විවිධ ආන්තරික රෝග තත්ත්වයන් හෝ ශල්‍යකර්මයකින් පසු ඇතිවන අතුරු අපහසුතාවන් නිසා මළපහ බාහිරව එකතු කරන විනිවිද පෙනෙන කුඩා බෑගයක් සමග ජීවත්වන රෝගීන් ඔබත් දැක ඇත. සිරුරේ ඇති කරන ලද කුහරයක් මගින් බඩවැල බාහිර පරිසරයට සම්බන්ධ කිරීම Stoma හෙවත් “පූටිකාව“ යනුවෙන් මෙය හැඳින්වෙනවා. ශල්‍යකර්ම ක්‍රියාවලියකින් Stoma ඇතුළු කිරීම වෛද්‍ය විද්‍යාවේදී Ostomy නමින් හැඳින්වෙනවා. කුඩා බඩවැල ආශ්‍රිතව වගේම මහ බඩවැල ආශ්‍රිතව මේ අන්දමේ Stoma සවි කරනවා. කුඩා බඩවැලට සම්බන්ධ කරන විට එය Ileostomy යනුවෙන් හැඳින්වෙන අතර එය උදරයේ දකුණු පැත්තෙන් මහ බඩවැලට සම්බන්ධ කිරීම Colostomy යනුවෙන් හැඳින්වෙන අතර ඒවා උදරයේ වම් පැත්තටත් සම්බන්ධ කරනවා. විවිධ හේතූන් මත මේ අන්දමේ Ileostomy සහ Colostomy උපාංගයන් සවි කිරීම සිදුවනවා.
Colostomy / Ileostomy සිදු කරන්නේ කෙසේද?
විවිධ රෝගාබාධ තත්ත්වයන්හිදී ඇතිවන අපහසුතාවන්ට විකල්ප වශයෙන් Colostomy and Ileostomy සවි කිරීමට සිදුවනවා. මෙය සමහර විට විවෘත ශල්‍යකර්මයකින් සිදුකරනවා. ඊට අමතරව යතුරු සිදුරු හෙවත් Laparascopy ක්රමයටත් සිදුකරනවා. විවෘත ශල්‍ය කර්මයක් ඔස්සේ බඩවැලේ රෝගී කොටසක් කපා ඉවත් කර උදර බිත්තිය හරහා බඩවැලේ අග කොටස Stoma ලෙසින් පිටතට ගන්නවා. යතුරු සිදුරු හෙවත් ලැපරොස්කෝපි ක්‍රමයේදී කැපුමක් වෙනුවට උදර බිත්තිය හරහා කැමරාවක් ඇතුළත් කරනවා. ශල්‍යකර්මය සිදු කරන්නේ විවෘත හෝ ලැපරොස්කොපි මගින්ද යන්න තීරණය වන්නේ රෝගියාගේ රෝග තත්ත්වය සහ කැමැත්ත අනුවයි. මෙහිදී Stoma වටා මධ්‍යයෙන් සිදුරු කරන ලද ඇලෙන සුළු තහඩුවක් (Stoma Plate) අලවනවා. විනිවිද පෙනෙන බෑගයක් මුලින් සඳහන් තහඩුව මත අමුණා ගන්නවා. වාතය ඇතුළු නොවන සේ අමුණා ගත් මෙම බෑගයට එකතු වන මළපහ ඉවත් කිරීම සඳහා බෑගය පතුළේ කරාමයක් හෝ අගුලක් සවි කර තිබෙනවා.
Colostomy and Ileostomy සවිකිරීම අවශ්‍ය වන අවස්ථාවන් මොනවාද?
බඩවැල් සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකා තත්ත්වයන්
බඩවැල් ප්‍රදාහය නිසා ඇතිවන Crohn’s Disease වැනි රෝග තත්ත්වයන්
බඩවැල් අවහිර වීම ( Bowel Obstruction )
අනතුරු නිසා බඩවැල් හානිවීම
උපත් ආබාධ රෝගියකු මේ සඳහා සූදානම් කරන්නේ කෙසේද?
මුලින්ම මෙවැනි පූටිකාවක් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව, ඒ වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය සහ ශල්‍ය කර්මයේ අවදානම ගැන රෝගියාට පැහැදිලි කිරීමක් සිදුකරනවා. මෙම පුටිකාව යොදා ගන්නේ තාවකාලික ලෙසින්ද නොඑසේ නම් ස්ථිර ලෙසින්ද බව රෝගියාට දැනුම් දෙනවා.
නිර්වින්දනයට රෝගියා සුදුසු බැව් දැනගැනීම සඳහා රුධිර පරීක්ෂණ සිදුකරනවා
රෝගියාට මේ බව දැනුවත් කිරීම සඳහා පුහුණු කරන ලද හෙදියක් විසින් ඒ බැව් රෝගියාට පැහැදිලි කරනවා (හදිසි අවස්ථවාකදී මේ ක්‍රියාවලිය සිදුවන්නේ නැහැ)
Stoma ඇතුළත් කරන ස්ථානය උදරය මත තීන්තෙන් ලකුණු කිරීම.
