මේ ලෝකෙ ගොඩක් අය ජීවතේට ප්‍රශ්නයක් ආපු ගමන් ගොඩක් කලබල වෙනවා. ඉකමණින්ම ඒකට ප්‍රතිචාර දක්වන්න යනවා. සමහරවිට මෙහෙම ඉක්මණින් කලබලකාරී විදිහට ප්‍රතිචාර දක්වන්න යන එකෙන් පොඩි ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ජීවිතේ ඉදිරි කාලයෙදිත් ඒ ප්රශ්නය පස්සෙන් පන්න පන්න කරදර කරන්න පුළුවන්. අපි ප්‍රශ්නෙකට ප්‍රතිචාර දක්වද්දි අපිට ඒකට තියෙන අවධානය අඩුවෙන තරමට ඒ ප්‍රශ්නෙන් අපිට වෙන හානිය අඩු වෙනවා. මේ විදිහට හැඩගැහෙන්න අපේ හිත් පුරුදු කරවන්න පොඩි ක්‍රමයක් තියෙනවා. මෙය තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් පුරුදු පුහුණු වුණොත් අමාරු වෙන්නෙ නෑ.
අපි හිතමු ඔබ පළවෙනි වතාවට බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා කියලා. පළවෙනි දවසෙ බයිසිකලය පදින්න හරි අමාරුයි. දෙවෙනි දවසෙත් පුරුදු වෙනවා. තුන්වෙනි දවසෙදි චුට්ටක් පදින්න පුළුවන් වෙනවා. ඒ වගේම දිගටම උත්සාහ කරන්න ආස හිතෙනවා. බයිසිකලය බැලන්ස් කරගන්න, හරවන්න, පාගන්න දැනගන්නවා. ඒ වගේ තමයි අපේ මනසත්. පුරුදු පුහුණු කරනකොට මුලදි ටිකක් අමාරුයි. හැබැයි දිනපතා අපි පුරුදු වෙනකොට අපිට ඒක පහසුවෙන් කරගෙන යන්න පුළුවන්.
අපේ මනසට කලබලකාරී ලෙස ප්‍රශ්න ඇතුළු වෙද්දි අපි ප්‍රතිචාර දැක්විය යුතු විදිහට අපූරු තියරියක් තියෙනවා හිඟන්නාf් තියරිය කියලා. ඔබ හිතන්න, ඔබේ නිවසට දවසක් හිඟන්නෙක් එනවා. ඇවිත් කන්න දෙයක් හෝ කීයක් හරි ඉල්ලනවා. ඔබ මේ හිඟන්නට රුපියල් විස්සක්, පනහක් ඔබට හැකි මුදලක් දෙනවා. ඔහු ඔබ දුන් මුදල අරගෙන ඔබට පිං දීලා යනවා. මේ හිඟන්නා ඊළඟ දවසෙත් එනවා. ඒ මොකද ඔබ පෙර දිනයෙත් ඔහුට මුදලක් දුන් නිසා. දෙවෙනි දවසෙත් මේ හිඟන්නා ඇවිත් දුක් ගැනවිල්ල කිව්ම එදත් ඔබ ඔබට හැකි අයුරින් ඔහුට පිහිට වෙනවා.
දැන් මේ හිඟන්නා දවස ගානෙ ඔබව හොයාගෙන එනවා. ඔබත් පුළුවන් විදිහට හිඟන්නට ආධාර දෙනවා. හිඟන්නා පුරුද්දට එනවා. ඔබ පුරුද්දට දෙනවා. ටික දවසක් යද්දි මේක ඔබට විශාල කරදරයක් වෙනවා. මොකද හැමදාම හිඟන්නෙක්ට සල්ලි දෙන්න ඔබට බෑ. හිඟන්නා දිගටම ඇවිත් ඔබට කරදරයක් වුණාම ඔයා බලනවා කොහොමද මේකෙන් ගැලවෙන්නෙ කියලා.
