ලස්සන තියෙන්නේ දකින කෙනාගේ ඇස් දෙකේ කියල ප්‍රකට කියමනක් තියෙනවා. මේ කියමනට අනුව ලස්සන කියන්නෙ නිත්‍ය වශයෙන්ම පිළිගත් දෙයක් නෙවේ වගේම ලස්සන කියන දේ තීරණය වෙන්නෙ එකිනෙකා දරනා මතයන් අනුව. ඒත් හැමෝටම තියෙන්නේ ඒ ඒ කෙනාට ආවේණික වුණ ලස්සනක්. ඉතින් මේ ලස්සන කියන කාරණේ වෙනුවෙන් මුදල් යට කරන්න කවුරුත් දෙපාරක් හිතන්නෙ නෑ. හැබැයි තමන්ගෙ තියෙන රූපෙ වැඩිදියුණු කරගන්නත් සල්ලි විසිකරන්නම ඕනෙ නෑ. ඒ දේ තමන්ගෙ ගෙදර වත්තෙ හැදෙන මලකින් වුණත් කරගන්න පුළුවන් දෙයක්. අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නෙ රුව වගේම නිරෝගීභාවයත් ස්වභාවික මල් සත්කාර වලින් සිදුකරගන්න පුළුවන් ක්‍රම ගැනයි.
දහස්පෙතියා
සමට හොඳ ආලේපනයක්…
දහස්පෙතියා මලේ පෙති පමණක් ගෙන එයට රෝස වතුර මේස හැන්දක් දමා පල්ප් එකක් වනතුරු බ්ලෙන්ඩ් කරගන්න. පසුව එයට යෝගට් තේ හැන්දක්, සුදු හඳුන් කුඩු තේ හැඳි භාගයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ආලේපනය සකසාගන්න. පිරිසිදු කරගත් සමෙහි ආලේප කර පැය බාගයක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න.
ස්වභාවික කන්ඩිෂනර් එකක්…
දහස්පෙතියා මල් තම්බා හිසකෙස් සේදීම හරහා එය ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.
නහර ගැටගැසීමේ වේදනාවට…
දහස්පෙතියා කියන්නෙ නහර ගැටගැසීම පාලනය කරන්න හොඳ ඖෂධයක්. දාස්පෙතියා මල් දහයක් පමණ ගෙන තම්බා පොට්ටනියක් සකසා දෙපා වල ගැටගැසුනු නහර ආශ්‍රිතව තැවීමෙන් ඒවා ළිහිල් වී දෙපා වලට සුවයක් සැලසෙනවා.
සමන්පිච්ච
සමන්පිච්ච උෂ්ණාධික කම හේතුවෙන් ඇසෙහි මතුවන විවිධ රෝගාබාධයන්ට භාවිත කරන බව කවුරුත් දන්නා කරුණක්. සමන්පිච්ච මල් තැඹිලි වතුරේ රැයක් පෙඟෙන්නට හැර උදෑසන එම වතුරෙන් ඇස් සේදීම වඩාත් ප්‍රතිඵලදායකයි.
ඒ වගේම ඇසෙහි ප්‍රබෝදමත් බව තියාගන්නත් සමන්පිච්ච වතුර ප්‍රයෝජනවත් වෙනවා. සමන්පිච්ච මල් වලින් ලබා ගන්නා තෙල් ද ඇරෝමා ප්‍රතිකාර වලදී සහ රුව වඩවන ප්‍රතිකාර වලදී භාවිත වෙනවා.
පොකුරු වද
සමේ පැහැය වැඩීමට පොකුරු වද කියන්නෙ ඉතාමත් ඖෂධීය පුෂ්පයක්. විශේෂයෙන්ම හිස කෙස් කලු හා දීප්තිමත් කිරීමේ සත්කාර වලට පොකුරු වද යොදාගන්නවා. ඒ වගේම කාන්තාවන්ට ආවේණික විවිධ රෝගාබාධයන්ට පොකුරු වද දිව්‍ය ඖෂධයක්. වර්තමානයේ ආහාර වර්ණකයක් ලෙසත් මේ වද වර්ගය යොදාගන්නවා.
පොකුරු වද පානය…
අලුත් පොකුරු වද මලක් ගෙන සෝදා මල් පෙති ඉවත් කර උණුවතුර වීදුරුවකට දමා වතුර රතු පැහැ වන තෙක් වසා තබන්න. පසුව එම වතුර පෙරා අවශ්‍ය නම් මී පැණි, දෙහි බිංදු කිහිපයක්, ලුණු දමා පානය කරන්න.
සේපාලිකා මල්
වියළාගත් සේපාලිකා මල් තම්බා බීමෙන් සිරුර සිසිල් කරගන්න පුළුවන්. සේපාලිකා මල් ගුණය රුධිර ගත මේදය ඉවත් කරන අතර දියවැඩියාව රෝගය පාලනයටත් දායක වෙනවා. සේපාලිකා මල් වල නටු උණුවතුරට දමා හෝ සේපාලිකා මල් මද පවනේ වියළා ගෙන එම වියළි මල් පසුව පානයක් ලෙස සකසා සතියකට දෙවරක් පානය කරනවනම් බොහෝ රෝග වලින් වැළකී නිරෝගී බව උරුම කරගන්න පුළුවන්.
(අන්තර්ජාලය ඇසුරෙන්)
එරංදි කෞශල්‍යා