පසුගිය සතියේ ලිපියෙන් අපි සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳව ඔබ දැන්වත් කරන්න පටන් ගත්තා. ඒ තරමට සයිබර් අපරාධ සමාජගත වෙලා. බොහෝ දෙනෙක් නීතිමය පිළිසරණ මේවාට සොයනවා වෙනුවට නිහඬවීම අනුගමනය කරනවා. ඒ නිසා මේ සතියෙත් පරිගණක අපරාධ සමබන්ධයෙන් තවදුරත් නීතියෙන් කළ හැකි උදව් ගැන ඔබේ අවධානය යොමු කරනවා.
පරිගණක අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දණ්ඩන නියමයන් මොනවා ද?
අනවසරයෙන් කෙනෙකුගේ දත්තවලට ප්‍රවේශ වන තැනැත්තා එම වරදට වැරදිකරු වුණොත් රුපියල් 100,000 ක දඩයකට වගේම වසර පහක සිර දඬුවමකට ලක් කරන්න පුළුවන් නෛතික ප්‍රතිපාදන පරිගණක අපරාධ පනතේ හඳුන්වලා තිබෙනවා. එමෙන්ම අපරාධයක් කිරීමේ අරමුණින් අදාළ පුද්ගලයාගේ අවසරය නැතිව එම පුද්ගලයාගේ දත්තවලට ඇතුළු වී යම් අයෙකු වරදකරු වුවහොත් රුපියල් 200,000 ක දඩයකට වගේම වසර පහක සිර දඬුවම් විඳන්නත් සිද්ධ වෙනවා.
ඒ වගේම අනවසරයෙන් පරිගණක පද්ධතියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමක් අලාභයක් සිදුවිය හැකි ක්‍රියාවක් (Unauthorized Modification) යන වරද සිදු කරන තැනැත්තාට එම වරදට වැරදිකරු වුණොත් රුපියල් 300,000 ක දඩයකට වගේම වසර පහක සිර දඬුවමකට යටත් වෙන්න සිද්ධ වෙනවා.පරිගණකයක් හෝ පරිගණක පද්ධතියක් යොදාගෙන ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන වැරදි කළොත් වසර පහක සිර දඬුවම් විඳන්නත් සිද්ධ වෙනවා.එමෙන්ම මෙම අපරාධවලට දඬුවම නියම කරන්නේ මහාධිකරණය විසින්.
නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට දානවා කියලා කරන තර්ජන, බය කිරීම් හා මුදල් ඉල්ලීම් සම්බන්ධයෙන් අපේ රටේ තිබෙන නීතිමය පැතිකඩ මොන වගේ ද?
ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝම මුහුණ දෙන තත්ත්වයක් තමයි තමන්ගේ අකමැත්තෙන් තමන් ප්‍රසිද්ධියේ පළ කිරිමට අකමැති ඡායාරූප වීඩියෝ තවත් කෙනෙකු විසින් සමාජ මාධ්‍ය ජාල තුළ තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් පළ කිරීම කියන දේ. දණ්ඩ නීති සංග්‍රහයේ 286 සිට 288 වගන්ති මේ සඳහා උපකාරි වේ. ළමයෙකු නම් එනම් වයස අවුරුදු 18 අඩු කෙනෙකුගේ ඡායාරූප අරගෙන ඒවා බෙදා හැරීමට අන්තර්ජාලයට මුදා හැරීමට, කටුයුතු කලහොත් එවැනි වරදවල්වලට නිතිය තුළ දැඩි දඬුවම් පමුණුවා ඇත.
එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයට 2024 එක් වු නව සංශෝධන නිසා 345 වගන්තිය පුළුල් ලෙස අර්ථකතනයට භාජනය වෙනවා. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 345 (3) වගන්තියේ සඳහන් ආකාරයට,විද්‍යුත් මාධ්‍යයක් හෝ අන්තර්ජාලය මාර්ගයෙන් යම් ලිංගික කාර්යය ප්‍රකාශ වන පණිවුඩයක්, අදහස් දැක්වීමක්, පිංතූරයක්, හඬ පටයක් හෝ වීඩියෝ පටයක් සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම, හුවමාරු කිරීම, ජනනය කිරීම, ප්‍රචාරය කිරිම හෝ පළ කිරිමට වරදකරු වුවහොත් අවුරුදු පහක් දක්වා දීර්ඝ කළ හැකි බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ දඩුවම් දෙකෙන්ම ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතුයි. එමෙන්ම ඒ කරන ලද හානිය වෙනුවෙන් වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණයට ආඥා කළ හැකියි.ඊට අමතරව පරිගණක අපරාධ පනතේ 7 වන වගන්තිය යටතේ විශේෂයෙන්ම නිරුවත් ඡායාරූප ඹචකද්ා කිරීම, විකිණීම වගේ දේවල් වලට චෝදනා කරන්න පුළුවන් වගේම දඬුවම් කරන්න පුළුවන්.
