රටකට අධිවේගී මාර්ග හඳුන්වා දෙන්නෙ ඉක්මණින් සහ පහසුවෙන් තමන්ගේ ගමනාන්තයට ළඟා වෙන්න මිසක් ඉක්මණින් තමන්ගෙ මරණයට ළඟා වෙන්න නෙවේ. නමුත් වර්තමානයේ අධිවේගී මාර්ග හරහා තමන්ගෙ මරණය ඉක්මණින් ළඟා කරගන්නා අවස්ථා අපට වැඩි වශයෙන් අහන්න දකින්න ලැබෙනවා. මේ කාරණාව මෑත කාලයේදී බෙහෙවින් කතාබහට ලක්වුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම ප්‍රදේශයේදි සිදු වූ අනතුරකින් පසුගිය දිනෙක මියගිය කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයාගේ සහ බිරිඳගේත්, සොයුරාගේත් අභාවයන් සමගයි. නමුත් පසුගිය වසර දෙක තුළත් අධිවේගී මාර්ග තුළ අනතුරු බොහෝමයක් සිදුවුණා වගේම ඉදිරියේදීත් සිදුවීම වළක්වාගත නොහැකියි. එයට හේතුව රියදුරන්ගේ ඇති නොසැලකිලිමත්කමයි.
2020 වසරේ වාර්ථා වූ රිය අනතුරු 308 ට සාපේක්ෂව 2021 වසරේ අධිවේගී මාර්ගවල වාර්තා වූ මුළු රිය අනතුරු සංඛ්‍යාව 461 ක් බව සඳහන් වෙනවා. එමෙන්ම උත්සව සමයේදි අධිවේගී මාර්ග භාවිත කරන වාහන ප්‍රමාණය ලක්ෂ 2 පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා. එහිදී සියලුම අධිවේගී මාර්ගවල මුදල් අයකැමි දොරටු විවෘත කර තැබීමට කටයුතු කරන අතර අධිවේගී මාර්ගවල සිටින මුදල් අයකැමිවරුන්ට පහසුවීම සඳහා මාරු මුදල් රැගෙන එන ලෙස ඉල්ලා සිටිනවා.
එමඟින් වාහන තදබදය අවම කර ගත හැකි බවයි අදාළ බලධාරීන් පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් අධිවේගී මාර්ග භාවිත කරන්නන් අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳව නැවත නැවතත් සිහිපත් කරගැනීම ඔබට මෙන්ම ඔබේ සමීපතමයන්ටත් ඉතාම වැදගත්. අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු වළක්වාගැනීම පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහත්මා කළ කරුණු දැක්වීමකුයි මේ.
අධික වේගය
අධිවේගී මාර්ගයක වැදගත්ම දේ වන්නේ වේගය. වේගය කියන්නෙ දෙපැත්ත කැපෙන කඩුවක්. මොකද එක පැත්තකින් අපිට විනාඩි 5 ක්, පැයක් දෙකක් ඉතුරු කරගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ජීවිතයක් නැති කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වේගය හසුරුවන එකට පුරුදු වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 100 යි. එය ඉක්මවා යාම දඬුවම් ලැබිය හැකි වරදක්. මෝටර් වාහනවල වේග මාපකයේ ඊට වැඩි අගයක් සඳහන් කර ඇති නිසා එම සීමාව ඉක්මවා ධාවනය කළ හැකි බවට යමෙකුට හැඟිය හැකියි.
කෙසේ වෙතත් ඉන්ජිනේරුවන් විසින් මාර්ග සෑදීම සිදු කරනු ලබන්නේ යම් වේග සීමාවකට යටත්වයි. ඒ නිසා අපි මතක තියාගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ හැම පාරක්ම නිර්මාණය කරන්නේ යම්කිසි වේගයකට. ඒක තමයි ආරක්ෂාකාරී වේගය. සාමාන්‍යයෙන් 100 ක වේග සීමාවක් පනවන්නේ උපරිම 110 කට වගේ, 120 කට වගේ හදපු පාරක්. ඉන් එහාට ධාවනය කරනවා කියන්නේ ඒක දරන්න බැරි තැනකට ගෙනියන එක.
