දිනකට අපේ රටේ පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. නමුත් ෆේස්බුක් පරිශීලකයන්ගෙන් බොහෝ වෙලාවට එල්ල වෙන චෝදනාවක් තමයි ෆේස්බුක් සම්බන්ධව පැමිණිලි කොච්චර කළත්, මොන විදිහට රිපෝට් ගැහුවත් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියන එක. නමුත් ඇත්තම කතාව අපේ රටේ ලෝකෙ සමහරක් රටවල වගේ ෆේස්බුක් සම්බන්ධ ශාඛාවක් නෑ. තියෙන්නෙ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නොහොත් CERT එක විතරයි. ඉතින් ඒ නිසා ෆේස්බුක් පරිශීලකයන්ට මොන අසාධාරණයක් වුණත් මෙටා ආයතනය විසින්ම හඳුන්වා දීලා තියෙන ක්‍රියාමාර්ග කිහිපය විතරයි අනුගමනය කරන්න සිද්ධ වෙන්නෙ. කොහොම වුණත් ෆේස්බුක් එකට නැතත් ටික්ටොක් එකටනම් සෘජු ප්රවේශයන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට තියෙනවා. ඒ ගැන වගේම දිනපතාම වාර්තා වෙන පරිගණක අපරාධවලට සරලවම ගත හැකි විසඳුම් සම්බන්ධයෙන් අපි කතා කරන්නට හිතුවා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ සමඟ…
වර්තමානයේ පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි පාලනය වෙන්නෙ කෙසේද?
CID එක හරහා තමයි පරිගණක අපරාධ පාලනය වෙන්නෙ. නමුත් දිනකට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව එක්ක ඉක්මණින් ප්‍රතිචාර දක්වන්න අපහසුයි. ඒ නිසා පරිගණක අපරාධ සම්බන්ධයෙන් කරන්න පුළුවන් සරලම දේ තමයි රිපෝට් කරන එක. ටික්ටොක් එක සම්බන්ධයෙන්නම් අපිට ඩිරෙක්ට් ඇක්සස් තියෙනවා.
තමන්ගෙ පින්තූර පාවිච්චි කරලා තව කෙනෙක් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් (Fake profile) පවත්වගෙන යනවනම් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න පුළුවන්?
ඒ ව්‍යාජ ගිණුමට ගිහින් ගිණුමේ ඉහළ තියෙන ඩොට්ස් තුන ක්ලික් කරලා ‘ Pretending to me’ කියලා රිපෝට් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගෙ යහළුවන් ලව්වාත් ඒ ෆේක් අකවුන්ට් එක ‘Pretending to be someone’ කියලා රිපෝට් කරවන්න පුළුවන්. නමුත් රිපෝට් කරද්දි පුරවන්න තියෙන හැමදේම හරි විදිහට පිරවිය යුතුයි.
රිපෝට් එකක් දාපු ගමන් AIවලින් තමයි ගිණුම් දෙක සංසන්දනය කරලා ව්‍යාජ ගිණුම හොයාගන්නෙ. මොකද පින්තූරයක් අප්ලෝඩ් කරපු දින එක්ක මුලින්ම පින්තූරය අප්ලෝඩ් කරලා තියෙන්නෙ මොන ගිණුමෙන්ද කියලා හොයාගන්න පුළුවන්.
සමහර ගිණුම් තියෙනවා රිපෝට් එක ගහලා රිෆ්රෙෂ් කරපු සැණින්ම ඉවත් වෙන. නමුත් සමහර ගිණුම් ඉවත් වෙන්න මාස කිහිපයක් ගත වෙනවා.අපි හිතමුකො ෆේස්බුක් නැති කෙනෙක්ගේ පින්තූරයක් දාලා ෆේස්බුක් ගිණුමක් හදලා තියෙනවා කියලා. එහෙම වුණොත් ඒ කෙනාට ගිහින් රිපෝට් කරන්න බැහැ, මොකද එයාට ෆේස්බුක් ගිණුමක් නෑනේ. එහෙම අයට තමයි කෙළින්ම ෆේස්බුක් ආයතනයට පැමිණිලි කරන්න ඉස්සර ක්‍රමවේදයක් තිබුණේ. ඉස්සර මාසෙකට 150 ක් වගේ තමයි ආවේ.
