“ඩොක්ටර් මම මීට කලින් මගේ ෆැමිලි ඩොක්ටගෙන් බෙහෙත් ගත්ත. ඒ මගේ ඈලි මෑලි දුබල ගති නිසා. ෆැමිලි ඩොක්ටර් කිව්වෙ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්වනව නම් හොඳයි කියලයි. ඇයි කියල ඇහුවම කිව්වෙ මට තයිරොයිඩ් ඌනතාව වුණත් තියෙන්න පුළුවන් කියලයි. එහෙම වෙන්න පුළුවන් ද ඩොක්ටර්. එහෙම නම් මම මොනවද කරන්න ඕනෙ?
ඔව් එහෙම වෙන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නෙ අපේ බෙල්ලෙ පහළ ඉදිරිපස ස්වාසනාලයට ඉදිරියෙන් සමනලාකාර හැඩයෙන් යුත් අන්තරාසර්ග ග්‍රන්ථියකටයි. එය වම් සහ දකුණු කණ්ඩිකාවලින් යුක්තයි.
එම වම් සහ දකුණු කණ්ඩිකා දෙක සම්බන්ධ කරන කුඩා කොටසක් තියෙනව හරි මැදින්.තයිරොයිඩ් ග්‍රන්ථිය මිනිස් ශරිරයේ මුලින්ම හැදෙන ග්‍රන්ථියක් ලෙස හඳුනාගන්න පුළුවන්. සමාන්‍යයෙන් කලලයට සති 03 ක් පමණ වන විට තයිරොයිඩ් ග්‍රන්ථිය හැදෙන්න පටන් ගන්නවා. කලලයට සති 11 ක් 12 ක් පමණ වනවිට කලලයේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන් හැදිල ඉවරයි.
● එතකොට ඩොක්ටර් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් මොන හෝමෝනද නිපදවන්නේ ?
ප්‍රධාන වශයෙන් තයිරොක්සින් හෝමෝන වර්ග 2 ක් නිපදවනවා. ඒ T4 සහ T3 කියන හෝමෝන. තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් වැඩිපුරම නිෂ්පාදනය කරන්නෙ T4 හෝමෝනයයි. එය 80% ක් පමණ වෙනවා. ඒ අනුව ග්‍රන්ථිය මගින් T3 හෝමෝනයේ නිෂ්පාදනය දළ වශයෙන් 20% ක් ලෙස හඳුනාගන්න පුළුවන්.
මින් සක්‍රිය හෝමෝනය ලෙස හඳුනගන්නෙ T3 හෝමෝනයයි. එම නිසා තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිෂ්පාදනය කරන T4 හෝමෝනය පවා මිනිස් ශරීරය තුළදී ඔ3 බවට පත්වෙනවා.
● ඩොක්ටර් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් T3 සහ T4 හෝමෝන ඉබේම නිෂ්පාදනය වෙනවාද?
එහෙම වෙන්නෙ නැහැ. ඒ සඳහා අපේ මොළයේ තියෙන Hypothyroidism හෙවත් පිටියුටරි ග්‍රන්ථියෙන් උත්තේජනයක් පැමිණිය යුතු වෙනවා. එම උත්තේජනය පැමිණෙන්නෙ පිටියුටරියෙන් නිෂ්පාදනය වන ඔය නමැති හෝමෝනය වශයෙන්. ඒ අනුව තයිරොයිඩ් ග්‍රන්ථිය විසින් T4 සහ T3 ඇඟට අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කරනු ලබනවා.
● තයිරොක්සින් හෝමෝන අපට අවශ්‍ය ඇයි ඩොක්ටර්?
මේ හෝමෝන ඇඟේ තියෙන සියලුම සෛලවල පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය වන නිසා.
● ඩොක්ටර් මේක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ, කොහොමද කෙනෙක්ගෙ තයිරොක්සින් අඩුවීම හඳුනගන්නෙ ?
ඒ කියන්නෙ ඔයා අහන්නෙ හයිපෝතයිරොඩිසම් ( Hypothyroidism ) තත්ත්වයේ රෝග ලක්ෂණ ගැන නේද? හයිපෝතයිරොඩිසම් තත්ත්වය කෙනෙකුගෙන් මඟහැරෙන සුලබම හේතුව වෙන්නෙ රෝග ලක්ෂණ වෙන්කර හඳුනාගත නොහැකිවීම. ඒ නිසා තයිරොක්සින් ඌණතාව කියල යම් කෙනෙක් සැක පහළ කළේ නැත්නම් රෝගය තවදුරටත් රෝගියාට මඟහැරෙන්න පුළුවන්. අපි දැන් බලමු රෝග ලක්ෂණ ගැන.
