සත්ත්ව කරුණාව ගැන ඉහළින් කතාබහ කළද එහි ක්‍රියාකාරීත්වය දුබල කාලයක ආබාධිත සතුන්ට යළි දෙපයින් නැගී සිටින්නට සැලැස්වීම සිය රැකියාව කරගත් පිංවත් චරිතද මේ සමාජයේ නැතුවාම නොවෙයි. අද අපි කතා කරන්නෙ එහෙම කෙනෙක් එක්ක කොළඹට නුදුරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ කෙනල් ශ්‍රී බයෝනික් පෙට්ස් නමින් සුවිශේෂි ආයතනයක් පවත්වාගෙන යන ඔහු නමින් සෝනි සනත්…
සෝනි රුකියාව වශයෙන් තෝරගන්නෙ අසරණ සතුන්ට උදව්වක් උපකාරයක් කෙරෙන පින් රැස්වෙන ක්‍රියාවක්. කොහොමද ඒ පසුබිම සකස් වෙන්නෙ?
මම හිතන්නෙ සංසාර පුරුද්දට වෙන්න ඕන. දැනට වසර පහළොවකට අධික කාලයක ඉඳල අපේ ගෙදර සුරතල් සතුන් ඇති කරනවා. විශේෂයෙන්ම බල්ලො. මම වගේම ගෙදර හැමෝමත් ඒ සුරතලුන් තිරිසන් සතෙක් එහෙමත් නැත්නම් පිටස්තරයෙක් යන හැඟීමෙන් කවදාවත් සලකන්නෙ නෑ. ඒ අයත් අපේ පවුලේ සාමාජිකයෝ විදිහට තමයි අපි හිතන්නෙ. අන්න ඒ ආදරය තමයි අනුකම්පාකට ලක් වෙලා මේ විදිහේ දෙයක් මගේ රැකියාව වුණේ.
සුරතල් සතුන් ඇතිකිරීම සහ ඔවුන්ට ආදරය කිරීම වෙනම කාර්යයක්. ඔය අතරෙ ආබාධිත සුරතලුන්ට මෙවැනි ආම්පන්න සැකසීම වෙනස්ම දෙයක්
ඔව්. අපේ සුනඛ සුරතලුන් යම් යම් අස්ථි ආබාධවලට ලක්වෙලා නොයෙක් ආකාරයේ ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. එතෙන්දි අද මම ආබාධිත සුනඛයන් වෙනුවෙන් නිපදවන අත් කකුල් රෝදපුටු මුදල් ගෙවා ලබාගැනීමට හෝ තැනක් නොමැති වීම නිසා අපිට ඒ ගැන බොහෝ සේ ලත වෙන්නට වුණා. කලාතුරකින් හරි හෝ එවැනි තැනැක් හොයා ගත්තත් එය ආබාධිත අපේ සුරතලුන්ට ගැළපුනේ නෑ. එවැනි අවස්ථාවල මා තුළ තිබුණු සුළු හැකියාවන් හිතේ ඇතිවෙන අදහසට අනුව ගළපා ගැනීම තමයි මේ කටයුත්තේ ආරම්භය.
ඒ මුල් අවස්ථාව ගැන මතකය අවදි කළොත්..
මගේ මතකයේ හැටියට මමම කල්පනා කරල අවශ්‍ය රෝද, යකඩ, කම්බි සහ සම් වගේ දේවල් සොයාගෙන මුලින්ම රෝදපුටුවක් නිර්මාණය කරල දැනට අවුරුදු හත අටකට වැඩියි. එහි ඡායාරූප මුහුණු පොතට එකතු කරපු වෙලාවෙ ඉඳල විශාල ලෙස ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. මම හීනෙකින්වත් හිතපු නැති විදියට මගේ දුරකථන අංකය සොයාගෙන බොහෝ පිරිසක් මට කතා කරල ඒ ගැන විස්තර අහන්න පටන් ගත්තා.
ඒ වගේම පාද අහිමි වුණ තමන්ගේ සුරතලුන් වෙනුවෙන් රෝදපුටු සකසා දෙන ලෙස මගෙන් ඉල්ලීම් කළා. ඒ වගේම පශුවෛද්‍යවරුන් බොහෝ දෙනෙක් මේ කටයුත්තේ වටිනාකම ගැන අගය කරමින් සහ මට ප්‍රශංසා කරමින් මාව බොහෝ සෙයින් දිරිමත් කළා. ඒ හැම ඇගයීමක්ම අද පවතින සාර්ථකත්වයට එන්න බලපෑවා.
