පිළිකා කියා හඳුන්වන්නේ එක රෝගයක් නොවේ. රෝග විශාල ප්‍රමාණයක එකතුවක්. ආසන්න වශයෙන් 200 කට කිට්ටු පිළිකා රෝග ප්‍රමාණයක් අද වනවිට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් සමහර පිළිකා ඉතා බහුලව හමුවනවා. පියයුරු පිළිකාව කියන්නෙ එවැනි පිළිකාවක්. ඒ වගේම ඉතාමත් කලාතුරකින් හමුවන පිළිකාත් තිබෙනවා. එලෙස කලාතුරකින්ම හමුවන පිළිකාවක් තමයි ‘හිස්ටියෝසිටික් සාකෝමා’ කියා හඳුන්වන්නෙ. සාමාන්‍යයෙන් ජනගහනයෙන් ට්‍රිලියනයකට මෙවැනි එක් පිළිකා රෝගියකු පමණයි හමුවන්නෙ. ඒ තරම්ම ඒ පිළිකාව විරල එකක්. නමුත් පසුගිය වසරේ මා හට එවැනි පිළිකා රෝගියකු හමු වූ අතර ඒ සඳහා කරනු ලැබූ විශේෂ ශල්‍යකර්මයකින් සහ විකිරණ ප්රතිකාරවලින් පසුව දැන් එම රෝගියා සුවසේ සිටිනවා.
1985 දී ශ්‍රී ලංකාව තුළ අලුතින් සොයාගෙන තිබුණේ පිළිකා රෝගීන් 5012 ක් පමණයි. නමුත් ඒ ඒ වසර තුළ අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙලා 2020 වසර වන විට අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් ප්‍රමාණය 37648 ක් දක්වා වැඩි වී තිබෙනවා. මෙම ප්‍රමාණය 1985 දී හඳුනාගත් පිළිකා රෝගීන්ගේ ප්‍රමාණයට වඩා හත් ගුණයකික් වැඩිවීමක් බව පැහැදිලියි.
ශ්‍රී ලංකාව තුළ අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ පමණක් නොව මෙය ලෝකයේ ඕනෑම රටකට පොදු දෙයක්. ලෝකයේ දියුණු රටවල්වල තමා පිළිකා රෝගීන්ගේ වැඩිවීම සීඝ්රයෙන් සිදුවන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමා රටක ජීවත්වන ජනතාවගේ ආයුෂ එන්න එන්නම වැඩිවීම. ඒ කියන්නේ උපතේදී ආයු අපේක්ෂාව කාලයත් සමඟ වැඩිවීම. ඒකෙන් කියන්නේ පුද්ගලයෙක් ජීවත්වන ආයු කාලය වැඩිවෙත්ම ඔහුට හෝ ඇයට පිළිකාවක් ඇතිවීමේ හැකියාව වැඩිවන බවයි. මෙන්න මේ නිසා තමයි වැඩිපුරම පිළිකා දක්නට ලැබෙන්නේ වැඩිහිටි අය අතර. මේ නිසා කුඩා දරුවන්ගේ පිළිකා ඇතිවීම අහන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්. වර්ෂ 2020 දී අලුතින් හඳුනාගත් සම්පූර්ණ පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වූ 37,648 න් අවුරුදු 19 ට අඩු වයසෙන් යුත් දරුවන් සිටියේ 925 ක් පමණයි. 1985 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉපදුණ ගැහැනු හෝ පිරිමි කෙනෙකුගේ උපතේදී ආයුෂ අපේක්ෂාව අවුරුදු 69 ක් පමණ වූ අතර වර්ෂ 2022 දී එම අගය වසර 77.06 යි මාස 06 දක්වා වැඩි වී තිබුණා. වසරක් පාසා උපතේදී ආයු අපේක්ෂාව වැඩිවීමේ ප්‍රතිශතය ද ක්‍රමයෙන් වැඩිවන නිසා ඉදිරි වසර කිහිපය තුළදී අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ප්‍රමාණය තවත් විශාල වශයෙන් වැඩිවිය හැකි බවට ගණන් බලා තිබෙනවා.
