔව් සමහර ප්‍රෙග්නන්ට් අම්මල ආවම සල්ලි බලෙන් හරි දෙනවා. ඒ වගේ වෙලාවට නොගෙන හිටියම අම්මලා අපහසුතාවයට පත් වෙන නිසා සල්ලි ගන්නවා. එහෙම සල්ලි දෙන අම්ම කෙනෙක් රොටී තුනකට සල්ලි දුන්නත් ඒ වෙනුවට රොටී හයක්ම දෙනවා. වාහානවලට තෙල් දුන්නමත් සමහරු තෙල් ගෙනල්ල දෙනවා තව කෙනෙක්ට මේ වගේ උදව් කරන්න කියලා.
කොහොමද රසට කෑම උයන්නේ?
කඩවල් කිහිපයක වැඩ කරල ලබපු අත්දැකීම් එක්ක රසට උයන්න දන්නවා. කෑම හදද්දී හොඳම අමුද්‍රව්‍ය දාල පිරිසිදුවට හදනවා. ඒ වගේම දවස ඇතුළත ඉතිරිවෙන කෑම අවට අයට බෙදල දෙනවා.
මොනවද ආපු අභියෝග?
කැලේ කඩේ දාල ටික දවසකින් කඩේට ගිනි තියල තිබ්බා. ඒ කාලේ අලාභ හානි වුණා. ඒ නිසා කඩේ තිබ්බ ගොඩක් බඩු පිච්චුන නිසා අලුතින් ආපහු බඩු ගේන්නත් ලොකු වියදමක් ගියා. ඒත් මොන බාධකයක් ආවත් ඉස්සරහටම ගියා.
කොහොමද කඩේට එන්නේ?
මුලටියන පැත්තේ ඉඳන් ඇවිත් මුලටියන රක්ෂිතය පහු වෙද්දී පාරෙන් වම් අත පැත්තේ තමයි කඩේ තියෙන්නේ.
පවනි දිලේකා ✍️