හෙළ වෙදදුරු 02
අපේ පැරණි ජනතාව උදෑසන ආහාරයට කලින් වැවට පැනල නෑවා. ධාතුසේන රජතුමා කලා වැව හදන්න කලින් හොරිවිල වැව හැදුව කියල මතයකුත් තියෙනවා. කොහොම වුණත් හොරිවිල වැව මල්වතු ඔයේ ආරම්භක ජල මූලාශ්‍රවලින් එකක්. නාල එද්දි පාතරාසය මේසෙ උඩ ඉඳන් හිනාවෙමින් අත වනනවා. කළු හීනටි හාලේ බත, ඕළු බත්, දුම් කරවල තෙම්පරාදුව, මුරුංගා හොද්ද, කඩල පිටි බැටර් එකක දවටලා බැදපු කතුරු මුරුංගා කොළ සමග කුරිඤ්ඤං කොළ සම්බෝලයක් තනිකරම පෝෂණ ආකරයක්.
නමයහමාරට හොරිවිල දුම්රිය පොළට ගියා. දහය වෙද්දී මඩකලපුවේ සිට උදය දේවි දුම්රිය ආවා. ඇගේ තුරුලට වැදුනේ ආයෙමත් කොලොම්පුරේට එන්න. කෝච්චියේ ඒ හැටි සෙනඟක් නැහැ. තරබාරු මුසල්මානු කාන්තාවක් නිදි කිරනවා. දුම්රිය ගැස්සෙන රිද්මයට අට දිසාවටම පැද්දෙනවා. හිටි ගමන් හිස තදින් පිටිපස්සට ගැස්සිලා අවදි වෙලා වේදනාවෙන් වගේම ලැජ්ජාවෙන් වටපිට බලනවා. කොන්දට අත තියාගෙන සැමියාට මොනවදෝ කියනවා. මට මතක් වුණේ වෙද මහත්තයා සඳහන් කරපු වැරදි චර්යා නිසා අධික තරබාරුව, කොන්දට, සන්ධිවලට සිදුකරන හානිය. ඉතින් මම හිතුවා මේ කෘතියේ කොන්දෙ අමාරුව ගැන ලියන්න.
වෙද මහත්තයා කොන්දෙ අමාරුව කියන එක අද කාලෙ බෝවෙන රෝගයක් ගානයි. මේ ගැන ටිකක් කතා කරමු.
මම ගිය සතියේ සඳහන් කරපු කාරණා මතකයිනේ. ඒ වගේම අද කාලෙ කවුද තුන් වේලට සමබල ආහාරයක් ගන්නෙ?
තුන්වේලට කියා එක වේලක්වත් එහෙම කරන්න බැරි තත්ත්වයකනෙ මිනිස්සු ඉන්නෙ වෙද මහත්තයා….
ඒකට නම් සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න බැහැ. දැන් බලන්නකො උදේ කෑම වේල, අපේ මහත්තයා කාපු මුරුංගා, කුරිඤ්ඤං කොළ, කතුරු මුරුංගා, අමු මිරිස්, රම්පේ කරපිංචා, ඉඟුරු, සේර හැම දේම ගෙවත්තෙන්. ඕළු හාල් වැවෙන්. හීනටි හාල්, දුම්කරවල, කඩල පිටි, ලුණු, තුනපහ විතරයි කඩෙන් මේක කන්න නැති රටක් නෙවෙයි අපේ මහත්තයා කොස්, දෙල් ගස් යට කුණු වෙන්න ඇරලා පලා මිටිය ගන්නත් කඩේට දුවන්න කාලෙ කන මිනිස්සු ඉන්න රටක්. ඒවා පැත්තකින් තියලා ලෙඩ ගැන කතා කරමුකො. දැන් ඔය කෑමෙන් ලෙඩ වෙන එක මෙහෙමයි.
බොහෝ දෙනා පිටි, සීනි, තෙල්, ප්‍රෝටීන් සහිත ආහාර බහුල වශයෙන් භාවිත කරනවා . නමුත් කිසිම ව්‍යායාමයක් නැහැ. අඩි දහයක් පයින් යන්නෙ නැහැ ඒකටත් ත්‍රීවිල්. ඉතින් මහත් වෙන්න පටන් ගන්නවා. තරබාරු වීමේදී මුලින්ම සිද්ධ වෙන්නෙ බඩ ඉදිරියට නෙරා ඒම. මේක නිසා පිට කොන්දේ පේශිවලට ලොකු පීඩනයක් ඇති වෙනවා. තරබාරු උදවියට කොන්දෙ අමාරුව ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි මේක.
ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට නිසි පෝෂණයක් නැහැ. මේ නිසා අස්ථි සහ සන්ධිවලට අවශ්‍ය ශක්තිය ලැබෙන්නෙ නැහැ. ඒ නිසා තරබාරු නොවුණත් ශරීරයේ බර දරා ගන්න ශක්තියක් නැහැ. එතකොට සන්ධි වගේම කොඳු ඇට පෙළත් දුර්වල වෙනවා. ඔය කිව්ව කාරණා දෙකම ගෙළෙන් පහළ තියෙන සෑම සන්ධියකටම බලපානවා. පුද්ගලයා තමන් සම්බන්ධව නෙවෙයි රජයේ විදිහටත් රටේ ජනතාව මුහුණ දීලා ඉන්න මේ අවාසනාවන්ත වගේම බරපතල තත්ත්වය ගැන මීට වඩා වගකීමෙන් සිතිය යුතුය. එහෙම නොවුණොත් වැඩක් පළක් කරන්න කෙනෙක් නැතිවෙයි.
ඔය තුනටියේ අමාරුව තියෙන අය අතරින් සමහර දෙනෙක් කියනදෙයක් තමයි මළ, මුත්‍ර වේගය දරාගෙන ඉන්න අමාරුයි කියන එක. ඇයි එහෙම වෙන්නෙ…
කියනකොටම මම දන්නවා සුසුම්නාවට හානි සිද්ධ වෙලා කියල.
සුසුම්නාවට හානි වෙන්නෙ මොනවගේ කාරණා නිසාද?
කොඳු ඇට පෙළෙ හැදිල තියෙන්නෙ අස්ථි ගණනාවක එකතුවකින්නෙ. මේ අස්ථි අතර අවම ක්‍රියාකාරීත්වය ඇති වෙන්නෙ ඒවා අතර තියෙන ජෙලි වැනි මෘදු දෙයකින් නිර්මාණය වුණු මැද සිදුරක් සහිත කොට්ටා වැනි දෙයකින්. මේවාට බටහිර වෙදකමේ තියෙන්නෙ ඩිස්ක් (Disk) කියල. මම පළවැනි ලිපියෙන් පෙන්නලා දුන්නු කාරණා නිසා මේ ඩිස්ක් පිටතට තල්ලු වෙනවා. එයින් සුසුම්නාව ලොකු හානියක් සිදුකරනවා. ඒ වගේම මෙම තත්ත්වය නොසලකා හැරීමෙන් වඩාත් වේදනාකාරී තත්ත්වයකට රෝගියා පත්වෙනවා. මූලික අවස්ථාවේදීම ප්‍රතිකාරවලට යොමුවීමෙන් පහසුවෙන් සුවපත් කරගන්න පුළුවන්.
අඩි උස සපත්තු පැළඳීම නිසා කාන්තාවන්ට කොන්දෙ අමාරුව ඇති වෙන බව ඔබතුමා සඳහන් කළා… ඒ ගැනත් පැහැදිලි කිරීමක් කළොත්.
මනුෂ්‍ය ශරීරය නිර්මාණය වෙලා තියෙන්නෙ යම් කිසි පිළිවෙලකටනෙ. සන්දි පිහිටලා තියෙන්නෙත් ඉතාම නිවැරදි ක්‍රමවේදයකට. ශරීරයේ බර දරන්න වගේම බරක් ඔසවන්නත් අවශ්‍ය වෙන විදිහට. නැත්නම් උපතේදීම කාන්තාවන්ගේ විළුඹ අස්ථිය උසට හැදෙන්න තිබුණානේ. ඕව ඉතින් විලාසිතානේ අපේ මහත්තයා. අඩි උස පාවහන් නිසා ගමන් කරද්දී තුනටියට, වළලුකරට විශාල පීඩාවක් ඇති කරනවා. පාදවල බත් කෙන්ඩේ පේශිවලටත් එහෙමයි. එතකොට ශරීරයට ඉදිරියට නැඹුරු වීමක් ඇති වෙනවා ස්වාභාවික ගමන් රටාව නෙවෙයි. කොරවක්කා නෙළුම් කොළේ උඩ යනවා වගෙයි ගමන. හදිස්සියක් වෙලා දුවන්න වුණොත් එක්කො පය පැටලිලා වැටෙනවා. නැත්නම් සපත්තු අතේ අරන් දුවන්න වෙනවා. කාලයක් යද්දී අමාරුව දණහිස් සන්ධිවලටත් එනවා. ඒ විතරක් නෙවෙයි පතුලේ විකෘතිතා ඇති වීමත් සිදුවෙනවා.
සමහරුන්ගෙන් චෝදනා එල්ල වෙනවා නියම දිනේට බෙහෙත් ගත්තත්, කියන පිළිවෙලට ප්‍රතිකාර කරලා සනීප වුණත් ටික කාලෙකින් ආයේ ලෙඩෙ ඇති වෙනවා කියල.
මෙහෙමනේ වැඩේ සනීප වුණාම හිතනවා සේරම හරි කියලා. අපි දෙන උපදෙස්වලට පිටුපාලා නැවත පරණ පුරුදු ජීවිතයට යනවා. ඔන්න ඕක තමයි හේතුව. කොන්දෙ අමාරු ගැන ලියන්න තියෙන දේ බොහොමයි. ලබන සතියෙත් තව ටිකක් කතා කරමු.
ආචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර