සුමිහිරි වාදනයෙන් ඇරඹූ කලා ගමන් මග තුළ ඇවිද ගිය ඔහු කාලයාගේ ඇවැමෙන් සහෘද රසිකයන්ගේ දෙසවන ගී මිහිරෙන් මත්කරන්නටද සමත් වෙනවා. එතනින් නොනැවතී ඉදිරියට පියමං කළ ඒ දක්ෂ වාදකයා මෙන්ම ගායකයා අද රංගන ක්ෂේත්රය හරහා ද ප්‍රේක්ෂක ආදරය ලබනවා. ඔහු හෙක්ටර් ඩයස්….සෑම සාර්ථක මිනිසකුම පිටුපස ශක්තිමත් ගැහැනියක සිටී යන කියමන වචනවලට සීමා නොකර හෙක්ටර් ඩයස් නම් වූ චරිතය තම සැමියා නොව සුවහසක් රසිකයන්ගේ ආදරණීය කලාකරුවා ලෙස ඔසවා තබන්නට ක්‍රියාදාමයක නිරත වූ ඇය පාඨලී ඩයස්….බොහෝ අවිවේකී පසුබිමක සිටියත් ඒ ආදරණීය යුවල සෙනෙහසේ නවාතැනට ගොඩවන්නටත් කාලය වෙන්කළා…
කොහොමද හෙක්ටර් ජීවිතේ
කාර්යබහුලයි ඒ වගේම නිදි වරන්න වෙලා තියෙනවා. හැබැයි ඉතින් නිදි වරාගෙන වුණත් ජීවිතේ සුන්දරව ගත කරනවා කලාවත් එක්ක. අමාරුයි කියල අපි කිසි කෙනෙකුට මේ ජීවිතෙන් පලා යන්න බැහැනෙ.
සංගීත කටයුතු විතරක් කරගෙන හිටියනම් ඔය කියන කාර්යබහුලත්වය නැහැ නේද?
මම කවදාවත් එහෙම හිතන්නෙ නෑ. මොකද අවස්ථාව කියන එක බොහොම වැදගත්. ඒවා ප්‍රයෝජනයට ගැනීම තුළ අපේ ජීවිත වලට ලොකු වටිනාකම් එකතු වෙනවා. අපි කරන හොඳ දේකින් තව කෙනෙකුගේ ආදරයක් ලැබෙනව නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැහැ. සල්ලි වලට ගන්න බැරි එකම දේත් ඒ ආදරය. අද දවසේ රංගනය නිසා ලැබෙන ප්‍රතිචාර වගේම ආදරය නිසා දැනෙන වෙහෙස මහන්සිය ඉබේම නැතිවෙලා යනවා.
Cover Song හරහා ඔබට හිමි වන්නේ ඉහළ ජනප්‍රියත්වයක් වැඩිපුර Cover Song කරන්නෙ ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන්ද?
Cover Song කියන්නෙ අලුත් දෙයක් නෙමෙය. එවැනි ලස්සන නිර්මාණ ඉස්සරත් තිබුණා. ඇත්තටම තැනකට ගියාම අපි කියන්නේ Cover Song එකක්ද original song එකක්ද කියන එකට වඩා මිනිසුන්ගේ දෙසවන් වලට මිහිරක් ලබා දීලා ඔවුන්ගේ ආදරය ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය කියන්නෙ. ජනප්‍රිය වෙනවට වඩා ආදරණීය රසිකයන් තුළ active චරිතයක් වෙන්න තමයි මම නිතරම උත්සාහ කරන්නෙ.
