මාෂි සිරිවර්ධන – පුබුදු චතුරංග
මායා, ප්‍රවේගය කියන්නේ අපි හැමෝම ආසාවෙන්ම බලපු චිත්‍රපට දෙකක්. ආසාවෙන් බලන්න ගියත් මේ චිත්‍රපට දෙකේම තිර රචනය කළේ කවුද කියන එක ගොඩක් අය නොදන්න කාරණාවක්.ඇත්තටම මේ චිත්‍රපටවල තිර රචනය කළේ පුබුදු චතුරංග. පුබුදු කියන්නේ තිර රචකයෙක් වෙන්න ආසාව නිසාම කලා ක්ෂේත්රයට පිවිසුණු, ඒත් අහම්බෙන් නළුවෙක් වුණු කෙනෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන තමයි පුබුදුගේ හයිය. පුබුදු කියන විදියට හිත නිදහසේ ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ මාෂිගෙන් ලැබෙන නිදහස නිසා. දැන් මේ පුංචි පවුලට අලුත් සාමාජිකාවක් එකතු වෙලා. ඒ නිසාම මේ පාර අලුත් අවුරුද්දත් හරි ලස්සනට දැනෙනවා කියලයි මාෂි සහ පුබුදු අපට කිව්වේ.
මාෂි කොහොමද බබත් එක්ක ගත කරන ජීවිතේ?
වචනවලින් කියන්න බැරි තරම් සුන්දරයි. මම පොඩි කාලේ ඉදන්ම බබාලට ආසයි. ඒ දවස්වල ඉස්කෝලේදී අහනවනේ අනාගතයේ වෙන්න කැමති කවුද කියල. මගේ යාළුවෝ ඉන්ජිනියර් කෙනෙක්, ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි කියද්දී මම කියල තියෙන්නේ අම්ම කෙනෙක් වෙන්න ආසයි කියල. මම පොඩි කාලේ ඉදන්ම දැක්කේ අම්මයි තාත්තයි ආදරෙන් ඉන්න විදිහ. ඒ දෙන්නගේ ආදරේ මං හරි ලස්සනට වින්ඳා. ඒ නිසා ලොකු වෙනකම්ම ඒ හීනේට මම ආස වුණා. අම්ම කෙනෙක් වෙනව කියන්නේ ලොකු වගකීමක්.
ඒත් ඒ වගකීම මම කරන්නේ ආසාවෙන්. මගේ පිටිපස්සෙන් පුබුදු අයියත් අම්මත් ඉන්න නිසා බබාගේ වැඩ වගේම මගේ වැඩත් හිතේ සැහැල්ලුවෙන් කරගන්න පුළුවන් වෙලාච තියෙනවා.
පුංචි පැටියගේ නම මොකක්ද?
එයාගේ නම යේළි කෙයාරා. පුබුදු තමයි බබාට නම දැම්මේ. බබා හම්බවුණේ කැනඩාවේ. බබා හම්බවුණු වෙලාවත් එක්ක නැකැත් බලල තමයි එයා නම දැම්මේ. යේළි කෙයාරා කියන්නේ පෘතුවියේ මිතුරියට. පුංචි දරුවෝ හැමෝම පොඩි කාලේ මල් වගේ. හිත්වල නපුරුකම් නැහැ. ඒක අපි යේළිගෙනුත් දකිනවා.




පළවෙනි වතාවටද දුවත් එක්ක ලංකාවේ අවුරුදුවලට ඉන්නේ?
නැහැ. පුබුදු අයියගේ අම්මටයි තාත්තටයි පෙන්නන්න දුවට මාස හතරක් වෙද්දී අපි කැනඩාවේ ඉඳන් ලංකාවට ආවා. අම්මල හරි ආසවෙන් හිටියේ බබාව බලන්න. ඊට පස්සේ ආපහු කැනඩාවට ගිහින් දෙවෙනි වතාවට තමයි දැන් මේ ආපහු ඇවිල්ලා ඉන්නේ. දුවත් ලංකාවට දැන් ගොඩක් ආසයි. ආච්චි අම්මල එක්ක එයත් එකතුයි. වෙන රටක ඉන්නවට වඩා තමන් ඉපදුන රටේ ඉන්නකොට හිතට දැනෙන සැහැල්ලුව වචනයෙන් කියන්න බැහැ. ඒ නිසා මමත් ආසයි ලංකාවේ වැඩියෙන් ඉන්න.
බබා ලැබුණට පස්සේ මාෂිට රඟපාන්න අවස්ථාවක් එහෙම ලැබුණේ නැද්ද?
