ශ්‍රී ලංකාවේ සියලු කිකිළියන් මේ වන විටත් ගණන් උස්සා ඇත. ඒ ගණන් ඉස්සීමේ තරම කොතෙක්ද කියතොත් උන් රකින බිත්තරයක් දැකීම දැන් කලුනික හොයන කාරණයකටත් වඩා අසීරුය. එහි හොඳම හරිය වන්නේ බිත්තර ලබා ගැනීම සඳහා පමණක් ව්‍යාපාරික මට්ට්මෙන් ඇති කරන කිකිළියන් පවා මේ දවස්වල තමන්ට අදාළ කාර්යය නොකරනා බැවින් ඔවුන් කරන්නේ කුමන කාර්යය දැයි දැනගැනීමේ කුතුහලය අප තුළද ඇති වීමය. සමහරවිට මේ කිකිළියන් මේ දවස්වල රත්තරං බිත්තර දානා බැවින් ඔවුන්ගේ හාම්පුතුන් කළින් මෙන් බිත්තර විකුණා මුදල් සෙවීම වෙනුවට වෙනත් හොඳ ක්‍රමයක් සිතමින් සිටිනවා විය හැකියැයි උපකල්පනය කළ හැකියි.
කෙසේ වූවත් මේ වනවිට සාමාන්‍ය ග්‍රොසරිවල පමණක් නොව සුපිරි වෙළෙඳසැල්වලද පැකට්වල අසුරන ලද බිත්තරද සොයා ගැනීමට නොමැත. පසුගිය කාලයේ හිතා ගන්නටත් බැරි තරමට වැඩි වූ බිත්තර මිල වඩාත් උච්චතම වැඩිවීමට පැමිණියේ අප්‍රේල් සහ දෙසැම්බර් උත්සව සමයේය. ඒ කාලයේ දී අප බිත්තරයක් රුපියල් 65 ට මිලට ගත් අවස්ථා ද තිබුණි. එකක් 65 ට හෝ ඊට වැඩියෙන් ගෙන බිත්තර යොදා හැදූ කේක් වර්ග, බේකරි කෑම පමණක් නොව රයිස් වර්ග ද මිලට ගැනීම පාරිභෝගිකයන්ට හීනයක්ම විය. පාන් නැත්නම් කේක් කාපල්ලා කියූ කටට දැන් අපි කියන්නේ මොනවාද ?
ඇතැම් පොඩි දරුවන් මස්, මාළු වැනි ප්‍රෝටීනමය ආහාර ගැනීම පිළිකුල් කළත් බිත්තර කහ මදය ඇනූ බත් කටක් කෑමට කැමතිය. බොහෝ අඩුආදයම්ලාභී පවුල්වල දරුවන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය යම් තරමකට හෝ පිරිමැසුනේ සතියට දවසක් හෝ දෙකක් බිත්තරයක් ආහාර වේලකට එකතුකර ගැනීමෙන් විනා හැම්, බේකන්, චීස්, බටර් වැනි ප්‍රෝටීන හා මේදය බහුල ආහාරවලින් නොවන බව අපි ද දනිමු. එවැනි දරුවන්ට දැන් අබ සරණය. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනා පරිදි ශ්‍රී ලංකාවේ අඩුඅදායම්ලාභී පවුල්වල දරුවන් අතර පැතිරෙන මන්දපෝෂණය තව තවත් උග්‍ර වනු ඇත.
ළඟ එන උත්සව සමයත් සමඟ බිත්තරවල අවශ්‍යතාවය බේකරි කර්මාන්තයටත් කේක් කර්මාන්තයටත් සමස්ථ ආහාර නිෂ්පාදන කර්මාන්තයටත් දැඩිව බලපෑම් ඇති කරන බැවින් දැන්වත් රජය, ආහාර පාන සඳහා වග කියන රාජ්‍ය ආයතන, පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත් වී වර්ජනය කර ඇති කිකිළියන් කෙසේ වෙතත් බිත්තර මාෆියාව ඇති කරපු හාම්පුතුන් බෙල්ලෙන් අල්ලා අවශ්‍ය දඬුවමක් ලබා දීම වටී. එපමණක් ද නොව බිත්තර සඳහා පාලන මිලක් ඇති කිරීමින් ඒ පිළිබඳව සෝදිසි කිරීමත්, ආනයනික බිත්තර වැඩසටහන නිසිපරිදි ක්‍රියාත්මක කරමින් මෙරට බිත්තර අලෙවිකරුවන්ගේ ඒකාධීකරාය බිඳ දමා තරඟකාරි වෙළෙඳපොළක් ඇති කිරීමත් නොකරන්නේ නම් මෙරට බිත්තර මුදලාලිලා හැමදාමත් දිනනු ඇත.