ජීවත්වන කාලය වැඩිවන විට පිළිකා ඇතිවීම වැඩිවන්නේ කෙසේද?
පිළිකාවක් ඇතිවන්නේ අපේ ශරීරයේ ඇති සෛලවල සිදුවන වෙනස්කම් රාශියක ප්‍රතිඵලයක් ලෙසටයි. මේ වෙනස්කම් සිදුවන්නේ ජානවල වන අතර මෙම වෙනස්කම්වලට ජාන විකෘති කියලා කියනවා. බොහෝ වේලාවකට එක ජාන විකෘතියක් සිදුවූ පමණින්ම පිළිකාවක් ඇතිවන්නේ නෑ. ජාන විකෘති රාශියක අවසන් ප්‍රතිඵලය ලෙසට තමයි පිළිකාවක් ඇතිවෙන්නේ. ජාන විකෘති ඇතැම් ඒවා ඉබේටම ඇතිවන්න පුළුවන්. මේවා ඇතිවන්නේ මව් සෛල බෙදිලා දරු සෛල සෑදෙන වෙලාවට. තවත් සමහරක් ජාන විකෘති ඇතිවීමට බාහිර පරිසර සාධක හෝ අභ්‍යන්තර පාරිසරික සාධක බලපානවා. ජීවත්වන කාලය වැඩිවන විට ඉහත ආකාර දෙකටම විකෘති ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිවෙනවා. නමුත් මෙලෙස ඇතිවන විකෘති හඳුනාගෙන ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමේ ආරක්ෂණ යාන්ත්‍රණයක් අප සිරුරේ සෛල තුළම සිදුවනවා. අවාසනාවකට කෙනෙක් වයසට යන විට මෙම ආරක්ෂණ යාන්ත්‍රණය දුර්වල වෙනවා. එවිට ජාන විකෘති සෛල තුළ එකතු වී පිළිකා ඇති කරනවා. වයසට යත්ම පිළිකා ඇතිවීම වැඩිවන ආකාරය දැන් පැහැදිලි වනවා ඇති.
ශ්‍රී ලංකාව තුළ අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වසරක් පාසා වැඩිවීමට බලපාන වෙනත් කරුණු තිබෙනවාද?
අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වසරක් පාසා වැඩිවීමට තවත් කරුණු කිහිපයක් බලපානවා. අතීතයේදී පිළිකා රෝග විනිශ්චය සඳහා තිබූ පහසුකම් ඉතා අඩුයි. එහෙත් වර්තමානයේදී එම පහසුකම් බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. එවිට කාලයත් සමඟ ප්‍රජාව තුළ සිටින පිළිකා රෝගීන්ව, පිළිකා රෝගීන් ලෙසට හඳුනාගැනීමේ ක්‍රමවේදයන් විශාල වශයෙන් දියුණු වීම නිසාත් අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ විශාල වැඩිවීමක් දකින්න තිබෙනවා. මෙයින් අදහස් වන්නේ අතීතයේදී පිළිකා රෝගීන් බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ තිබියදීත් එම රෝග ලක්ෂණවලට හේතුව පිළිකාවක් නිසා බව හඳුනාගැනීම සඳහා බාධකයන් රාශියක් තිබුණු බවයි.