බබා හම්බවුණාම මම හිටියට වඩා ගොඩක් මහත් වුණා. බර කිලෝ ග්‍රෑම් 85 ක් විතර වුණා. බබාට තියන ආදරේ නිසා මට මහත් වෙලා කියන එක තේරුණේ නැහැ. ආපහු ලස්සනට ඉන්න කියල මාව උනන්දු කළේ මගේ අම්මා. ඒ නිසා මං ගැනත් හිතල බර අඩු කරගන්න ඕන කියල හිතුණා. ඒ වගේම කැනඩාවේ ඉදිද්දී ඔඩිෂන් එකක් තිබ්බා ටැමිල් මූවි එකකට.
මම ඒ ඕඩිෂන් එකට ගියා. ඒ ඔඩිෂන් එකෙන් මාව තෝරගෙන තිබුණා. මම ඒ ඔඩිෂන් එකට යද්දී මහතට හිටියේ. මාව තෝරගනිද්දී මගේ ඉන්ස්ට්‍රග්‍රෑම් බලලා මං ගැන විස්තර හොයාගෙන තිබුණා. මගේ කලින් ෆොටෝස් දැකලා මමද ඒ ඉන්නෙ කියලත් එයාලා ඇහුවා. මට බබෙක් ඉන්න නිසා තමයි මහත් වෙලා ඉන්නේ කියල මම කිව්වා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටයි මාව තෝරගෙන තිබ්බේ.
හැබැයි කලින් විදියට ඇග හදාගත්තොත් තමයි ගන්නෙ කියල මට එයාලා කිව්වා. ඒක මට ලොකු මෝටිවේෂන් එකක් වුණා. ඒ නිසාම මාස දෙකක් යද්දී බර අඩු කරගන්න පුළුවන් වුණා. ඔඩිෂන් එකේ හිටිය අයත් පුදුම වුණා මගේ වෙනස දැකලා. ඒ චිත්‍රපටයේ නම අකශියා. මේ අවුරුද්දේ ෆිල්ම් ටේ්රලර් එක එයාලා රිලීස් කරනවා.මම හරි ආසාවෙන් ඒ චිත්‍රපටය ඇක්ට් කළේ. ටැමිල් සහ ඉංග්‍රීසි භාෂාවලින් තමයි චිත්‍රපටය කළේ. මම ටැමිල් ඩයලොග් පාඩම්කරගෙන කොහොමහරි ෆිල්ම් එක කළා. ඒක මට ලොකු අභියෝගයක් වුණා.
කොහොමද දැන් ගෙවෙන ජීවිතය ගැන දැනෙන්නේ?
කලින් තිබුණ නිදහසම නැහැ. ඒත් ඒ නිදහස අඩු වුණත් සතුටින් ගත වෙන කාලයක් තමයි මේක. ආදරේ කරන්න ඕන කාලේ අපි ආදරේ කළා. අවුරුදු 6 ක් නිදහසේ හිටියා. දැන් චූටි බබෙක් ඉන්නවා. ඒ වගකීමත් එක්ක අපි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
කොහොමද බබා එක්ක අලුත් අවුරුද්ද සමරන්න හිතාගෙන ඉන්නේ?
පොඩි කාලේ ඉදන් අවුරුදු චාරිත්‍ර අපේ ගෙදර කළා. අවුරුදු කාලෙට අපේ අම්මා, මමයි, අක්කයි, නංගියි, මල්ලියි හවුල් කරගෙන කැවිලි හදනවා. රුලං ටොපි, මුං කැරලි වගේ කැවිලි වර්ග හදන්න ඉගෙනගත්තේ අම්මගෙන්.අවුරුද්දට ගැළපෙන පාටවලින් ඇදුම් අදින්න අපි හරිම ආසයි. ගෙවල්වලට අවුරුදු කෑම බෙදන එකත් අපේ සිරිතක්.
දැන් හස්බනුත් මම වගේම අවුරුදු චාරිත්‍රවලට ලැදි කෙනෙක්. සිංහල අවුරුද්ද කියන්නේ අපේ රටේ අනන්යතාවයක්නේ. ඒ නිසා ඒ දේවල් ආරක්ෂා කරන්න මම කැමතියි. බැන්දට පස්සෙ නම් හැම අවුරුද්දෙම අවුරුදු චාරිත්‍ර කළේ ගාල්ලේ හස්බන්ගේ ගෙදර ගිහින්.මේ සැරෙත් පොඩ්ඩත් එක්ක අපි ගාල්ලේ යනවා. අවුරුදු සමරන්න ආසාවෙන් ඉන්නවා. ගෙදර ඉදන් අවුරුදු සමරන්න ඕන නිසා අවුරුද්දට තියෙන කිසිම ප්‍රෝග්‍රෑම් එකකට අපි දෙන්නා යන්නෙත් නැහැ.
