පාසල් ප්‍රේමයන් ඇතිවීම හරිම සාමාන්‍ය දෙයක්. නමුත් නව යොවුන් වියේ පසුවෙන දරුවන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය එක්ක ප්‍රේම සබඳතා ඇතිවුණත් දෙමාපියන් විදිහට ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. මේ වගේ අවස්ථාවලදී දෙමාපියන් සහ ගුරුවරුන් හැටියට ක්‍රියාකරන ආකාරය අනුව නව යොවුන් වියේ දරුවෙක්ගෙ ජීවිතේ ගොඩනැගෙන්නත් පුළුවන් ජීවිතේ නැතිවෙන්නත් පුළුවන්. පාසල් වයසේ පසුවන තමන්ගෙ දරුවා ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව දැනගත්තොත් කරන්න ඕන පළවෙනි කාරණය තමයි මේ දේ අපට දරාගන්න කොච්චර අපහසු වුණත් සන්සුන්ව වැඩ කරන එක…
මේ වෙලාවෙදි අම්මෙක් තාත්තෙක් හැටියට අපිට හිතෙන දෙයක් තමයි මෙච්චර මහන්සි වෙලා කැපකිරීම් කරලා උගන්නලා මේ ළමයා අනවශ්‍ය ප්‍රේම සම්බන්ධයක පැටලුණානෙ කියන දේ. මේ වගේ වෙලාවක දුකක් තරහක් දැනෙන එක සාමාන්‍යයි. ඒ වගේම තමන්ගෙ දරුවා එක්ක පෙම් සබඳතාවක් පටන්ගත්ත අනිත් දරුවා ගැනත් වෛරයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ හැඟීම් උත්සන්න වුණාම හැඟීම් මොළයේ ප්‍රභල වෙලා සිතුවිලි මොළයේ පහළට යන හින්දා අපි සන්සුන් වෙන එක හරිම වැදගත්.
එහෙම නැතුව අපි කෑගහල, අඬා වැලපුණොත් ඇතිවෙලා තියෙන තත්ත්වය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි තමන්ට මේ ප්‍රේම සම්බන්ධය ගැන දැනගන්න අවශ්‍ය නිවැරදි තොරතුරු දරුවගෙ මිතුරන්ගෙන් ඔවුන්ගෙ දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් නිවැරදිව ලබාගන්න එක මොකද බැරිවෙලාවත් දරුවා ප්‍රේම සම්බන්ධය පවත්වගෙන යන්නෙ තමන්ට වඩා වයසින් ගොඩක් වැඩිමල් කෙනෙක් එක්කනම් අපිට මේ දේ විසඳගන්න කල් ගන්න බෑ.
වර්තමානයේ අපට බොහෝවිට අහන්න දකින්න ලැබෙනවා බාල වයස්කාර දැරියන් තමන්ට වඩා ගොඩක් වැඩිමල් ඒ කියන්නෙ අවුරුදු පනස් ගණන්වල පුද්ගලයින් එක්කත් ප්‍රේම සම්බන්ධතා පවත්වනව. ඒ වගේම ඔවුන්ගෙන් දරුවන්ට අතවරයක් වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. ඉතින් මේ ගැන දෙමාපියන් හොඳින් ඉවසිලිවන්තව හොයලා බැලුවොත් නීතියේ පිහිට පතන්න වුණත් පුළුවන්.
දරුවා ප්‍රේම සම්බන්ධය පවත්වන්නෙ පාසල් වයසේම පසුවන දරුවෙක් එක්ක නම් ඒ ගැන අම්මයි තාත්තයි දරුවයි තුන්දෙනාම එකට එකතු වෙලා නිදහසේ කතා කරන එක හොඳයි. තුන්වෙනි කාරණාව තමයි සම්බන්ධය කොයිතරම් දුරදිග ගිහින්ද කියල දැනගන්න එක. ගොඩක් අම්මලා හිතනවා මෙහෙම දෙයක් ආරංචි වුණ ගමන් තමන්ගෙ ළමයට ගහල, හිරකරලා තියල මේ දේ නවත්තන්න පුළුවන් කියලා. නමුත් යොවුන් වියේ දරුවෙක්ට මේ වගේ කාරණාවකදී කේන්ති අරගෙන ප්‍රතිචාර දක්වන්න ගියොත් ඔවුන් දෙමාපියන්ට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්.