● රෝග ලක්ෂණ
■ බර වැඩි වීම
■ දැඩි උදාසීනභාවය
■ නිදිමත ගතිය
■ අධික තෙහෙට්ටුව
■ සීතල නැති තැන්වලදීත් අධික සීතලක් දැනීම
■ බඩ වේලන ගතිය
■ හිසකෙස් ගැලවී යෑම
■ සම රළු වීම
■ නියපොතු ශක්තිමත් නොවීම
■ සම වියළීමකාන්තා පාර්ශ්වය අතර මෙම රෝග ලක්ෂණ බහුලව දකින්න පුළුවන්. තවත් සමහර තයිරොක්සින් ඌණතාව ඇති රෝගීන්ට මානසික සෞඛ්‍යය අශ්‍රිත ගැටලු, ස්නායු පද්ධතිය අශ්‍රිත ගැටලු සහ මාංශපේශී ආශ්‍රිත ගැටලු ඇතිවෙන්න පුළුවන්.
■ මානසික ඒකාග්‍රතාව ගිළිහී යෑම
■ විශාදය වැනි තත්ත්ව ඇතිවීම
■ සයිකෝසිස් තත්ත්වය ( වියරු වැටුණු ස්වභාවය )
■ ආහාර රුචිය අඩුවීම සහ රස දැනීමේ වෙනස්කම් ඇතිවීම
■ මාද්‍යසාර භාවිතයෙන් තොර ෆැටිලිවර් ( Non-alcoholic fatty liver) ඇතිවීම
■ මාංශපේශිවල වේදනාව
■ අත් පා හිරිවැටීම් වැනි තත්ත්ව ( Carpal tunnel තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය) ඊටත් අමතරව තයිරොක්සින් ඌණතාව නිසා
■ හෘදය ආශ්‍රිත ගැටලු ඇතිවීම
■ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රභේද වැඩිවීම
■ අධි රුධිර පීඩනය ඇති වීම
■ ඇඟේ පටකවල තරල වැඩි වශයෙන් පිරීම නිසා පාදයේ වළලුකර ඉදිමීම සහ ඇස් ආශ්‍රිත ඉදිමීම දැකිය හැකිය. තවත් වැඩිදුර කතා කරනවා නම් තයිරොක්සින් ඌණතාව නිසා ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම
● ලිංගික උදාසීනත්වය ඇතිවීම
● මදසරුභාවය ඇතිවීම
● කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
● රුධිර වහනය අඩුවීම සහ වැඩිවීම
● ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම ඇස් ඉදිරියට නෙරා ඒම, ඇස්වල රුධිරනාල විස්තාරණය වී රතු පාටට දිස්වීම වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන්ගේ දකින්න පුළුවන්.
එතකොට ඩොක්ටර් තයිරොක්සින් ඌණතාව කෙනෙකුට ඇතිවෙන්නෙ ඇයි ?
ඉස්සර කාලෙ අපේ රටේ සුලභව තිබුණ දෙයක් තමයි අයඩීන් ඌණතාව. එම නිසා තයිරොක්සින් හෝමෝනය හැදෙන්න අත්‍යවශ්‍ය සංඝටකයක් වූ අයඩීන් අඩුවීම තයිරොක්සින් හෝමෝන ඌණතාවට එදා හේතුවක් වුණා. නමුත් දැන් මෙය අපේ රටේ සුලබ හේතුවක් නෙවෙයි. මොකද අයඩිනීකරණ වැඩසටහන ඉතාමත් සාර්ථකව මේ රටේ ක්‍රියාත්මක වන නිසා. ඒ අනුව මෙම තත්ත්වයට බලපාන හේතුවක් ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවෙන වෙනස් ක්‍රියාකාරිත්වය හඳුනාගෙන තිබෙනවා.
සාමාන්‍යයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් කරනු ලබන්නෙ පිටතින් ශරීරයට ඇතුළුවන විෂබීජයක්, වෛරසයක්, බැක්ටීරියාවකට එරෙහිව සටන් කීරීම සදහා ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමයි. සාමාන්‍යයෙන් පිටින් පැමිණෙන ආගන්තුක ද්‍රව්‍යවලට එරෙහිව සටන් කරන මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේම පටකවලට එරෙහිව වැරදී නැගී සිටීමෙන් හයිපෝතයිරොඩිසම් තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. එය තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ සිදුවීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය දුර්වල වන නිසා ඔටෝඉමියු හයිපෝතයිරොඩිසම් ලෙස හඳුන්වනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග කාන්තා පාර්ශ්වය අතර බහුලයි. විශේෂයෙන් යම් කෙනෙකුට වායු ගෙඩියක් ( Goiter ) තිබීම නිසා හෝ පිළිකාවක් තිබීම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා බෙල්ලෙ ශල්‍යකර්මයකින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කර ඇත්නම් අනිවාර්යයෙන් තයිරොක්සින් හෝමෝනය අඩුවෙනවා. එහෙම අයට මුළු ජීවිත කාලයටම තයිරොක්සින් පිටතින් ගැනීමට සිදුවෙනවා.
ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියම ඉලක්ක කරගෙන විකිරණ ප්‍රතිකාරවලට මුහුණ දුන් අයටත් උගුර අශ්‍රිත පිළිකාවකට විකිරණ ප්‍රතිකාර ලබාගත් අයටත් තයිරොයිඩ් ග්‍රන්ථිය විනාශ වීම නිසා පිටතින් තයිරොක්සින් හෝමෝන ලබාගැනීමට සිදුවෙනවා. විවිධ බෙහෙත් තියෙනවා තයිරොක්සින් හෝමෝන නිපදවීම අඩුකරන. එයින් කිහිපයක් නම් කරනවා නම්,
■ මානසික රෝගවලට භාවිත කරන ඇතැම් ඖෂධ
■ හෘද රෝගීන්ට ලබාදෙන සමහර ඖෂධ නිසාත් තයිරොක්සින් ඌණතා ඇතිකරන්න පුළුවන්.
එවැනි අවස්ථාවලදී එම ඖෂධ සමග වෛද්‍ය නිර්දේශය මත තයිරොක්සින් පිටතින් ලබාගන්න පුළුවන්. තයිරොඩයිටීස් කියන තත්ත්වය නිසාත් තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදන අඩුවෙන්න පුළුවන්. එහිදී සිදුවෙන්නෙ ග්‍රන්ථියට ප්‍රහාරයක් එල්ල වීම නිසා ග්‍රන්ථිය විනාශ වීමයි. මේවා සමහරක් වෙලාවට තාවකාලික ප්‍රහාරයන්. මෙවැනි තත්ත්වයන් ගර්භණී කාලයෙත් ගර්භණී කාලයෙන් පසුවත් ඇතිවෙන්න පුළුවන්.
එහෙමත් නැත්නම් වෛරසයක බලපෑම තයිරොයිඩ් ග්‍රන්ථියට තාවකාලිකව ඇති වූ විටත් තයිරොඩිසම් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි ඉහත සඳහන් කළ හේතු තාවකාලික බලපෑමක් කරන්නත් පුළුවන්. දීර්ඝකාලීන බලපෑමක් ඇති කරන්නත් පුළුවන්.
මේ සියලු කාරණා අයත් වන්නෙ තයිරොයිඩ් ග්‍රන්ථියට හානීවීම නිසා තයිරොක්සින් හෝමෝන නිපදවීම අඩුවීමක් හෝ නැවතීමක් වශයෙන්. මෙය ප්‍රයිමරි තයිරොඩිසම් තත්ත්වය. මෙය තමයි සුලබම හයිපෝතයිරොඩිසම් තත්ත්වය වන්නේ.
ඊට අමතරව මොළයට ඇතිවන පිළිකා, මොළයේ උණ හෙවත් මෙනින්ජයිටීස්, මොළයේ ඇතිවන ලේ කැටි හිරවීම හෙවත් ආඝාත තත්ත්ව, ක්ෂය රෝගය මොළයට වැළඳීම හෙවත් ටියුබොකියුලෝසිස්, මොළයට විෂබීජ යෑම වැනි විවිධ හේතුන් නිසා පිටියුටරි ග්‍රන්ථියට හෝ හයිපොතැලමසට යම් කිසි අනතුරක් සිදුවුවහොත් මොළයේ ඇතිවන විපර්යාස නිසා සෙන්ට්‍රල් හයිපෝතයිරොඩිසම් තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්.මෙහිදී ඇතිවෙන්නෙ ග්‍රන්ථියෙ ප්‍රශ්නයක් නෙවෙයි මොළයෙන් එන පණිවුඩයේ ප්‍රශ්නයක් නිසා.
ඩොක්ටර් මේ වගේ තත්ත්වයක් මට තියෙනවද කියල නැත්නම් වෙන කාටහරි තියෙනවාද කියලා හඳුනගන්නෙ කොහොමද ?
■ ඉහත රෝග ලක්ෂණවලින් කුමක් හෝ තියෙනවා නම් එවැනි කෙනෙකු තයිරොයිඩ් පරික්ෂාවකට යොමුවෙන්න ඕනෙ.
■ තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන ප්‍රමාණයට වඩා විශාල වීම හෙවත් අපි වායු ගෙඩි ලෙස හඳුන්වන තත්ත්වයක් තියෙනව නම් එවැනි කෙනෙකු තයිරොක්සින් පරීක්ෂාවකට යොමු වීම වැදගත්.
■ ඉහත සඳහන් කළ ආකාරය ග්‍රන්ථිය ඉදිමෙන්නෙ නැතුව හෝමෝන විපර්යාසයක් තියෙන අයත් තයිරොක්සින් පරීක්ෂාවට යොමු වෙන්න ඕනෙ.
■ දැනටමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගය ඇති බවට හඳුනාගෙන තිබෙනවා නම් එවැනි කෙනෙකු තයිරොක්සින් පරීක්ෂාවකට යොමු වෙන්න ඕනෙ.
■ පවුලේ කෙනෙකුට ( විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ අයට ) තයිරොයිඩ් ඌණතාව තිබෙනවා නම් එවැනි කෙනෙකුත් තයිරොක්සින් පරීක්ෂාවට යොමුවෙන්න ඕනේ.
■ බෙල්ලට විකිරණ ප්‍රතිකාර කරපු අය තයිරොක්සින් පරීක්ෂාවට යොමු වෙන්න ඕනෙ.
■ රක්ත හීනතාව, කොලෙස්ටරෝල් වැඩි වීම තියෙන අයත් තයිරොක්සින් පරීක්ෂාවට යොමුවීම සුදුසුයි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් පළවෙනි පියවර ලෙස එවැනි අයට කියන්නෙ TSH පරීක්ෂාව කරගන්න කියල. TSH පරීක්ෂාව වැඩියෙන් ආවොත් එය තයිරොක්සීන් ඌණතාව ඇති බවට සංඥාවක් වෙනවා. එවිට ඔබව පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔබට T4 හෝමෝනය පරීක්ෂා කරගෙන එන්න කියනවා.
එම පරීක්ෂාවෙදී T4 හෝමෝනය අඩු බව පෙන්නුවොත් එවැනි කෙනෙකුට ප්‍රයිමරි හයිපෝතයිරොඩිසම් තත්ත්වය ඇති බව හඳුනාගන්නවා. සාමාන්‍යයෙන් මෙම TSH පරීක්ෂණය උදේ කාලයක කළ යුතු වෙනවා. මේ පරීක්ෂණ සඳහා ඔබ නිරාහාරව සිටීමට අවශ්‍ය නැහැ.
මේ සඳහා රුධිරය ලබාගැනීමක් සිදුකරනවා. ඔටෝඉමියුනින් තත්ත්වය නිසා තයිරොක්සින් හෝමෝනය අඩුවී දැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වුවහොත් පමණක් TPO Anti bodies පරීක්ෂාව කළ හැකියි. මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමී තිබුණොත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය ද හිමොග්ලොබින් සහ සීනි පරීක්ෂණ පවා සිදුකරන අවස්ථා තියෙනවා.
ඩොක්ටර් TSH අඩුවෙලත් තයිරොක්සින් හෝමෝන ඌණතාව ඇතිවෙන්න පුළුවන්ද?
ඔව්. සමහර වෙලාවට මොළයේ ඇතිවන ප්‍රශ්න නිසා හටගන්නා තයිරොක්සින් ඌණතාවයේදී බොහෝවිට සිදුවන්නේ TSH අඩුවෙලා හෝ සාමාන්‍ය වෙලා තයිරොක්සින් ඌණතාව ඇති වීමයි. මෙම තත්ත්වය ටිකක් සංකීර්ණයි.
රෝග තත්ත්වය හරියටම හඳුනාගත්තට පස්සෙ ලබාදෙන ප්‍රතිකාර මොනවද ?
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග තයිරොක්සින් ඌණතාව කියන්නෙ ජීවිතය වෙනස් කරගෙන පාලනය කරගෙන සිටිය යුතු තත්ත්වයක් නෙවෙයි. ඉක්මනින් හඳුනාගැනීම තමයි වැදගත් වෙන්නෙ. ඉන්පසු මේ රෝගය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. සාමාන්‍යයෙන් තයිරොක්සින් ඌණතාවක් තියෙන රෝගියෙකුට ප්‍රතිකාර අවශ්‍යද නැද්ද යන්න වෛද්‍යවරයා පරීක්ෂා කර බලනවා. හයිපෝතයිරොඩිසම් තත්ත්වය තියෙනවා කියල වෛද්‍යවරයා තීරණය කළොත් එවැනි රෝගීන්ට හෝමෝන පිටින් ලබාගැනීමට වෛද්‍යවරයා නිර්දේශ කරනවා.
