කඩදාසි කියන්නේ විටෙක අපේ ජීවිතයේ වටිනාම වස්තුවක්. කොටින්ම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ඒ වගේම අපේ උප්පැන්න සහතිකය, මරණ සහතිකය දේපල වල අයිතිය පවතින ඔප්පු තිරප්පු ඊටත් අමතරව අපේ රන් සහ වෙනත් මුදල් තැන්පත් කිරීමේ ලියවිලි වැනි බොහෝ දේවලින් අපට ඒවායේ අයිතිය තහවුරු කරනවා. ඒ අතරම තවත් විටෙක අපට කඩදාසි බැහැර කිරීම නිසි ක්‍රමවේදයක් නොමැති වීමත් අපට ගැටලුවක්. බස් ටිකට් පතේ පටන් දිග පළල සහිත කඩදාාසි බැහැර කිරීමේදී පාරිසරික වශයෙනුත් ගැටලු ඇති වෙනවා. නමුත් ඉවත දමන කඩදාසිවලින් අපූරු නිර්මාණ මවන තවත් කලාකරුවෙක් අපට මහනුවර අලවතුගොඩ ප්‍රදේශයෙන් හමු වුණා. කෙටියෙක් කිව්වොත් ඔහුගේ නිවස පුංචි කලාගාරයක්. එහෙමනම් අපි මේ පුංචි කලාගාරයේ අයිතිකරුගෙන් ඔහු ආ ගමන් මග ගැන විස්තර අහගෙනම දැනගනිමු.
මගේ නම නදීක නුවන්ජිත් වර්ගජ්‍යෙෂ්ඨ මහනුවර අලවතුගොඩ අරඹේපොල ග්‍රාමයේ හැදී වැඩුන මම මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පාසල් වයසේ පටන්ම චිත්‍ර කලා විෂයට මම වැඩි කැමැත්තක් දැක්වූවා. ඒ වගේම චිත්‍ර ඇඳීමේ හැකියාවත් මට තිබුණා. නමුත් අපේ පාසලේ ඒ වනවිට මූර්ති කලාව විෂයක් විදිහට තිබුණේ නැහැ. මම මූර්ති කලාව ගැනත් උනන්දුවක් දැක්වුවත් මට විෂයක් විදිහට මූර්ති කලාව ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණෙත් නැහැ. නමුත් උසස් පෙළ පංතියේදී මම චිත්‍ර විෂයක් විදිහටත් ඉගෙන ගත්තා.
■ පාසල් අධ්‍යාපනයෙන් පසුව…
උසස් පෙළ අවසානයෙන් පසුව මුලින්ම මම පුද්ගලික සමාගම් දෙකක සේවයට සම්බන්ධ වුණා. නමුත් මම අපේක්ෂා කරන රැකියා තෘප්තිය එතැන තිබුණේ නැහැ. ඊට පස්සේ මම පුද්ගලික ඒජන්සියකට සම්බන්ධ වුණා. එතැනින් පරිපාලනය ගැන මට ඒ තරම් පැහැදීමක් තිබුණේ නැහැ. මම ඒජන්සියෙනුත් ඉවත් වුණා.
■ වසර පහක දෙවන පිටපත් තිබුණා…
ඒජන්සියේ වසර පහක් මම සේවය කළා. ඒ කාලයේ ගනුදෙනු කළ දෙවන පිටපත් බිල් කාමරයක් විතර තිබුණා. දවසක් මම ඒ බිල්පත් පුච්චන්න ලෑස්ති වෙලා ආයෙමත් පුච්චනවාට වඩා යමක් කරන්න බැරිද කියලා හිතුවා. මම මේ පරණ බිල්පත් සේරම පොඟවලා මුර්තියක් හැදුවා. මුල්ම දවසේ මම හැදුවේ ඇතෙක්ගේ පිළිරුවක්. අපේ රටේ කඩදාසි මූර්ති වලට තැනක් නැති වුණත් විදේශ රටවල කඩදාසි මූර්ති වෙනුවෙන් විශාල කැමැත්තක් වගේම ඉල්ලුමක් තිබෙනවා. නිර්මාණයක් කළාම එයින් අපූරු තෘප්තියක් සිතට ලැබෙනවා. එතැන් පටන් මම කඩදාසි පල්ප යොදා ගෙන විවිධ නිර්මාණ කරන්න පටන් ගත්තා.
ඒ අතරට බිත්ති සැරසිලි, සත්ව රූප වගේ විසිතුරු නිර්මාණ ඇතුළත් වුණා. පැරණි ගෙවල්වල ගාම්භීරත්වය වෙනුවෙන් බිත්තියේ ගසන අලංකාර මුව අං තට්ටුවක් වැනි නිර්මාණත් කඩදාසි යොදාගෙන මුවාගේ අං කුට්ටම ඇත්තම අං වගේ පෙනුනනත් අං තට්ටුව හදාගෙන තියෙන්නේ කඩදාසි පල්ප වලින්. අලියන්ගේ නම් සැකිල්ල යකඩ වලින් සකස් කරගෙන කඩදාසි පල්පයෙන් පුරවනවා.