ඊටපස්සෙ හිඟන්නා ඇවිත් දොරට ගහද්දි ඔබ ගෙදර නෑ වගේ සද්ද නැතුව ඉන්නවා. හිඟන්නත් ඇති වෙනකල් තට්ටු කරලා අද ගෙදර කවුරුත් නෑ කියලා හිතන් ආපහු හැරිලා යන්න යනවා. නමුත් ඊළඟ දවසෙත් මේ හිඟන්නා එනවා. ඇවිත් ආයෙත් දොරට තට්ටු කරනවා. නමුත් ඔබ එදත් දොර අරින්නෙ නෑ. ඔහොම එකදිගට ඇවිත් ඔබ ගෙදරට වෙලා ගෙදර නෑ වගේ සද්ද නැතුව ඉන්නකොට හිඟන්නටම එපා වෙනවා. මේ ගෙදරට ඇවිත් දැන් වැඩක් නැහැ, දැන් මං වෙනුවෙන් දොර ඇරෙන්නෙ නෑ කියලා හිතලා හිඟන්නා ආයෙ ගෙදරට යන්නෙ නෑ.
ඒ හිඟන්නා ආපහු හැරිලා ගියේ ඔබෙන් ප්‍රතිචාරයක් නැති නිසා. මේ හිඟන්නව අපි ආදේශ කරලා බලමු අපේ ජීවිතයට, අපේ මනසට එන ප්‍රශ්න සහ කරදරවලට. ඒවත් මනසට ඇතුළු වෙන්නෙ හරියට අර දිගින් දිගටම ගෙදරට ආපු හිඟන්නා වගේ. ඒ වගේ අපිට එන ප්‍රශ්නවලට කේන්ති අරන්, දුක් හිතිලා, වැටෙන තැන්වලදි කෑගහන්න, බනින්න, බඩු පොළවෙ ගහන්න යන්න එපා. මේවා තමයි ඔබ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වන නරක විදි.
ඔබ ප්‍රශ්නවලදි කෑගහල, ගහගන්න ගියොත් ඒ ප්‍රශ්න තවත් දුරදිග යනවා. කෙළවරක් නැති වෙනවා. නමුත් මනසට ඇතුළු වෙන සිතුවිලිවලට යන්න එන්න දීලා පාඩුවෙ බලන් ඉඳලා බලන්න. කොච්චර තරහා ගන්න දෙයක් වුණත් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැතුව ඉන්න. පළවෙනි දවසෙ මං මේකට ප්‍රතිචාර දක්වන්න යන්නෙ නෑ කියලා අමාරුවෙන් ඉවසන් ඉන්න. දෙවෙනි දවසෙදිත් ඒ විදිහට ඉන්න. ඒකෙන් ඔයාගෙ ජීවිතේට පාඩමක් ගන්න තියෙනවා නම් ගන්න. එතකොට කලයක් යද්දි ඔයාටම තේරෙයි ආව ප්‍රශ්නවලට දැඩි තීරණ අරන්, දක්වපු ප්‍රතිචාර නතර වුණාම ප්‍රශ්න කොච්චර සාමකාමීව, ඉක්මණින් විසඳෙනවද කියලා.
ඔයාගෙ හිත පීඩාවට පත්වෙලා අසහනකාරී සිතුවිලිවලින් පිරිලා ඔයා නැති කරගත්ත දේවල් ආයෙත් හෙමීට ලැබෙන විදිහට බලාගන්න පුළුවන්. පළවෙනි, දෙවෙනි දවසෙ අමාරු වෙයි. නමුත් ටික ටික උත්සාහ කරලා බලන්න. ජීවිතේට ප්‍රශ්න එනකොට, නරක සිතුවිලි එනකොටදරාගන්න අමාරුයි. නමුත් මනසට එන පීඩාකාරී සිතුවිලිවලට ප්‍රතිචාර නොදක්වා ඉන්න. උපේක්ෂාවෙන් ප්‍රශ්න දිහා බලන්න. ඔබේ ජීවිතය හෙමීට මල් පිපෙන්නට ගනීවි.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා
මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා ✍️