තමා දක්ෂ රියැදුරෙකු වුවත් වාහනය හොඳ වර්ගයේ එකක් වුවත් එම සීමාව ඉක්මවා යාමේදී තමාට ඇති ආරක්ෂාව නැති වී යා හැකියි. උදාහරණයක් වශයෙන් අපි හිතමු වාහනයක් 100 ට යන්න තියෙන තැනක කෙනෙක් 120 ට 130 ට පදවනවා කියලා, වෙන වාහනයක් ලේන් එක මාරු කරනවා, එතකොට මෙයා කාත් එක්ක හරි කතා කර කර යනවා හරි මොකක් හරි එකකදී, එයාට තත්පර කාලක මිස් වීමක් වෙනවා. එතකොට මේ තත්පර කාල ඇති මීටර් 10 ක 20 ක වගේ ප්‍රමාණයක් එයාට ආරක්ෂාව අඩු වෙන්න. මේ 20 දී තමුන් වෙන වාහනයක වැදෙනවා විතරක් නෙවෙයි, ඒ වැදෙන වේගය වැඩි වෙනවා. යම් කිසි දෙයක් ගැටුනාම ඒ වෙන බලපෑමත් වැඩි වෙනවා. වර්ෂාව වැනි තත්ත්වයන්වලදී එම සීමාව පහත දමන්නේ 100 ත් වැඩි නිසයි.
සෙමින් යාම
අධිවේගී මාර්ග ඉදි කිරීමේ අරමුණ, ඒකාකාරී වේගයකින් රථ වාහන ධාවනය කරවීම. එලෙස වාහන ඒකාකාරී වේගයකින් ධාවනය නොවීම අනතුරු සිදුවීමට හේතුවක්. අපි හිතමු පාරක වාහන ඔක්කොම එක වේගයකින් යනවා කියලා. එහෙම වෙනවා නම් කිසිම වාහනයක් වෙන වාහනයක් ඉස්සර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. එතකොට වාහන අතර වේග පරස්පරය වැඩි වෙන්න වෙන්න වෙන්නේ, ඉස්සර කිරීමේ අවශ්‍යතාව වැඩි වෙන එක. ඉතින් ඒ හැම වෙලේම වම් පැත්තේ තීරුවේ නම් යන්නේ, දකුණු පැත්තේ තීරුවට දාන්න වෙනවා. ආපහු වම් පැත්තේ තීරුවට දාන්න වෙනවා.
අධිවේගී මාර්ගවල තීරු මාරු කිරීම අවදානම් ක්‍රියාවක්. හැකිතාක් තීරු මාරු කිරීමකින් තොරව ඒකකකාරී වේගයකින් ගමන් කරන්නේ නම්, ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නෙ නෑ.හුඟාක් අධිවේගයෙන් යනවනම්, 100 ට යන්න ඕනේ තැන අපි හිතමු 110 ටත් වඩා යනවා කියලා, එතකොට අර පාරේ තියෙන වාහන 99% ක් ම ඉස්සර කරන්න එපැයි. ඒ වගේම තමයි, 100ට යන්න ඕනේ තැන 60ට යනවා නම්, අතන ඉන්න 99% ක් ම තමුන්ව ඉස්සර කරන් යන්න ඕනේ. මේ දෙකම එක හා සමාන භයානක ක්‍රියාවන්. එවැනි අවස්ථාවලදී සෙමෙන් ගමන් කරන වාහනයේ වේගය නිර්ණය කර ගැනීමේ අපහසුතාව නිසා අනතුරුවලට භාජනය විය හැකියි.
මංතීරුවල විනය රකින්න
වාහන අතර නියමිත පරතරය පවත්වා ගැනීම වැදගත්. හදිසි අවස්ථාවකදී තම වාහනයේ තිරිංග යෙදීමට අවශ්‍ය වුවොත් ඉදිරියේ ඇති වාහනයේ ගැටීමකින් තොරව තම වාහනය නතර කර ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ ඉස්සරහ වාහනයත් එක්ක තත්පර දෙකක් තියෙන්න ඕනේ කියලා. හුඟක් වෙලාවට කියනවා තමුන් ගණන් කරන්න කියලා, දාහයි එක්දාස් එකයි කියලා. අන්න ඒක කියන්න යන කාලය තියාගන්න කියලා. පරතරය පවත්වා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් ඇති සම්මුතිය තත්පර දෙකක කාලයක්.
මාර්ගයේදී ඇතිවන නින්ද අවදානම්
අධිවේගී මාර්ගවල නිදා වැටීමට ඇති ප්‍රවණතාව වැඩියි. එය රාත්‍රී හෝ දහවල් කාලයේදී නොවෙනස්ව බලපෑ හැකියි. ඊට හේතුව සාමාන්‍ය මාර්ගවල මෙන් දෙපස වන වෙනත් සිදුවීම් නොමැති නිසා බොහෝ විට ගමන ඒකාකාරී වන නිසායි. එලෙස ඒකාකාරීත්වය වැඩි වීම කෙනෙකුට නින්ද යාමේ සම්භාවිතාව වැඩි කළ හැකියි. ඒ නිසා විශේෂයෙන්ම නවත්තලා බ්‍රේක් ගන්න එක වැදගත් වෙනවා. අපේ රටේ පොඩි අඩුපාඩුවක් තියෙනවා.
පාරෙන් ඉවත් වෙලා එහෙම බ්‍රේක්ස් ගන්න පුළුවන් තැන් හැම තැනම නැහැ. අනිත් එක පාරේ නවත්තන්නත් බැහැ. එබැවින් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට රියැදුරන් මෝටර් රථයේ වතුර බෝතලයක් රැගෙන යාම, හැකි විටක මුහුණ සෝදා ගැනීම, කතාබහ කිරීමට තවත් කෙනෙකු වාහනයේ ගෙන යාම වැනි පුරුදු ඇති කරගත යුතුයි. නිදිමත ඇතිවන බෙහෙත් වර්ග ලබා ගැනීමෙන් පසු වාහන පැදවීම සහ අධික ලෙස ආහාර ගෙන වාහන පැදවීම නොකළ යුතුයි. සැහැල්ලු ආහාර වේලක් ලබා ගැනීම සහ හොඳ නින්දක් ලබා රිය ධාවනයට යොමු වීමේ පුරුදු ඇති කර ගැනීම ද මෙම අනතුරුවළක්වා ගැනීමට උපකාර වනවා.
අධිවේගයට දාන්නට පෙර වාහනේ තත්ත්වය බලන්න
අධිවේගී මාර්ගවල පමණක් නොව ඕනෑම මාර්ගයක වාහනයක් ධාවනය කිරීමට එය හොඳ තත්ත්වයේ තිබිය යුතුයි. එහිදී තම වාහනයේ තාක්ෂණික ගැටලු නැති බව තහවුරු කර ගැනීම මෙන්ම, වාහනයේ ආලෝක ලාම්පු (බ්‍රේක් ලයිට්ස්) ආදිය නිසි පරිදි දැල්වෙන්නේ ද යන්න පවා
පරීක්ෂා කර බලා ඒවා මාර්ගවලට ඇතුළු කළ යුතුයි. බොහෝ අවස්ථාවලදී රියැදුරන් වයිපර්වල ක්‍රියාකාරිත්වය නොසලකා හරින අවස්ථා තියෙනවා. ලංකාවේ වාහනවල වයිපර්ස් හරියට වැඩ කරන්නේ නැහැ. වැස්ස ගමන් වාහනය ස්ලෝ වෙනවා, මොකද වයිපර් එක වැඩ කරන්නේ නැහැ. මොකද ඒක පොලිසියෙන් බලන්නෙත් නැහැනේ. ලයිට් ටික නම් පොලිසියෙන් බලනවා. හෙඩ්ලයිට් එක පවා බලනවා. නමුත් වයිපර් එක පොලිසියෙන් බලන්නේ නැහැ. මොකද වැස්ස වෙලාවට විතරනේ ඒක බලන්න පුළුවන් වැඩ කරනවා ද කියලා.
හදිසි අවස්ථාවකදී 1969 අමතන්න
අධිවේගී මාර්ගවල සිදුවන ඕනෑම හදිසි අවස්ථාවකදී 1969 අමතා දැනුම් දීමට අවස්ථාව තිබෙනවා.
රියදුරා වැරදි නම් 1955 කතා කරන්න
ඒ වගේම මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකයක් මේ වනවිට පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
අමල් කුමාරගේ
ප්‍රවාහන හා
සැපයුම් කළමනාකරණ
අධ්‍යයනාංශය
මොරටුව විශ්වවිද්‍යාලය
එරංදි කෞශල්‍යා ✍️