නානකොට බාත්රූම් එකෙන් එකයි කොණ්ඩෙ. ඒ මදිවට ටවල් එකෙත් කොණ්ඩෙ. කොණ්ඩෙ පීරන බ්‍රෂ් එකෙත් කොණ්ඩෙ. ,ඔයාගෙ කාමරේ පුටු යට, මේස යට, ඩ්‍රසින් ටේබල් එක යට හැම තැනම කොණ්ඩෙ. ඉතින් කොහොමද ඔයාගෙ කොණ්ඩෙ ඔළුවෙ ඉතිරි වෙන්නෙ? ඇත්තටම මෙහෙම කොණ්ඩෙ යන එක ලෙඩක්. පොඩ්ඩ පොඩ්ඩ පටන්ගෙන ගොඩ ගොඩ ගියාම තමයි අපි කාට වුණත් ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනෙ කියන එක පොඩ්ඩකට හරි ඔළුවට එන්නෙ. මේ ගැන කතා කරන්න සුදුසු පුද්ගලයෙක් පසුගියදා අපේ රටට ආවා. ඒ ලංකාවේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ට ඔහුගේ අලුත් දැනුම ලබාදෙන්න හිතාගෙන. ඔහු නමින් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය David Vega Diaz. මේ වනවිටත් ඔහු ස්පාඤ්ඤයේ Hair Lost සහ Hair transplant පිළිබඳ විශේෂඥයෙකු ලෙස කටයුතු කරන අතර ඒ පිළිබඳව ඔහුගේ සිසු සිසුවියන් හට උගන්වමින් සිටිනවා’ ඔහු ලංකාවට පැමිණියේ ස්පාඤ්ඤයේ Genove Dermatologics සහ ලංකාවේ Dermalife සමාගමේ ආරාධනයකට අනුවයි.
ඇලොපේෂියා කියන්නෙ මොකද්ද?
ඇලොපේෂියා ලෙස හඳුන්වන්නේ කොණ්ඩය ගැලවී යාම. (Unpredictable Hair loosing )
හිසකෙස් ගැලවීයාම ඇතිවන්නේ ඇයි?
ඒ සඳහා හරියටම හේතුවක් තවමත් අපිට නිශ්චිතවම කියන්න බෑ. බොහෝ වෙලාවට ජානමය සාධක, පරිසර තත්ත්වයන්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඌනතා, මානසික ආතතිය, පෝෂණ ඌනතා, ලබාගන්නා ඖෂධ, හිසකෙස්වලට රසායන ද්‍රව්‍ය භාවිතය යන කරුණු බලපාන්න පුළුවන්. මෙහිදී සිදුවන්නේ කෙස්ගසේ පොලිකල් ලෙස හඳුන්වන කොටසට හානි වෙමින් එයින් හිසකෙස් ගැලවී වැටීමයි.
ඇලොපේෂියා තත්ත්වය ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකිද?
ඔව්. ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම ඇතිවෙන්න පුළුවන්. මේ වනවිටත් අවුරුදු පහක සහ හතක දරුවන්හට මම ප්‍රතිකාර කර තිබෙනවා. ඒ නිසා දරුවන්ට ඇති නොවනවායැයි කියන්නට බැහැ. විශේෂයෙන් කාන්තාවන්ගේ ගර්භනී කාලයෙන් පසුව සහ ආර්ථවහරණයෙන් පසුව මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකගන්න පුළුවන්. මානසික ආතතිය වැඩි පිරිමින්ගේද මෙම තත්ත්වය වැඩිපුර තිබෙනවා.
ඇලොපේෂියා ඒරියාටා තත්ත්වය ඇතිවන්නේ කෙසේද?
ඒ සඳහා බලපාන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අපේම කොණ්ඩය ප්‍රතික්ෂේප කිරීමයි. එය අහම්බෙන් සිදුවන දෙයක්. ඕනම කෙනෙක්ට ඕනම මොහොතකදී මෙම තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැරැද්දක්. ඒ නිසා හිස් කබලේ තැනින් තැන රවුමට කොණ්ඩය ගැලවී යාමට පටන් ගන්නවා. මෙය එක එක රටවල එක එක නම්වලින් හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ මෙය උඳුගොව්වන් කෑම ලෙස හඳුන්වනවා.
හිස් කබලේ විතරක්ද මෙවැනි තත්ත්ව ඇතිවන්නෙ?
එහෙම නෑ. මුහුණෙ, ඇඟේ පවා කෙස් ගස් ප්‍රතික්ෂේප වීම සිදුවිය හැකියි. එවැනි තැන්වල පවා වටකුරු කෙස් නොමැති කුඩා තැන් දැකිය හැකියි. මෙවැනි රෝගයකින් පෙළෙන කෙනෙකූ නීරෝගීව සහ වෙනත් රෝග ලක්ෂණ නොමැතිව සාමාන්‍ය ජීවිත ගතකරනවා.
ඇලොපේෂියා සහ ඇලොපේෂියා ඒරියාටා යන තත්ත්ව දෙකම සුව කළ හැකිද?
ඇලොපේෂියා ඒරියාටා හොඳ කරන්න අමාරුයි. නමුත් ප්‍රතිකාර කිරීමෙන් නැවත කොණ්ඩය වර්ධනය කරගත හැකියි. ඒ සඳහා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ඖෂධ වර්ග. එවැනි කෙනෙකුට Hair transplant සාර්තක ක්‍රමයක් ලෙස භාවිත කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් දිනපතා කෙස් ප්‍රමාණයක් නෑමේදී සහ පීරීමේදී යන කෙනෙකුටත් ඇලොපේෂියා තත්ත්වය තිබේදැයි ඔබට කිව හැකිද?
ඇලොපේෂියා වර්ග බොහොමයක් අපට හඳුනාගන්න පුළුවන්. හරියටම ඇලොපේෂියා වර්ගය හඳුනාගැනීම සඳහා රෝගයා පරික්ෂා කිරීමත් රෝගියා සමග කතා කිරීමත් අවශ්‍ය වන අතර හරියටම රෝග තත්ත්වය විනිශ්චය සඳහා සායනික පරික්ෂාවන්ට ඔවුන්ව යොමු කළ යුතු වනවා. නමුත් සායනික පරික්ෂාවලින් රෝග තත්ත්වය හඳුනාගැනීමෙන් පසු අද වනවිට සාර්ථක ප්‍රතිකාර මගින් නැති වූ කොණ්ඩය වර්ධනය කරගත හැකියි. ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර, PRP ප්‍රතිකාර, හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් වැනි දියුණු ක්‍රම අපි භාවිත කරනවා. එම නිසා කෙනෙකු ෂැම්පු වර්ග භාවිතය, ඩයි වර්ග භාවිතයට, හිස් කබලේ තෙල් ගැල්වීම, අධික මානසික ආතතියෙන් සිටීම, නිදි වැරීම නොකළ යුතු යැයි අපි උපදෙස් දෙනවා. විශේෂයෙන් යම් ප්‍රමාණයකට කොණ්ඩය ගැලවෙන බව දැනෙනවා නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ලවා රෝග තත්ත්වයක් තිබේදැයි හඳුනාගැනීමෙන් තට්ටය ඇතිවීම වළක්වා ගත හැකියි.
විශේෂ ස්තුතිය
Dermalife ශ්‍රී ලංකා සමාගමේ
සභාපති අජන්ත විදානආරච්චි මහතාට
හරින්දී ලියනගේ