ඩෙංගු වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමට අප සැවොම වගකිව යුතු වේ. අප ජීවත්වන වටපිටාව පිරිසිදුව තබාගන්නට පුළුවන් නම් ඩෙංගු යනු තවදුරටත් වසංගතයක් නොවේ. එසේ කරන කල සිදුවන්නේ ඩෙංගු වෛරස් වාහකයන් වන ඊඩිස් ඊජිප්ටි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන් බෝවන ස්ථාන අප අවට වටාපිටාවෙන් නිර්මාණය නොවීමයි.අපට එදිනෙදා මතක් වන වතුර රැfඳන ප්‍රධාන තැන් මෙන්ම අපට මතක් නොවන තැන් එමට තිබේ.
ටින්, පොල් කටු, තැඹිලි කෝම්බ, වැහි පීලි, පාළුවට ගිය ළිං සහ පොකුණු, වතුර වළවල් මෙන්ම මතක් නොවන තැන් අතර තිබෙන පරිසරයට ඉවත දමන ටොෆි කොළයේ සිට ශීතකරණයේ පිටුපස ඇති වතුර රැඳෙන තැටිය දක්වාම ඩෙංගු වාහක මදුරුවන්ට මිනිසාට වෛරසය රැගෙන යා හැකි බිත්තර දහස් ගණන් දැමිය හැකිය.
මේවා නිවස තුළ පමණක් නොව පාසල තුළත් රෝහල තුළත් පන්සල තුළත් කෝවිල තුළත් පල්ලිය තුළත් තිබිය හැකි වතුර රැඳෙන ස්ථාන වේ. එම නිසා ගමේ හෝ නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, ඩෙංගු මර්දන ව්‍යාපාරයේ නිලධාරීන් එසේ නොමැතිනම් ග්‍රාම සේවක නිලධාරියා වත්තට පැමිණ ඔබ මොබ සැරිසරමින් මදුරු කීටයන් බෝවන තැන් පරීක්ෂා කරනවිට ඔවුන්ට තිත්ත කුණුහරුපයෙන් බැණවැදීම, වෙට්ටු දැමීම, ගෙවල් වසා පලායෑම, බොරු ලෙඩ ගැනීම, බල්ලන් ලිහා තැබීම වැනි ඔවුන්ගේ රාජකාරියට බාධා වෙන ලෙස හැසිරීමෙන් මරණ සහතිකය ලෙහෙසියෙන්ම ලියා ගැනීමට කටයුතු නොකළ යුතුය.
ඔවුන් එසේ ඩෙංගු මදුරු කීටයන් පරීක්ෂාවට එන්නේ කරන්නට කිසිවක් නොමැතිකම නිසා නොව ඔබට නොවටින ඔබේ සහ ආදරණීයයන්ගේ ජීවිත රටේ සෞඛ්‍ය පද්ධතියට වටිනා නිසාය. දින දෙකකට වඩා පවතින උණ ගතිය වැනි රෝග ලක්ෂණ තිබුණත් නොතිබුණත් ඩෙංගු පරික්ෂාවක් කර ගත යුතු අතර දැන් සමාජයේ ජීවත් වන ජනතාව අවදියෙන් සිටිය යුතු වන්නේ ඩෙංගු රක්තපාත තත්ත්වයෙන් මිදීම සඳහාය.
මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ඇදහැළෙන පළමු අන්තර් මෝසම් වැසි සමයත්, මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මහා පරිමාණයෙන් ඇදහැළෙන නිරිතදිග මෝසම් වැසි සමයත් ඩෙංගු මදුරුවන්ට බෝවෙන්නට රාජධානියක් සපයන අතර ඒ නිසා මරණ වැඩි වන්නේ ඩෙංගු මදුරු කීටයන් බෝවෙන තැන් ජනතාව විසින් නිසිපරිදි ඉවත් නොකරන නිසාය.
දැනටමත් ඩෙංගු මරණ වැඩිම දිස්ත්‍රික්කය ලෙස ගම්පහ කප් ගසා ඇත්තේ ගිය වසරේ මේ කාලයටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින්ය. ගම්පහට දෙවැනි වී ඇත්තේ කොළඹය. මෙය ඉදිරියේදී තව තවත් වැඩිවිය හැකි බවට සෞඛ්‍ය අංශ රතු නිවේදනයක් ද නිකුත් කර ඇත. එබැවින් දිවා කාලයේ අතිශයින්ම සක්‍රීයවන ඩෙංගු මදුරු ප්‍රභේද තුනම විනාශ කර දැමීම සඳහා ගුරුවරුන්, දෙමව්පියන්, දරුවන් මෙන්ම සමස්ථ සමාජයම එකතු විය යුත්තේ වසංගතයක් පාලනය කිරීමේ පූර්ණබලය බෙහෙත් තරමටම ජනතාව පිටද පැවරෙන නිසාය.