මාෂි එක්ක මෙහෙම කතා කරන අතරතුරේ යේළි එයාගේ පුංචි දෑත්වලින් තේ හදලා ගෙනත් දුන්නා. එයාගේ ටී සෙට් එකෙන් ලැබුණු තේ අපි රස කරලත් බිව්වා. රසයි කිව්වාම එයාගේ මූණේ පුදුම සතුටක් තිබුණා. මාෂියි පුබුදුයි යේළිව ටීවිවලින් සහ ෆෝන්වලින් ඈත් කරලා දරුවාගේ ළමා කාලය ලස්සනට ගත කරන්න උපරිම දේවල් දීලා තිබුණා. ඒ අතරේ පුබුදුත් මෙහෙම කතා කරන්න ගත්තා...
පුබුදු ළඟ එන සිංහල අවුරුද්දට මොන වගේ සූදානමක්ද තියෙන්නේ?
සිංහල අලුත් අවුරුද්දට ගාල්ලේ යන්න හිතාගෙන ඉන්නවා. ගාල්ලේදි තමයි සිංහල අවුරුදු චාරිත්‍ර කරන්නේ. මේ සැරේ බබාටත් ටිකක් තේරෙන නිසා වෙනසක් දැනෙයි.
මොනවද කරන අලුත් නිර්මාණ?
මගේ පැත්තෙන් අලුත් දේවල් ටිකක් කරගෙන යනවා. චින්තක පීරිස්ගේ කුළුදුල් වේදිකා නාට්‍ය වන ‘ඔළු හැලුවෝ’ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක ප්‍රහසන නාට්‍යයක්. මේ දවස්වල පුහුණුවීම් කරනවා. ඒ වගේම ජී. නන්දසේනගේ සේයා ටෙලි නාට්‍යයේ ද්විත්ව චරිතයක් මම නිරූපණය කරනවා. සේයා නාට්‍ය විකාශය වෙන්නේ ස්වාධීන රූපවාහිනියෙන් රාත්‍රී 7. 30 ට. නීතී විරෝධීව මිනිස් පිටපත් නිර්මාණය කරන ව්‍යාපෘතියක් හා බැඳුනු ලස්සන පවුලේ ආදර කතාවක් තමයි සේයා කියන්නේ.
ඊට අමතරම මම පළවෙනි වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. එය ගැඹුරු හාස්‍යය චිත්‍රපටයක්. දුෂ්කර ගමක කුලී නිවසක ඉන්න මනුස්සයෙක්ට ස්වීප් ටිකට් එකක් ඇදීම වටා සිදු වෙන වෘතාන්තයක් තමයි ‘කුණා’ වල තියෙන්නේ. දැනට මගේ චිත්‍රපටය පසු නිෂ්පාදන කටයුතුවල තියෙන්නේ. එහි රංගන කටයුතු හා තිර රචනයත් එක්ක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක ලේසි දෙයක් වුණේ නැහැ මට.
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හීනයක් පුබුදුට තිබුණද?
මම නළුවෙක් වෙන්න හිතාගෙන නෙමෙයි කලා ක්ෂේත්රයට ආවේ. මම කැමැත්තෙන් හිටියේ තිර රචනා ලියන්න. මම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙනගත්තේ. ඒත් මං ආස දේ කරන්න ඕන නිසයි කලාවට ආවේ. රංගනය කරනවටත් වඩා මම ආස වුණේ තිර රචකයෙක් විදිහට ඉදිරියට යන්නයි.. භාෂාව සමඟ ගණුදෙනු කිරීම හරි අපූරු දෙයක්. ඒ විදියට කලාවට ආපු ගමනේ අතුරු ප්‍රතිඵලයක් විදිහටයි පුබුදු චතුරංග කියන රංගවේදියා ප්‍රේක්ෂකයන් හඳුනාගන්නේ. මේ වෙද්දී චිත්‍රපට හතළිහක මම රඟපාලා තියෙනවා. මගේ හතළිස් වැනි චිත්‍රපටය තමයි මම අධ්‍යක්ෂණය කරමින් රඟපෑවේ. ඒ චිත්‍රපටයේ අවුරුදු හැටක වගේ පුද්ගලයෙක්ගේ චරිතයක් මම කරන්නේ.