ඒ විදිහට කෙළින්ම ෆේස්බුක් ආයතනයට පැමිණිලි කරන්නේ විශේෂ පැමිණිලි. දැන් මාසෙකට ඒ විදිහේ පැමිණිලි 2000 ක් විතර එනවා. නමුත් ෆේස්බුක් ආයතනයට එහෙම පැමිණිල්ලක ඩොකියුමන්ට් එකක් දැම්මම ඒක බලන්න වෙනම කෙනෙක් ඉන්න ඕනනේ. නමුත් එහෙම පුද්ගලයෙක් පඩියක් ගෙවලා තියාගන්න එකත් ලේසි නැහැ. ඒ නිසා එකවර ලැබෙන පැමිණිලි ගොඩකට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රමාද වෙලා.
ඒ කියන්නෙ ඇත්තටම ලංකාවේ පරිගණක අපරාධ සම්බන්ධ ගැටලු විසඳන්න නිසි ක්‍රමවේදයක් නැද්ද?
ඔව්. ඉන්දියාව, සිංගප්පූරුව වගේ රටවල් ගත්තොත් ඒ රටවල වෙනම ෆේස්බුක් ශාඛාවන් තියෙනවා ෆේස්බුක් සම්බන්ද ගැටලු නිරාකරණය කරගන්න. එහෙම ශාඛාවක් ලංකාවේ නෑ. ඇත්තටම අපි කරන්නෙ රජයෙන් සල්ලි අරන් වෙන රටකින් සපයන සේවාවකට උදව් කරන එක. දරුණුම ගණයේ ගැටලුවකදී තමයි ඉක්මණින්ම ක්‍රියාත්මක වෙලා ඒ ගැටලු විසඳන්නෙ සහ ගිණුම් ඉවත් කරන්නෙ.
දරුණු ගණයේ ගැටලු කියන්නෙ මොන ආකාරයේ ගැටලුද?
ඒ කියන්නෙ ත්‍රස්තවාදය සම්බන්ධ ගැටලු, මිනිස් ජාවාරම්, ළමා අපයෝජනය සහ ළමා ලිංගිකත්වය සම්බන්ධ වීඩියෝපට වැනි දේවල්වලදි ඒ දේවල්වලට සම්බන්ධ ගිණුම් හොයාගෙන ඒවා ඉවත් කරනවා.
ඇතැම් මනෝ ව්යාධිකයො මැසෙන්ජර් හරහා අසභ්‍ය ඡායාරූප එවනවා. එහෙමත් නැත්නම් අසභ්‍ය පණිවිඩ එවනවා. එහෙම අයට මොන ක්‍රියාමාර්ගද ගන්න පුළුවන්?
එවැනි අයට ෆේස්බුක් එකෙන් දීලා තියෙන්නෙ ‘Block’ ඔප්ෂන් එක තමයි. අසභ්‍ය ඡායාරුප, කරදරකාරී මැසේජ් වගේම හැරෙස්මන්ට් එකකට ලක්කරනව නම් Block කරන එක තමයි සරලම විසඳුම.
අපි හිතමු කවුරුහරි පෞද්ගලික තරහක් නිසා තව කෙනෙක්ගෙ ඡායාරූප හෝ චැට් එකක ස්ක්‍රීන්ෂොට්ස් ෆෙස්බුක් එකට අප්ලෝඩ් කළොත්?
එහෙම දෙයක් වෙලානම් ඒ පෝස්ට් එක රිපෝට් කරලා ඉවත් කරන්න පුළුවන්. Harassment සහ Misinformation යටතේ එවැනි දෙයක් රිපෝට් කරන්න පුළුවන්.
වින්දිතයෙක් කොහොමද ෆේස්බුක් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න සෘජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්නෙ?
තමන්ට වුණ දේ කියලා දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න පුළුවන්. ඒ වගේම කෙලින්ම CID එකට ගිහින් පැමිණිලි කරන්නත් පුළුවන්.
ඔබ ඉහත සඳහන් කළා ටික්ටොක්වලට සෘජු ප්රවේශයන් ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර පරිගණක අපරාධ සංසදයට තියෙනවා කියලා. ඒ ගැන ටිකක් පැහැදිලි කළොත්…
ඔව්. ටික්ටොක්වලටත් වැඩිපුරම වෙන්නෙ අනවසරයෙන් පින්තූර දාලා වීඩියෝස් හදන දේවල්. සමහර අය කෙනෙක්ට මඩ ගහන්නම ව්‍යාජ ටික්ටොක් ගිණුම් හදනවා. එහෙමත් නැත්නම් අසභ්‍ය වචන පාවිච්චි කරලා හදන වීඩියෝ තියෙනවා.
ආදර සම්බන්ධයක් නැති වුණාම පෙම්වතිගේ පින්තූර දාලා වීඩියෝස් හදලා අප්ලෝඩ් කරනවා. මේ හැමදෙයක්ම රිපෝට් කරන්න ඔප්ෂන් එකක් ෆේස්බුක් එකේ වගේම ටික්ටොක් එකෙත් තියෙනවා. නමුත් සමහර අයට ඒ ගැන දැනුමක් නෑ. එහෙමත් නැත්නම් හරි විදිහට රිපෝට් කරන්නෙ නෑ. මේ අවස්ථාවලදි අපිට පුළුවන් ඒ දේවල් ඉවත් කරලා දෙන්න.
AI තාක්ෂණය වර්තමානයේ තර්ජනාත්මක දෙයක් බවට පෙනී යනවා. මේ සම්බන්ධයෙන් මෙටා ආයතනය යම් නියාමනයන් ගෙන තිබෙනවද?
ඔව්. මෑතකදි මෙටා ආයතනය සැබෑ ලෙසටම සකසන AI වීඩියෝපට හඳුනගන්න ‘AI Manipulation’ යනුවෙන් ඔප්ෂන් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ඔප්ෂන් එක හරහාත් ඕනම කෙනෙක්ට තර්ජනාත්මක AI වීඩියෝවක් දැක්කොත් රිපෝට් කරන්න පුළුවන්.
සමහර වෙලාවට එවැනි වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන මුළු ගිණුමම ඉවත් වී යන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තමයි ලිංගිකත්වය සම්බන්ධ හෝ තර්ජනාත්මක වීඩියෝස් දිගින් දිගටම අප්ලෝඩ් කරලා තියෙනවනම් ගිණුමත් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ ගිණුම හදපු නම්බර් වට්ස්ඇප් එකෙන් පවා බෑන් (තහනම්) කරන්න පුළුවන්.
වර්තමානයේ Meta ආයතනයේ මේ සමාජ මාධ්‍යයන් දෙක බොහෝ වෙලාවට පාලනය වෙන්නෙ AI තාක්ෂණය හරහද?
ඔව්. ෆේස්බුක් ආයතනය මෑතකදි සේවකයෝ බොහෝ ප්‍රමාණයක් ඉවත් කළා. මම මුලින් සඳහන් කළා ඉවත් වෙන්නෙම නැති ගිණුමක් අපි ඩොකියුමන්ට් එකක් හරහා ෆේස්බුක් ආයතනයට යවලා ඉවත් කරවනවා කියලා. ඒ ඩොකියුමන්ට් එකේ තියෙන URL එක, ID එක, අදාළ පුද්ගලයගෙ විස්තර, IP address එක සහ සමහර විට ස්ක්‍රීන්ෂොට්ස් තියෙන්නත් පුළුවන්.
ඔය වර්ඩ් ඩොකියුමන්ට් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා අදාළ ක්‍රියාමාර්ග ගන්න සේවකයෙක් දාන්නෙ නෑ ෆෙස්බුක් ආයතනය. එයාලා පුළුවන් තරම් ඔටෝමැටිකලි වෙන විදිහට තමයි හදලා තියෙන්නෙ. අපි කරන හැම රිපෝට් එකක්ම මුලින්ම යන්නෙ AI එකට.
ගොඩක් වෙලාවට ගිණුමක් හෝ පෝස්ට් එකක් රිපෝට් කළත් විනාඩි කිහිපයකට පස්සෙ ෆෙස්බුක් එකෙන් එවනවා පණිවිඩයක් ඒ ගිණුම හෝ පෝස්ට් එක ඉවත් කළේ නෑ කියලා. ඒ පණිවිඩයත් එක්ක යටින් තියෙනවා Review කියලා ඔප්ෂන් එකක්. ඔයා ඒක Review කළොත් ඒක යන්නෙ ඇත්තම මනුස්සයෙක් ගාවට. මොකද සමහර දේවල් AI එකට ඩිටෙක්ට් වෙන්නෙ නෑ.
ජ්‍යෙෂ්ඨ තොරතුරු
ආරක්ෂණ ඉංජිනේරු
චරුක දමුණුපොළ
එරංදි කෞශල්‍යා ✍️