මෙවැනි පරිගණක අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන ආයතන මොනවා ද?
බොහෝ වෙලාවට මෙවැනි තර්ජනයන්ට ලක් වුණ වැඩිහිටියෙකු වේවා දරුවෙකු වේවා තමන් මෙවැනි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා කියලා තවත් පාරිශවයකට කියන්න පෙළඹෙන්නේ නෑ. මෙවැනි අපරාධයන්ට ගොදුරු වුවන් බොහෝ විට Depress වෙලා සියදිවි නසා ගැනීම්වලට පවා පෙළඹෙන අවස්ථා දක්නට ලැබෙනවා.
නමුත් කිසිම කෙනෙක් නීතිය ඉදිරියට යාමට බිය විය යුතු නෑ. එයින් තත්ත්වය මඟ හරවා ගැනීමටත් බාල කර ගැනීමටත් හැකියාව පවතිනවා. කවුරුන් හෝ කෙනෙක් මෙවැනි තර්ජනයන්ට අපරාධයන්ට ලක් වෙලා තියෙනවා නම්,
- මුලින්ම නීතිඥවරයෙකු හමු වී නීති උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් ඇත.
- ප්‍රාදේශිය පොලිසියට පැමිණිල්ලක් කළ හැකියි.
- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය.
- 2006 පිහිටවනු ලැබු පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ( SLCERT) (Computer Emergency Readiness Team) යම් සයිබර් Cyber අපරාධයක් සම්බන්ධයෙන් ඔබ හෝ ඔබේ මිතුරෙකු ගොදුරක් වූ විට ඔබට පුළුවන් 0112691692 ඔවුන්ගේ දුරකථන අංකය අමතා ඒ පිළිබඳව පැමිණිලි කරන්නට.
- TechCERT ආයතනය. TechCERT ආයතනය කියන්නේ LK Domain Registry කියන ආයතනයේ එක් අංශයක්. මෙම ආයතනය මඟිනුත් පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් පෞද්ගලික මට්ටමෙන් මෙන්ම ආයතනික මට්ටමෙනුත් ලබා දෙනු ලබනවා.
මෙවැනි අපරාධ වලට ගොදුරු වු අය සහ ගොදුරු වෙමින් සිටින අය ඊට එරෙහිව නීතියේ සරණ සොයා යන තත්ත්වයක් ලාංකිකයන් තුළ දකින්නේ අඩු වශයෙන්.
මෙවැනි තත්ත්වයක් ලංකාවේ උද්ගත වෙලා තියෙන්නේ ඇයි?
මෙයට බලපාන ප්‍රධානම හේතුව විදියට දකින්නේ නීතිය පිලිබඳ සමාජයේ තිබෙන අල්ප දැනුම. ඒ අනුව මෙහි තිබෙන්නේ නීති අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක්. විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අ.පො.ස සා/පෙල විෂය නිර්දේශයට මෙම පරිගණක අපරාධ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය, මෙවැනි ඩිජිටල් උපකරණ අවභාවිතාව, ඊට අදාළ දඬුවම් සම්බන්ධයෙන් විස්තරාත්මකව ඇතුළත් කළ යුතුයි. එයට හේතුව වශයෙන් මා දකින්නේ ඔවුන් තමයි මෙම සමාජයේ වගකිව යුතු පුරවැසියන් බවට පත් වෙන්න ආසන්නයේම සිටින ශිෂ්‍ය කණ්ඩායම.
නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවේ. නමුත් අවාසනාවට අපේ රටේ කීයෙන් කී දෙනාද නීතිය පිළිබඳ අවබෝධයකින් ඉන්නේ. මේ නීතිය නීති පොතට පමණක් සිමා නොවී සාමාන්‍ය ජනතාව, නීතිය ක්‍රියාත්මක කරවන ආයතන, විශේෂයෙන්ම පොලිසිය, පර්යේෂකයින්, විමර්ශකයින්ට මේ නීති රාමුව පිළිබදව දැනුම ලබා දීම අනිවාර්ය කළ යුතුයි.
නීතිඥ අනුරාධා උමයංගනි
anuradhaumayangani501@gmail.com