එම නිසා එම රෝගීන් පිළිකා රෝගීන් ලෙසට හඳුනාගැනීමකින් තොරවම මිය යන්නට ඇති.තවද අතීතයට වඩා වර්තමානයේදී සෞඛ්‍ය සේවකයන් තුළ මෙන්ම සාමාන්‍ය ජනතාව තුළද පිළිකා පිළිබඳ ඇති දැනුමේ සීඝ්‍ර දියුණුවක් ඇති වී තිබෙන නිසා වර්තමානයේ පිළිකා රෝගීන් හඳුනාගැනීමේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. එමෙන්ම රෝග ලක්ෂණ නොමැතිව වුවද, පිළිකා කල්තබා හඳුනාගැනීමේ ක්‍රමවේදයන් දියුණු වීමද මෙලෙස අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ වැඩිවීමට හේතුවනවා.අතීතයේ සම්මත පිළිකා ප්‍රතිකාර සහ රෝග විනිශ්චය සඳහා රෝහල් පහසුකම් රට පුරාම ව්‍යාප්තව නොතිබුණු අතර සැලකිය යුතු රෝගීන් පිරිසක් සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමවේදයන් වෙත යොමු වී තිබුණා. එවිට එම රෝගීන් පිළිකා රෝගීන් ලෙසට හඳුනාගැනීමේ හැකියාවක් හෝ පිළිකා සඳහා ලබාදිය යුතු නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමක් කර තිබුණේ නෑ. නමුත් වර්තමානයේ කිසියම් රෝග ලක්ෂණයක් මතු වූ සැනින් ඒ සඳහා උපදෙස් ගැනීමට රට පුරාම සම්මත ප්‍රතිකාර ක්‍රමවේද තුළ යම් මට්ටමක හෝ පහසුකම් සලසා ඇති නිසාද පිළිකා රෝගීන් අලුතින් හඳුනාගැනීමේ වැඩිවීමක් සිදුව තිබෙනවා.
අතීතයේදී සම්මත ප්‍රතිකාර ක්‍රම තුළදී පවා අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් සියල්ලම සංගණනයන්ට හසුව තිබුණේ නෑ. වර්තමානයේ මෙන් අතීතයේදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ පිළිකා මර්දන ඒකකය අද මෙන් දියුණු තත්ත්වයක තිබුණේ නෑ. ඒ නිසාම බොහෝමයක් පිළිකා රෝගීන්ගේ හඳුනාගැනීමේ දත්ත සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව තිබුණෙත් නෑ. නමුත් වර්තමානයේදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාලේඛන පෙරට වඩා දියුණු තත්ත්වයක ඇති බැවින් අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීමට එය ද බලපා තිබෙනවා.
අතීතයට වඩා වර්තමානයේදී මිනිසුන් පිළිකා කාරකවලට නිරාවරණය වීමද බෙහෙවින් වැඩි වී තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව තරම් ජනතාවට වස කවන වෙනත් රටක් නැති තරම්. අද කඩයකට ගොස් ගන්නා කෙසෙල් ගෙඩිය ගස්ලබු ගෙඩිය, මුකුණුවැන්න මිටිය, මාළු, මස්, කරවල, එළවළු, ධාන්‍ය, බීම වර්ග ආදිය මෙන්ම නොයෙකුත් ආහාරපාන කල්තබා ගැනීම සඳහාත් ආකර්ෂණීය පෙනුමක් ඒවාට ලබාදීම සඳහාත් නොයෙකුත් පිළිකා කාරක වස විෂ එක්කර තිබෙනවා. මේ නිසා ද පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය බෙහෙවින් වැඩි වී තිබෙනවා. කෙසේ නමුත් පිළිකාවලින් 1/3 ක් සම්පූර්ණයෙන්ම වළකාගන්නට පුළුවන්.මීට හොඳම උදාහරණය වන්නේ ඉතා සාර්ථක ප්‍රජා සෞඛ්‍ය සේවාවන් මගින් ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර දෙවැනියට බහුලවම තිබූ ගැබ්ගෙල පිළිකාව පස්වන ස්ථානයේවත් දැකගත නොහැකි අන්දමින් අඩුකර ගැනීමට සමත්ව තිබීමයි. මේ සඳහා HPV වෛරසය මැඬලීමට ලබාදෙන එන්නතත් පැප් පරීක්ෂාවත් හේතු වී තිබෙනවා.සමස්තයක් වශයෙන් ගත් විට කාලයත් සමඟ අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදුවෙමින් පවතිනවා. මේ පිළිබඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම ප්රජාවද අවධානයෙන් සිටීම ඉතා අවශ්‍ය වෙනවා.
හරින්දී ලියනගේ