තාත්තගෙ නම ගෙනියන්න දැන් දුවක් ඉන්නවා. ඒ ගැන මොකද හිතෙන්නෙ
ඇත්තටම මගේ එකම දුව ඩියෝනා ගැන මගේ හිතේ තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. එයාට හොඳ ගායන හැකියාවක් තියෙනවා. මම සින්දු කියන නිසා දරුවොත් සිංදු කියන්නම ඕන කියන තැන මම නෑ. ඇය තුළ තියෙන දක්ෂතා ඇයම දියුණු කරගෙන තමයි මේ විදියට ඉදිරියට එන්නෙ. ඒ ගමනට මම අත දෙනව මිසක් ගායන ලෝකෙට තල්ලු කරන්නෙ නෑ.
දරුවො තුන්දෙනාම සංගීත අංශයෙන් ඉදිරිය දකිනවට ඔබ කැමතිද?
තාත්තට හොඳ නම් ඒක දරුවන්ට නරක් වෙන්න බැහැනෙ. දුවට වගේම පුතාල දෙන්නටත් හොඳ සංගීත හැකියාවක් තියෙනවා. ඒත් ඔයාල තාත්තව ෆලෝ කරන්න ඕනෙ කියල මම කවදාවත් එයාලට කියන්නෙ නෑ. තුන්දෙනාම තවම ඉගෙන ගන්නවා. වෙන වෙන වෘත්තීන් වලට යොමු වෙන පාටක් තමයි තියෙන්නෙ. ඒ අතර තමයි දුව ගායනයට යොමුවුණේ.
ලොකු පුතා මේ වෙද්දි Sound Engineering සයිඩ් එක සිලෙක්ට් කරගෙන තියෙනවා. පොඩ්ඩට හොඳ සංගීත හැකියාවක් තිබුණත් හැමදේටම පස්ස ගහනවා. අපි එයාලට කිසිම දේකට බල කරන්නෙ නෑ. ඒත් කවද හරි වෙනත් වෘත්තීන් එක්ක සංගීතයත් එයාලගෙ ජීවිතවල fifty fifty තියෙයි කියන එක නම් විශ්වාසයි.
කලාව නිසා සැමියෙක් තාත්ත කෙනෙක් විදිහට පවුලේ කටයුතු අතපසු කරනවා කියන චෝදනාව එල්ල වෙලාම නැද්ද?
අනේ නැහැ. හැබැයි ඒක මගේ දක්ෂකමට වඩා බිරිඳ පාඨලීගෙ දක්ෂකම. මොකද ඇයගේ යමක් තේරුම් ගැනීමේ ශක්තිය ඉතා ඉහළයි. ඒ තුළ එදා ඉඳලම මගේ කාර්යබහුලත්වය තේරුම් අරගෙන අපේ පවුලෙ වැඩ වලින් 99% ක් කරන්නෙ එයා. මම සිංදුවක් කියාගෙන පුංචි රංගනයක් ඉදිරිපත් කරගෙන 99% ක් කරන්නෙ කලාවෙ වැඩ. ඒ පරිසරය නිර්මාණය කරල මානසික නිදහස මට ලබා දෙන්නෙ පාඨලී. ඒ කැපකිරීම මම හැමදාමත් අගය කරනවා.
මම එහෙම නොකළොත් ඒක හෙක්ටර්ගෙ රසිකයන්ට කරන අසාධාරණයක් – පාඨලී ඩයස්
පාඨලීට ලොකු නිවාඩුවක් හම්බ වෙලා වගේ…
අනේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවෙ ඉන්නකොට මට විවේකය ලැබෙන්නෙ හරිම අඩුවෙන්. මම ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්නෙ ප්‍රාන්ස් වලට ගියාම තමයි.
ප්‍රංශයේ ගෙවන ජීවිතය මොන වගේද?
මෙච්චර කාර්යබහුල නෑ. බොහෝ වෙලාවට ගෙදරටම වෙලා නිදහසේ ඉන්න අවස්ථාව ලැබෙනවා. මෙහෙ තියෙන වැඩ කටයුතු මම ඔන්ලයින් හරහා තමයි කරන්නෙ. ඒ අතරෙ එහෙ ඉන්න මගේ යාලුවො හැමෝම හමුවෙලා කතාබහ කරල කූල් එකේ ඉන්නවා. ඒත් ලංකාවෙදි කලාව කියන හෙක්ටර්ගෙ රැකියාවත් එක්ක ඉබේම කාර්යබහුල වෙනවා. මාසෙකට දවස් 31 ක් වුණාට වැඩ තිස් හයක් විතර තියෙනවා. ඔය අතරෙ පෞද්ගලික ජීවිතේ අපේ වැඩකටයුතුත් හරියාකාරව කරගන්න ඕන. ඒ දේවල් බැලන්ස් කරගන්න නම් අපිට ඒ පස්සෙ දුවන්නම වෙනවා.
ඔය කියන්නෙ වැඩියෙන් කැමති ප්‍රංශයේ ජීවත් වෙන්න කියලද?
එහෙම දෙයක් නෑ. රටවල් දෙකේම ඉන්න තියෙන කැමැත්ත එක වගේ. මොකද මට එදා ඉඳලම ලංකාවෙ සති හයක් හිටියොත් ප්‍රාන්ස් වලට යන්න ඕනෙ. එහේ සති හයක් හිටියොත් ලංකාවට එන්න ඕනෙ. ඒ සිස්ටම් එකට මම දැන් හුරු වෙලා.
ජීවිතේ තියෙන වෙහෙසකර බව නිසාම හෙක්ටර්ව ප්‍රංශයේම නතර කරගන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද?
කොහෙත්ම නෑ. එහෙම වුණොත් ඒක හෙක්ටර්ගෙ ඉදිරි ගමනට වගේම එයාගෙ රසිකයින්ට කරන ලොකු අසාධාරණයක්. අනික එයා ගායකයෙක් රංගන ශිල්පියෙක් විදියට බිල්ඩඅප් වෙලා එනවට කැමතිම කෙනා මම. ඒ නිසා දැම්ම නම් එහෙම දේවල් හිතන්නෙනෑ. සමහරවිට වයසට ගිහින් දරුවන්ගෙ යුතුකම් ඉටු කරල ඉවර වුණාට පස්සෙ එකතැනක නතර වෙයි. නැත්නම් මේ වගේම Travel කර කර ජීවත් වෙනවා.
මේ අවුරුද්දෙ වෙඩින් ඇනවසරි එක ජයටම සැමරුවා නේද?
පහුගිය 4 වැනිදට තමයි අපේ 18 වෙනි වෙඩින් ඇනිවසරි එක යෙදිල තිබුණෙ. ඒ වෙනුවෙන් අපි පස් දෙනා photo shoot එකක් කළා. ඒ හරහා අපි ඉබේම රී ෆ්‍රෙෂ් වෙනවා. ඊළඟට අපේ චූටි පුතා ඩෙලෝන් ගෙ Birthday එක අගෝස්තු 16. ඔය කාරණා දෙකම එකතු කරල ළගම නෑදෑයො යාළුවො එක්ක ඒ සතුටු බෙදා ගත්තා.
පාටි ඩයස් හෙක්ටර් ඩයස් ගෙ රසිකාවියක් නම් වැඩියෙන් කැමති ඔහු තුළ සිටින ගායකයාටද රංගන ශිල්පියාටද?
අවංකවම රංගන ශිල්පියාට. එයාට ප්‍රථම වතාවට දිවිතුරා ඩ්‍රාමා එකට ආරාධනා ලැබුණ වෙලාවෙත් එයා කැමති වුණේ නෑ. ඒත් මම ගොඩක් කැමති වුණා. ඒ සඳහා ඔහුව දිරිමත් කළා. මීට අවුරුදු දෙකකට උඩදී පටන්ගත්තට වඩා එයාගෙ ඇක්ට් එක දැන් හරිම නැචුරල් කියල දකිද්දි තවදුරටත් එයාගෙ රංගනය දකින්න මම කැමතියි.