චිත්‍රපටය තුළ මල්ලිට රඟපාන්නේ සරත් කොතලාවල, දෙවෙනි මල්ලිට රඟපාන්නේ ධර්මප්‍රිය ඩයස්, නංගි විවාහ වෙලා ඉන්නේ මිහිර සිරිතිලක එක්ක. මගේ බිරිඳට රඟපාන්නේ දිල්හානි ඒකනායක, මගේ දුවට රඟපාන්නේ මාෂි මගේ බිරිඳ, නංගිගේ ලොකු බබාට රඟපාන්නේ මගේ දුව. මීට කලින් මම ප්‍රවේගය, මායා යන චිත්‍රපටවල තිර රචනය කළා. ගොඩක් අය මම තිර රචනය කරනවා කියල දැනගත්තෙත් ඒ චිත්‍රපට දෙක හරහා.


ලංකාවේ චිත්‍රපටයක් කරන්න මේ කාලේ පහසුද?
හොඳ නිර්මාණයක් කරනව නම් ඒ නිර්මාණ බලන්න ප්‍රේක්ෂකයෝ තවමත් ඉන්නවා. හොඳ සිනමාශාලා, හොඳ චිත්‍රපට තියෙනව නම් ප්‍රේක්ෂයෝ සිනමාවට ගෙන්න ගන්න එක අභියොගයක් නෙවෙයි. ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකවරු චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ ටිකක් බයෙන්.ප්‍රේක්ෂකයෝ නිර්මාණය බලන්න එන්නේ නැතිවෙයි කියලා හිතලා.
නමුත් එක දිගට හොඳ චිත්‍රපට දහයක් වගේ ආවොත් මේ තත්ත්වය නැති කරන්න පුළුවන්. ප්රේක්ෂකයන්ටත් චිත්‍රපටයක් බලන්න ආසාවක් ඇති වෙන්න ඕන. මම රංගනය කරපු මායා, ජංගි හොරා කියන්නේ බොක්ස් ඔෆිස් චිත්‍රපට. මැතකදී තිරගත වුණ රාණි, නෙළුම් කුළුන වගේ චිත්‍රපටවලටත් ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ඒ කියන්නේ කලින්ට වඩා චිත්‍රපට නරඹන්න කැමැත්ත වැඩි වෙලා කියන එක. දැන් චිත්‍රපට බලන්න අලුත් ජෙනරේශන් එකක් එකතු වෙලා තියෙනවා. පරණ අයත් තාම අපිත් එක්ක ඉන්නවා.
මාෂිගෙන් මොන වගේ සහයෝගයක්ද පුබුදුගේ වැඩවලට ලැබෙන්නේ?
තිර රචනය හා අධ්‍යක්ෂණය කරපු කාලේ මාෂි ලංකාවේ නෙවෙයි හිටියේ. ඒ නිසා චිත්‍රපටය කරන්න මට නිදහස තිබුණා. ඒ වෙද්දී දුවත් පොඩි නිසා මාෂි ලංකාවට ආවට පස්සේ තිර රචනය කරන්න අපහසු වෙයි කියල හිතුණා. මම රූගත කිරීම්වලදී කෝල් ගන්නවා අඩුයි. ඒ දේවල් ඉවසගෙන මාෂි මං එක්ක හිටියා.
මාෂි කියන්නේ මාව හොඳටම තෙරුම් ගත්ත කෙනෙක්. අපිට ඕන විදියට කෙනෙක්ව වෙනස් කරනව නම් ඒක ආදරේ නෙමෙයිනේ. ආදරේ කියන්නේ එකිනෙකා තේරුම් ගැනීමම තමයි. දුව බලාගන්න වැඩත් එක්ක රූගත කිරීම්වලටත් මාෂි සම්බන්ධ වුණා. මාෂිගේ අම්ම ගොඩක් උදව් වුණා ඒ වැඩ හරියට කරගෙන යන්න. මාෂි තමයි මගේ පිටිපස්සෙන් ඉන්න හෙවණැල්ල. මගේ වෘත්තීය වැඩවලට පිටිපස්සෙන් ඉදන් උදව් වෙන්නෙ එයා.
යේළි බබා එක්ක ගත කරන කාලය කොහොමද?
පාරිශුද්ධ ප්‍රේමය කියන්නේ මොකක්ද කියල හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ දරුවෙක්ගේ ආදරයත් එක්ක. ඒක හරි ලස්සන හැඟීමක්. දරුවෙක්ට දෙන ආදරේ ඇතුළේ තියෙන්නේ පිරිසිදු ප්‍රේමයක් විතරමයි. ජීවිතේ පළවෙනි වතාවට තමයි මාත් ඒ හැඟීම විඳින්නේ. රුගත කිරීම්වලදී මට දුවව බලන්න වෙන්නෙ නෑ. ඒ වෙලාවට මාෂි විඩියෝ කෝල් එකක් හරි අරන් දුවව පෙන්වනවා. දුව මාත් එක්ක හරි එකතුයි.
හරින්දී ලියනගේ
පවනි දිලේකා