ශල්‍යකර්මය සිදුකිරීමට පෙරාතුව රෝගියා නිරාහාරව තැබීම, ඝන ආහාර පැය හයක්ද, දියර අහාර පැය දෙකක කාලයක් වෙනුවෙන් ද නවතා දැමීම.
අවශ්‍ය අවස්ථවන්හිදී විශේෂ බඩවැල් සූදානම් කිරීම.බඩවැල් පිරිසිදු කිරීම සඳහා මළ ගුද මාර්ගය ඔස්සේ වස්තියක් (Enema) ලබාදීම.
ශල්‍යකර්මයෙන් පසුව
Stoma සවි කිරීමෙන් පැය 2- 3 ක් ගෙවුණ පසු රෝගියාට නිවසට යෑමට හැකියාව තිබේ. උදර බිත්තිය ඔස්සේ බඩවැලට සවි කරන ලද විනිවිද පෙනෙන බෑගයක් දක්නට ලැබේ. ආරම්භක අදියරේදී මෙම බෑගයට ගෑස් එකතුවන අතර පසුව එයට මළපහ එකතු වීම සිදුවේ. උදරයේ දකුණු පැත්තේ නම් (Ileostomy) මෙම විනිවිද පෙනෙන මල්ලට එකතු වන අසූචි දියරමය වන අතර කොළ පැහැයෙන් දක්නට ලැබෙනවා. ආරම්භයේදී විශාල ප්‍රමාණයකින් දක්නට ලැබෙන අතර පැය හතරකට වරක් මේවා ඉවත් කිරීම සිදුවේ.
උදරයේ වම් පැත්තේ Colostomy නම් කහ පැහැති දියර ඝන ස්වභාවයෙන් කුඩා ප්‍රමාණයකින් දක්නට ලැබෙනව. දිනකට දෙවතාවක් පමණ මෙම මළපහ ඉවත් කිරීමට අවශ්‍යයි.නේවාසිකව සිටින රෝගියාට මෙම උපාංගය පරිහරණය කරන ආකාරය ගැන දැනුවත් කිරීම සිදු කරනවා. වේදනාව අඩු කිරීම සඳහා වේදනා නාශක ලබාදීම සිදුවනවා.
මෙම බෑගය නිවැරදි ලෙස සවි වී නොතිබුණොත් පිටවන මළ ද්‍රව්‍ය කාන්දු වීම නිසා සමේ කැසීම් වැනි තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම ඇඳුම් සහ ඇතිරිලි ආදියේ මළ තැවරීම නිසා දුර්ගන්ධයක් ඇතිවනවා. බඩවැලෙන් රුධිර ගැලීමක් සිදුවන විට විනිවිද පෙනෙන බෑගය රතු පැහැයෙන් යුක්ත වෙනවා. සුළු වශයෙන් රුධිරය කාන්දු වීම සමාන්‍ය තත්ත්වයක් වුණත් අඛණ්ඩව රුධිරය කාන්දු වෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. මෙම විනිවිද පෙනෙන බෑගයට සම්බන්ධ වන බඩවැලේ කෙළවර රෝස හෝ රතු පැහැයෙන් යුක්ත විය යුතුයි. එය කළු පැහැයෙන් පෙනෙනවා නම් එයින් අදහස් වන්නේ බඩවැලට රුධිරය නොලැබෙන බවයි.
රෝගියාගේ තිබෙන්නේ Ileostomies එකක් නම් මළපහ වැඩි ධාරිතාවයක් පිටවන නිසා රෝගියා ඉක්මනින් විජලන තත්ත්වයට පත් විය හැකියි. එම නිසා සාමාන්‍යයෙන් දිනකදි පානය කළ යුතු ජලයට වඩා අතිරේක ලීටරයක් පානය කිරීම යෝග්‍යයි. නමුත් පාන වර්ග අතරට බියර් සහ කාබනිකෘත බීම වර්ග ලබා ගැනීම රෝගියාගේ බඩ පුරවා දැමීමට හේතු වෙනවා
Stoma සංකුලතාවන්
කාන්දු වීම- කුඩා බඩවැලට සම්බන්ධ Ileostomy එන්සයිමයන්ගෙන් යුක්ත නිසා සමේ කැසීම් ඇති වෙනවා. මහ බඩවැලට සම්බන්ධ Colostomy මගින් කාන්දුවීම් ඇතිවේ.
සම ගැලවීම, කැසිම (Rash) වේදනාව, රතුවීම, තුවාල සහ ආසාදන ඇති වීම
මෙවැනි තත්ත්වයක් ඇති වූ විට මේ වෙනුවෙන් යොදා ගත් ඇලෙනසුළු කොටස (Plate) ඉවතට ගෙන ප්‍රතිජීවක දියර හෝ පියරු වර්ග යොදා පිරිසිදු කිරීම සහ එයින් පසුව Stoma වටා ඇති සම පිරිසිදු කිරීම ඉහතින් සඳහන් කළ Plate නිරන්තරව පිරිසිදු කිරීම වැදගත්.