■ මේවායේ කල් පැවැත්ම ගැන…
මගේ නිර්මාණවල කල්පැවැත්ම ගැන මට Life Time සහතිකයක් දෙන්න පුළුවන්. ඒ තරමටම වගකීම් සහතිකයක් තියෙනවා. අපි මෙහෙම හිතමු, ලීයෙන් කළත්, අව්වට පිච්චෙන සහ වැස්සට තෙමෙන විදිහට නිරාවරණය වුණොත් එහි කල්පැවැත්මක් නැහැ. නමුත් අපි ආරක්ෂිතව මේ නිර්මාණ තබා ගතහොත් කල් පැවැත්ම ගැන කිසිම බියක් නැහැ. ඒ විදිහට තියන මගේ නිෂ්පාදනයක කුමක් හෝ අඩු පාඩුවක් වුණොත් ඒ වෙනුවට මම වෙනත් නිර්මාණයක් ලබා දෙන්නත් සූදානම්.
■ ඔබේ නිර්මාණ නිෂ්පාදනය වෙනුවෙන් වෙළඳපොළක් තිබෙනවාද?
2019 වසරට පෙරාතුව නම් සංචාරකයන්ගෙන් හොඳ වෙළඳපොළක් තිබුණා. නමුත් 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා. ඒ නිසා යම් පසුබැස්මක් ඇති වුණා. ඊට පසුව කොවිඩ් නිසාත් අපේ නිෂ්පාදන වෙනුවෙන් අලෙවිය අඩු වුණා. ඒ සියල්ල දරාගෙන අපි ඉදිරියට ගියත් දැන් පවතින ආර්ථික උද්ධමනය ඉදිරියේ නම් මේවාට මිලක් ලබා දෙන්න හරිම අපහසුයි. උදාහරණ විදිහට කිව්වොත් අද වනවිට ටිනර් බෝතලයක මිල 2021, 2022 වසරට සාපේක්ෂව දෙතුන් ගුණයකින් ඉහළ ගිහින්.
■ අලෙවියට අතරමැදියන් සම්බන්ධ කර ගන්නේ නැතිද?
මගේ නිෂ්පාදනවල නිෂ්පාදකයා වගේම වෙළෙන්දාත් මම විතරයි. අලෙවියේදී අතරමැදියන්ට ලබා දුන්නොත් අපට ලාභයක් ලැබෙන්නේ නැහැ. සමහර අවස්ථාවල ඔවුන් අපෙන් ගන්නා මිලට වඩා දෙගුණයක් මිල නියම කරලා අලෙවි කරනවා. ඒ නිසා මගේ “හස්තික ක්‍රාෆ්ට්” ආයතනයෙන් මිලදී ගන්න පුළුවන්. ඒ හැරුනු විට දන්නා හඳුනන අය වගේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මාර්ගගත විදිහට අලෙවි සිදු කරනවා හැර වෙන කිසිම අලෙවි සැලක් හෝ අතරමැදි වෙළඳාමක් නැහැ.
■ ඔබටත් සහතික සහ සම්මාන ලැබී තිබෙනවාද?
ඔව් 2018 වසරේ ජනාධිපති සම්මන උළෙලේදී කුසලතාවය, 2019 වසරේ ජනාධිපති සම්මාන ප්‍රථම ස්ථානය, මධ්‍යම පළාත් කලා නිර්මාණ අතර දෙවන, තුන්වැනි ස්ථාන වගේම ප්‍රථම ස්ථානයත් ලබා ගෙන තිබෙනවා.
■ මේ නිෂ්පාදන දිරි ගැන්වීමට රාජ්‍ය අංශයේ මැදිහත් වීමක් තිබෙනවාද?
ජාතික ශිල්ප සභාව මගින් අපට ප්‍රදර්ශන සඳහා ආරාධනා ලැබෙනවා. අපි දින කීපයක් ප්‍රදර්ශන තියලා අවසානයේද සම්මානයක් හෝ සහතික පත්‍රයක් එහෙම අරගෙන එනවා.
■ ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන විදිහේ අනුග්‍රහයක්ද?
දැන් අපි රටට ඩොලර් නෑ කියලා මැසවිලි කියනවා. නමුත් අපි ඩොලර් හොයන්න මහන්සි වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් තියෙන මාර්ග හොයන්නේ නෑ. මේ වගේ කඩදාසි පල්ප මූර්ති වෙනුවෙන් විදේශීය රටවලින් හොඳ ඉල්ලුමක් ලැබෙනවා. නමුත් ඒ වෙළඳපොළ හඳුනා ගැනීමට වගකිව යුතු අංශවලින් කිසිම සහයෝගයක් හෝ උනන්දුවක් නැහැ.
මම වෙළඳපොළ සොයාගෙන ඉන්දියාවට මගේ නිෂ්පාදන අලෙවි කළා. මේ නිෂ්පාදන අතින්ම කරන නිසා සුවිශේෂියි. අච්චුවක් යොදා ගත්තා නම් නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. නමුත් ඒවායේ සියුම් කලාත්මක බවක් නැහැ. අඩුම වශයෙන් මට වුණත් එකම විදිහේ නිර්මාණ දෙකක් කරන්න බැහැ. දෙවන වරට නිෂ්පාදනය කරන නිර්මාණයේ දශමයක හෝ වෙනසක් තිබෙනවා. ඒ වුණත් අතින් කරන නිර්මාණ වලට විදේශයන්හි හොඳ ඉල්ලුමක් තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා