ජීවත් වූ මේ කාලය තුළම අප දැක ඇත්තේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසටය. මේ තත්ත්වය කවදා කොහොම හොඳ අතට වෙනස් වේ දැයි අපට නම් හිතා ගන්නටවත් බැරිය. දැන් ශ්‍රී ලාංකික අපට ඇත්තේ එදා වේල ගැටගසා ගන්නා මානසිකත්වයක් මිස ලෝකය ඇල්ලීමේ මානසිකත්වයක් නොවේ.
ලංකාවේ සාමාන්‍ය ජනතාව පවතින රජයන්වලටත් ඒවා ඇති කළ අයටත් පින් දෙමින් පාවිච්චි කරන නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය පවා දැන් ඇත්තේ බරපතල අර්බුදයකය. එහි දරුණුම බලපෑම ඇති වී ඇත්තේ මෙරට සෞඛ්‍ය පද්ධතියටය.
විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් රට හැරයාම, බොහෝ ඖෂධ නොමැතිවීම, ශල්‍ය උපකරණ නොමැති වීම මෙන්ම වැටුප් සහ බදු පිළිබඳ ඇති වූ ගැටලු සහ කලකිරීම් නිසා ද මෙරට සෞඛ්‍ය පද්ධතිය කෙමෙන් කෙමෙන් පිරිහීමට ලක්වූ බව අප පිළිගත යුතු අතර දැන් මෙරට සෞඛ්‍ය සේවාව තිබෙන්නෙ එහි උචිචතම අවස්ථාවේය.
දැන් දැන් වාර්තා වන්නේ බොහෝ රෝහල්වල සායනවලට හෝ ශල්‍යකර්මවලට අදාළ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම නිසා එම අංශ වසා දැමීමේ තර්ජනයට මුහුණ දී ඇති පුවත්ය. තවමත් රජය කරන්නේ එක එක චක්‍රලේඛ නිකුත් කරමින් ඔවුන්ට තව තවත් රට හැර යෑමේ තීරණය හොඳ යැයි කීමට හැකි වැඩ විනා අන් කවරක්ද? එහි ප්‍රතිඵලයක් ලෙස රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන් සහ නිර්වින්දන වෛද්‍යවරුන් රට හැරයෑම වළකාලීම සඳහා නිවාඩු අනුමත නොකර සිටීමේ අමන ක්‍රියාවන්ය. ඕනෑම කෙනෙකු ඕනෑම වෘත්තියක නියැළිය යුත්තේ සතුටින් වන අතර එසේ නොවන්නේ නම් ඔවුන්ද ආතතියට පත්වනවා සේම ඔවුන්ගෙන් සේවා ලබන්නන්හට ගුණාත්මක සේවාවක් නොලැබෙනු ඇත. මේ කාරණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වීමෙන් තත්ත්වය කෙබඳු වෙදැයි අපට දැනටමත් උපකල්පනය කළ හැකිය.
නමුත් මිනිසුන් ගැන සිතන රජයක් රටේ සෞඛ්‍ය ගැන වගවෙන සෞඛ්‍ය ආමාත්‍යශයත් කළ යුත්තේ අමන තීරණ ගැනීම නොව විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් රට හැරයෑමේ තීරණයට ආවේ කුමන හේතුවක් නිසාදැයි සොයා බලා ඒවාට පිළිතුරු සපයමින් ගිය හකුරට නඬා තියෙන හකුර රැක ගැනීමේ පිළිවෙතට එළඹීමය. එමෙන්ම නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ගණයේ ප්‍රතිඵලය ඔවුන් බැවින් ඔවුන්ට එසේ කිරීමට සදාචාර සම්පන්න අයිතියක් නොමැති බවට දොඩවන හරසුන් කතා වලින්ද සමාජය බැහැර විය යුතුමය.