රෝගයේ තීව්‍රතාව අනුව දෙන මාත්‍රාව වෙනස් වෙනවා. ඒ වගේම රෝගියාගේ බර සහ රෝග ලක්ෂණ ගැනත් මෙහිදී සැලකිල්ලට ගන්නවා. සාමාන්‍යයෙන් තයිරොක්සින් පෙත්ත උදේ වරුවක ගැනීමයි වඩාත් සුදුසු. එයට හේතු වන්නෙ අප ලබාගන්නා ආහාර පාන අනුව මෙහි උරාගැනීම වෙනස් වීමයි. එවිට ගන්නා මාත්‍රාවෙන් රෝගියා සුව නොවීමටත් පුළුවන්. ඒ නිසා අපි රෝගීන්ට නිර්දේශ කරන්නෙ තයිරොක්සින් මාත්‍රාව උදෑසන හිස් බඩට වතුර වීදුරුවක් සමග ලබාගත යුතු බවටයි. එම මාත්‍රාව ලබාගැනීමෙන් පසුව අවම වශයෙන් විනාඩි 30 ක් නැත්නම් 60 ක් අනෙක් ලබාගන්නා බෙහෙත් සහ ආහාර ලබා නොගෙන සිටිනවා නම් තයිරොක්සීන් හොඳින් රුධිරයට අවශෝෂණය වෙනවා.
ඒ අනුව ඔබට උදෑසන කටයුතුවල නිරත වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් උදෑසන කාර්ය බහුල නම් එවැනි රෝගියකු කළ යුත්තේ තයිරොක්සීන් පෙත්ත රාත්‍රී ආහාර වෙලෙන් පැය 4 කට පසු වතුර වීදුරුවක් සමග ලබාගැනීමයි.
ඉන්පසුව ඔබට සුව නින්දකට පිවිසිය හැකියි. ඊට අමතරව අපි සුලබව ලබාගන්නා යකඩ පෙති, කැල්සියම් පෙති, මල්ටි විටමින් පෙති, කෙඳි සහිත ආහාර, ගැස්ට්‍රයිටීස් පෙත්ත තයිරොක්සීන් උරාගැනීමට බාධා කරනවා. ඒ නිසා මේ සියලු පෙති වර්ග ලබාගත යුත්තේ බෙහෙත් මාත්‍රාව ලබාගෙන පැය 4 කට පසුවයි.
මෙහි මාත්‍රාව ඔබේ රෝගයට සරිලන ලෙස සකසා ගන්නට සාමාන්‍යයෙන් සති 4 ක සිට 6 ක කාලයක් ගතවෙනවා. ඒ සදහා TSH පරීක්ෂාවක්ද සිදු කරනු ලබනවා. තයිරොක්සීන් වැඩිවූ විට නිතර දහඩිය දැමීම, අතපය වේව්ලීම, අහේතුකව කෙට්ටු වීම, පාචනය වැනි තත්ත්ව ඇතිවිය හැකියි. එම නිසා වෛද්‍ය උපදෙස් නොමැතිව මෙම ඖෂධ ලබගැනීම අවදානම්.
ඩොක්ටර් තයිරොයිඩ් ප්‍රශ්න තියෙන කෙනෙකු කෑමෙන් පරිස්සම් වෙන්න ඕනෙද ?
එහෙම විශේෂ ඩයට් ප්ලෑන් එකක් ඕනෙ නෑ. සමාජයේ තියෙන්නෙ කෑම සම්බන්ධයෙන් මිත්‍යාවක්. ඒ නිසා හයිපෝතයිරොඩිසම් ඇති රෝගියෙකු කන්න හොඳ නැති කෑම කියල දෙයක් නෑ. සෝයා වර්ග, ගෝවා, රාබූ, බ්‍රොකලි වැනි ආහාර පවා තයිරොක්සින් බෙහෙත් ලබාගන්න කෙනෙකුට කෑමට බාධාවක් නෑ. වැදගත්ම දේ වන්නේ පෙති ලබාගැනීමෙන් පැය කිහිපයකට පසු හොඳින් පිස මෙම ආහාර ගැනීමයි. මේ ආහාර සාමාන්‍ය පරිභෝජනයක් ලෙස ගත හැකියි. කෝපි, කැෆේන් වැනි දේවල් පෙත්ත ලබාගෙන පැය 3 කට පස්සෙ ලබාගත්තම කිසි ප්‍රශ්නයක් නෑ.
හරින්දී ලියනගේ