සමහර අවස්ථාවලදී සම ආසාදනය වී නැතැත් තෙත ගතියෙන් යුක්ත නම් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ක්‍රිම්, පවුඩර්, වර්ග සින්ක් ඔක්සයිඩ් ආලේපන (Zinc oxide Paste) හෝ Sprays භාවිත කළ හැකියි.
Plate එකේ ඇති සිදුර බඩවැල කෙළවර වට කිරීමට තරම් ප්‍රමාණවත් වීම අවශ්‍යයි. එය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල වූ විට මළ පිටවන ස්ථානයේ සිදුර සහ Plate එකේ දාරය අතර පරතරයට කාන්දු වීම සිදුවේ. ඒ නිසා සමේ කැසීම ඇතිවන්නට ඉඩ තිබෙනවා.
Stoma Prolapse
උදර බිත්තිය ඔස්සේ සම්බන්ධ කරන ලද බඩවැල් කොටස සහ උදරය සම්බන්ධ කර තිබුණ මැහුම් ගැලවී යෑමට ඉඩ තිබෙනවා. එවිට මෙම බෑගය අභ්‍යන්තරයෙන් දිගු බඩවැල් කොටසක් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය නිසා බඩවැල් කොටසේ තුවාල ඇතිවීම, මළපහ නිසා ආසාදන ඇතිවීම, බෑගය වැරදි ලෙසින් සම්බන්ධ වී තිබීම නිසා මළ කාන්දු වීම වැනි අපහසුතාවන් ඇතිවීමට පුළුවන්. මෙවැනි අවස්ථාවලදී නැවතත් මෙම බෑගය නිවැරදි ලෙසින් සවි කිරීම සිදුවනවා.
බඩවැල් අවහිර වීම
බඩවැල අග සිහින් වීම තුවාලය සුව වීමේ අතුරු ප්‍රතිඵලයක් වුණත් ප්‍රතිකාර මගින් සුවකළ හැකි වුණත් එවැනි අවස්ථාවලදී බඩවැල් අවහිරතාවන් ඇතිවීමට පුළුවන්. මෙය හදිසි ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයකි. බෑගයට මළපහ පිට නොවී උදරය පිම්බී එන්නේ නම් එය මෙවැනි තත්ත්වයක්ද යන්න සොයා බැලිය යුතුයි. Stoma ආශ්රිත හර්නියා (Para-stomal hernia) සමහර අවස්ථාවල Stoma වටා Hernia ස්වභාවයක් දකින්න ලැබෙනවා. එමගින් බඩවැල් අවහිර විය හැකියි. එවැනි හර්නියා තත්ත්වයක් ඇත්නම් එම තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යයි.
Stoma සමග ජීවත්වීම
අපේ ජන සමාජයේ පවතින විවිධ අදහස් නිසා Stoma භාවිත කරන රෝගීන් දැඩි අපහසුතාවන්ට පත්වෙනවා. එහෙත් මෙය නිසි පරිදි ආවරණය වන්නේ නම් මෙම රෝගීන්ටත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපහසු නැත. ඔවුන්ටත් ක්‍රිඩා කිරීමට, සංචාරයේ යෙදීමට බාධාවන් ඇති වෙන්නේ නැහැ. Stoma සමග ජීවත්වන නළු නිළියන් පවා සිටිනවා. ඒ වගේම කාන්දුවීම් වළක්වන Air-Tight ලෙසින් සකස් කිරීමත් වැදගත්. ඒ වගේම සත්කාර හෙදියන් විසින් මෙය සවි කිරීමට පෙරාතුව සහ එයින් පසුවත් රෝගීන්ගේ අපහසුතාවන් ගැන සාකච්ඡා කිරීම
Stoma ප්‍රවේසම් කිරීම
දින 5- 7 කට වරක් මූලික ප්ලේට් එක මාරු කරන්න.
අදාළ බෑගය දිනපතා මාරු කරන්න.
පසුකාලීනව විනිවිද පෙනෙන බෑගය එසේ නොපෙනෙන පරිදි වෙනස් විය හැකියි.
මෙම බෑග් සායන මගින් මෙන්ම ඔසුසල්වලින් ලබාගැනීමේ පහසුකම් ලබාදීම
රෝගියා ස්නානය කිරීමේදී ජලයට නිරාවරණය වුණත් මෙම බෑගයට හානියක් සිදු වෙන්නේ නැහැ.
ඒ නිසා මෙම බෑගය අතිරේක පොලිතින් මල්ලකින් ආවරණය කිරීමට අවශ්‍ය නොවේ.
පුන්‍යා චාන්දනී ද සිල්වා