දරුවා හිතන්න ගන්නවා අම්මයි තාත්තයි තමන්ගෙ අදහස් කවදාවත් තේරුම් ගන්නෙ නෑ සහ තමන්ගෙ පෙම් සබඳතාව ගැන ඔවුන් එක්ක කතා කරලා වැඩක් නෑ කියල. ඉතින් ඒ ප්‍රේම සම්බන්ධය හොරෙන්ම දිගටම කරගෙන යනවා. ඒ වෙලාවෙදි දෙමාපියන් කරන්න ඕනෙ මේ සම්බන්ධය නැවැත්වීමේ වැදගත් බව හා පාසල් කාලෙ ප්‍රේම සම්බන්ධයක් කරගෙන ගියොත් ඒකෙන් අධ්‍යාපනයට, බාහිර ක්‍රියාකාරකම්වලට ඇතිවන බලපෑම ගැන තේරුම් කරල දෙන එක.
එහෙම වෙලාවකදී දෙමාපියන්ගෙ ජීවිතේ අත්දැකීම් දරුවට කියනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනෙ. මොකද මීට අවුරුදු 20කට 30කට කලින් අම්මලා තාත්තලගෙ පාසල් කාලයේ අත්දැකීම් වර්තමානයේ දරුවන්ගේ අත්දැකීම්වලට වඩා හාත්පසින්ම වෙනස්. සමහර අම්මලා දරුවන්ට කියන්නෙම අපිනම් ඉස්සර ඔහොම නෑ කියලමයි. එහෙම වුණොත් දරුවා දෙමාපියන්ට ඇහුම්කන් දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා.
කුඩා කාලයේ අම්මයි තාත්තයි දරුවා එක්ක වැඩ කරන හැටි, එයාට සලකන විදිහ, එයා එක්ක කතා කරන විදිහ අනුව තමයි ඒ දරුවගෙ හිතේ අම්මා තාත්තා ගැන යටි හිතේ ප්‍රතිරූපයක් නිර්මාණය වෙන්නෙ. මේ ප්‍රතිරූපය මත තමයි ජීවිතේ පස්සෙ කාලෙක ඒ දරුවා වයස්ගත වෙලා මියයනකල්ම ලෝකය දකින්නෙ, වෙනත් පුද්ගලයන් ඇසුරු කරන්නෙ සහ වෙනස් සමාජ අවස්ථාවල සතුටින් ජීවත් වෙන්නෙ. මේ යටි හිතේ ඇතිවන ප්‍රතිරූපයට ප්‍රචණ්ඩත්වය එකතු වුණාම ඒ කියන්නෙ දෙමාපියන් සහ ගුරුවරුන් ශාරීරික හා මානසික හිංසනයන් සිදු කළොත් ඒ ප්‍රතිරූපය බිඳවැටෙන්න පුළුවන්.
එතකොට වෙන්නෙ දරුවා ලොකු වුණාම එයාලට මානසික සංකූලතා ඇතිවන එක. ඒ නිසා වැඩිහිටියන් දරුවන්ට ශාරීරික, මානසික හිංසනයන් නොකර වඩාත් දියුණු මනෝවිද්‍යාත්මක උපක්‍රමවලින් එයාලගෙ විනය සලසවාගන්න උපකාර කළ යුතුයි. මෙහෙම අවස්ථාවකදී අම්මලට දරුවා එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නෙ නැත්නම් පාසලේ ගුරුවරයෙක් ලවා හෝ මනෝ උපදේකයෙකුගේ උපදේශන මගින් දරුවට තේරුම් කරවන්න පුළුවන්. මෙවැනි කාරණා සැලකිල්ලට ගැනීමෙන් දරුවන්ගෙ හිතත් රිදෙන්නෙ නැතිවෙන්න දෙමාපියන්ට උත්තරයක් හොයාගන්න පුළුවන්.
ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මියුරු චන්ද්‍රදාස
රාගම ශික්ෂණ රෝහල
එරන්දි කෞශල්‍යා