එහෙම කිව්වට රඟපෑමෙදි වුණත් තමන්ගෙ සැමියා රංගන ශිල්පිනියකට ළංවෙලා ඉන්නකොට ඉරිසියයි නේද?
එහෙම ෆීලින් එකක් මට නෑ. මුල ඉඳලම එයා Shooting කරන තැනට මම ගියා ඔහුව දිරිමත් කරන අදහසින්. අද මම ලංකාවෙ ඉන්නවනම් හෙක්ටර් මට ගෙදර ඉන්න දෙන්නෙ නෑ.ෂූටින් කරන තැනට එක්ක යනවා. එදා ඉඳලම ඒ shoot මගේ ඇහැට හොඳට හුරුයි. ඒ නිසා මගේ හිතේ ඉරිසියාවක් උපදින්නෙ නෑ. දකින කෝණයට වඩා බලන කෝණය අතරෙනෙ ගොඩක් දේවල් වෙනස් වෙන්නෙ.මම තමයි එයාගෙ කොස්ටියුම් ඩිසයිනර්.
ආදරණීය ඔහු සමග යුග ගීතයක් ගායනා කරන්න රංගනයේ යෙදෙන්න හිතිලම නැද්ද?
මම හිතනවා මට ගායනා කිරීමේ ලොකු හැකියාවක් නෑ කියල. ඒත් සින්දුවක් කියන්න කාලෙක ඉඳල ප්ලෑන් එකක් තියෙනවා. ඉදිරියේදි ඒ සඳහා යොමු වෙනවා. රංගනය පැත්තෙන් ගත්තොත් එයාගෙ “අගනක්දෝ” ගීතයේ විෂුවල් එකට පෙනී හිටියෙ මමයි. ඒ සඳහා මම අකමැත්තෙන් හිටියත් හෙක්ටර් කිව්වා මේ සිංදුව කළේ ඔයා නිසාමයි ඒ නිසා මට විෂුවල් එකට ඕනෙත් ඔයාවමයි කියල.
බැහැ කිය කිය ගියත් මම ඒක හොඳට කළා කියල හෙක්ටර් කිව්වා. ඔය අතරෙ මට ටෙලි ඩ්‍රාමා එකක හොඳ චරිතයක් ලැබිලා මම ඒකට කැමති වෙලත් හිටියා. ඒත් පුතාගෙ එග්සෑම් නිසා මම ලංකාවට එන ටිකක් ප්‍රමාද වුණා. ඉතින් ඒ කටයුත්ත මඟ හැරුනා. ඉදිරියේදී මම කැමති විදියේ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම බාරගන්නවා.
කාර්යබහුල ඔහුගෙන් ගෙදර දොරේ වැඩ කටයුතු වලට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?
කලා කටයුතු නිසා එයාට ඒ දේවල් වලට invole වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. හැබැයි පුංචි විවේකයක් ලැබුණත් ඒ වෙලාව මේ අපේ ගෙදර මේ දේවල් අපේනෙ කියලා ඕනම දෙයක් කරන්න පසුබට නොවෙන ආදරණීය චරිතයක් තමයි ඔහු.
පවුලේ අනාගතය ගැන තියෙන්නෙ මොන වගේ බලාපොරොත්තු ද?
මූලිකවම මගේ හිතේ තියෙන දේ තමයි කොතනකට ගියත් අපි පස් දෙනා සතුටින් ඉන්න ඕන කියන එක. ඊළඟට ඉතින් හැම අම්ම කෙනෙකුගෙම තාත්ත කෙනෙකුගෙම වගේ අපෙත් ආසාව දරුවො හොඳින් ඉගෙන ගෙන යහපත් පුරවැසියන් වෙලා ඔවුන් සාර්ථක අනාගතයකට මුහුණ දෙනව දකින එක තමයි.
ධම්මික හේවාවසම්