අපි ලෝකෙ දකින්නෙ ඇස් වලින්. ඒ නිසා ශරීරයේ වැදගත්ම කොටස වෙන්නෙ ඇස් දෙක. අපි කතාවටත් කියනවනෙ යම්කිසි දේකට ‘ඇහැක් වගේ පරිස්සම් කරගන්න’ කියල. ඉතින් ඇස් වල මොකක්හරි ගැටලුවක් මතුවුණොත් අපි ඒකට විසඳුම හරිම පරිස්සමෙන් හොයාගන්න ඕන. අද බියුටි පිටුවෙන් අපි කතා කරන්නෙ ඇස් වටා ඇති වෙන Dark Circles ඉවත් කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් ගැනයි.
Dark Circles ඇති වෙන්න පුළුවන් ක්‍රම
ටිකින් ටික වයසට යද්දි ඔබේ ඇස් යට කළු වීම වඩාත් පොදු ලක්ෂණයක්. ඔබේ සමේ ප්‍රත්‍යාස්ථතාව පවත්වා ගැනීමට උපකාරී වන මේදය සහ කොලජන් අඩු වීමත් ඇස් යට කළු වීමට හේතුවක් විය හැකියි. මෙය සිදු වනවිට ඔබේ සමට යටින් ඇති අඳුරු රුධිර වාහිනී වඩාත් දෘශ්‍යමාන වන අතර ඔබේ ඇස් යට ප්‍රදේශය අඳුරු වෙනව. නමුත් ඩාක් සර්කල් ඇති වෙන්න ප්‍රධානම හේතුව ඇස් වටා ප්‍රදේශ වල කොලජන් අඩු වීම වුණත් සාමාන්‍යයෙන් අවුරුදු 25 පහුවෙනකොට ඇස් වටා අඳුරු පැහැ ගැන්වීම සාමාන්‍ය ස්වභාවයක්. මීට අමතරව ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම, මානසික ආතතිය, ආහාර රටාවේ වෙනස්කම්, හිරු එළියට සම නිරාවරණය වීම වැනි කරුණුත් ඩාක් සර්කල්ස් ඇති වෙන්න හේතු වෙනවා.
ට්‍රීට්මන්ට් එක වෙන්නෙ මෙහෙමයි
මුලින්ම ඇස් වටා ප්‍රදේශය මෘදුව සම්බාහනය කළ යුතුයි. එයින් ඇස් වටා රුධිර සංසරණය වේගවත්ව සිදුවෙනවා. ඉන්පසු මයික්‍රොඩර්මබ්‍රේෂන් ප්‍රතිකාරය සිදුකරනවා. මේ ප්‍රතිකාර ක්‍රමය ගැන මීට පෙර ලිපියකින් අපි කතා කළා. මයික්‍රොඩර්මබ්‍රේෂන් එකෙන් වෙන්නෙ ඇස් වටා ඇති මැරුණු සම හොඳින් ඉවත් කරන එක. දෙවන අවස්ථාවේදී සිදුකරන්නෙ රේඩියෝෆ්රීකුවන්සි ප්‍රතිකාරය. මේ ප්‍රතිකාරයෙන් ඇස් වටා ප්‍රදේශයට නව කොලජන් තන්තු නිෂ්පාදනයට අවශ්‍ය උත්තේජනයක් ලැබෙනවා. අන්තිම පියවර විදිහට ඇස් යට ප්‍රදේශයට ඇල්ගී මාස්ක් එකක් සහ Hyaluronic acid සහ Retinol අඩංගු මාස්ක් එකක් දමා විනාඩි කිහිපයක් තිබෙන්නට හරිනවා.
ඩාක් සර්කල් නිසා පෙනීම නැතිකරගන්න එපා
අපේ ශරීරයේ තියෙන සංවේදීම ස්ථානයක් තමයි ඇස් ප්‍රදේශය කියන්නෙ. ඒ නිසා ඇස් ආශ්රිත රෝගී තත්ත්වයන් ඇත්නම් අපිට ඒ ගැන සිය වතාවක්වත් හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඩාක් සර්කල් ගැටලුවක් තියෙනවනම් හිතුමනාපෙට ප්‍රතිකාර කරගන්න ගිහින් පෙනීම නැති කරගන්නෙ නැතිව පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙක්ගෙන් මෙම සත්කාරය සිදුකරගැනීම ඉතා වැදගත්.
වයස් කාණ්ඩය
අවුරුදු 25 ට වැඩි ඕනම කෙනෙක්ට ගෑනු පිරිමි බේදයකින් තොරව මේ සත්කාරය කරගන්න පුළුවන්. මසකට එක් වාරය බැගින් මාස හතක් පමණ මෙම සත්කාරය සිදුකිරීමෙන් ඔබට ඩාක් සර්කල් ඉවත් කරගත හැකියි.
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin Care with Malyinga)
එරංදි කෞශල්‍යා