ඔබේ ජීවන වෘත්තිය අසරණ සත්ත්වයින්ට පිහිටවීමම වුණා…
ඔව්. මම ඒ තත්ත්වයට මුහුණ දුන්නනෙ හරිම ආසාවෙන් වගේම කියන්න බැරි තරම් මානසික තෘප්තියකින්. හැම වෙලාවකම හිතේ ඇතිවුණු ප්‍රීතිමත් බව නිසාම මට හැකියාව ලැබෙනවා දිනෙන් දින නිවැරදි වෙමින් ආබාධිත සතුන් වෙනුවෙන් කෘත්‍රිම පාද, රෝදපුටු නියමිත මිමිවලට අනුව ඔවුන්ට ගැළපෙන විදිහට නිර්මාණය කරන්න. විශේෂයෙන් පශු වෛද්‍යවරුන් තමන්ගෙන් ප්‍රතිකාර ලබන සුරතල් සතුන්ගේ තත්ත්වය මට පැහැදිලි කරල මේ දේ මේ විදිහට කරල දෙන්න කියල කරන දැනුවත් කිරීම මගේ දැනුම තවත් වැඩි වෙන්න විශාල රුකුලක් වුණා.
පාද අහිමි වූ පාද පණ නැති ඕනෑම සුනඛයකු වෙනුවෙන් ඔබට ආධාරක නිර්මාණය කළ හැකිද ?
පුළුවන්. ඒත් ඒක හිතන තරම් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි. මුලින්ම අපි අදාල සුනඛයගෙ ආබාධය ගැන හොඳින් දැනුවත් වෙන්න ඕන. ඊට අදාළව නිසි ප්‍රමිතියට අනුව නිවැරදි මිමිවලට පාදයක් රෝදපුටුවක් නිර්මාණය නොවුණොත් ඒ සුනඛයා සිටිනවාට වඩා ආබාධිත තත්ත්වයකට ලක් වෙන්න පුළුවන්. ඒ දේවල් සැලකිල්ලට අරගෙන බොහොම කල්පනාකාරීව නියැළෙන්න ඕනි කටයුත්තක් තමයි මේක.
අද දවස වන විට සෝනිට ඒ හැකියාව පූර්ණ වශයෙන් තියෙනවද ?
මම දන්නෙ නෑ මේ හැකියාව මට පෙර ආත්මෙ ඉඳල එන එකක්ද කියල. මොන විදිහේ ආබාධයකට ලක්වෙලා මා ළඟට සුනඛයෙක් අරගෙන ආවම මට ඉබේම තේරුම් යනවා මේ සතාට සකස් කළ යුත්තේ මොන වගේ උපාංගයක්ද කියන එක. සමහර වෙලාවට එකම ආබාධිත තත්ත්වයේ පසුවන සුනඛකයො තුන් හතර දෙනෙක් මෙතැනට ගේනවා.
නමුත් ඒ අයට අවශ්‍ය උපාංග හදන්න වෙන්නේ තුන් හතර විදිහකට. එතැනදී ප්‍රධාන වශයෙන් ඒ ඒ සතාගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කරන්න වෙනවා. එක් සුනඛයකුට පහසුවෙන් ඇවිදින්න පුළුවන් වෙන කකුලකින් රෝද පුටුවකින් තවත් සුනඛයකුට ඇවිදින්න බැරි වෙන අවස්ථා ඕන තරම් තියෙනවා.
ඔබ අදාළ සත්ත්වයා පරීක්ෂා කළ යුතුමද ?
අනිවාර්යෙන්ම ඇමතුමක් මඟින් දන්වලා අපේ ආයතනයට ආබාධිත සතුන් රැගෙන ආ යුතුයි. ඒක අපි දෙපාර්ශ්වයටම වගේම සත්තුන්ටත් පහසුවක් වෙනවා. කෝල් කරල කිව්වට ෆොටෝ එව්වට මේ උපකරණ නිසි ප්‍රමිතියට අනුව සකස් කරන්න බැහැ.
පාද අප්‍රාණික සුනඛයෙක් දවස පුරා පුටුවක රඳවා තැබිය හැකිද?
ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ආබාධිත සුනඛයකු රෝදපුටුවක තැබිය යුතු උපරිම කාලය විනාඩි 45 යි. පුටුවට පුරුදු කරල එහි සුනඛයා රඳවලා ඒ මඟින් ටිකක් ඇවිදලා ශරීර කෘත්‍ය කරගෙන ආවට පස්සෙ පුටුවෙන් ඉවත් කරල නිදහසේ ඉන්න සලස්වන්න ඕන. අවශ්‍යතාවය අනුව පැයකට දෙකකට පස්සෙ නැවත ඒ මගින් ඇවිදින්නට සැලැස්විය හැකියි.
කෘත්‍රිම පාදයකට, පුටුවකට හුරුකළ සුනඛයකුට තනිව ජීවත්වීමට හැකියාවක් තියෙනවද?
ඒක කරන්න බොහොම පහසු කාර්යයක්. මනුස්සයෙක් රෝද පුටුවක් පරිහරණය කරමින් මහමග ගියාට සතෙකුට ඒ දේ කරන්න බෑ. එතෙන්දි සුනඛයන් වාහන අනතුරු වලට ලක් වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ පවතිනවා. කෘත්‍රිම පාදයත් ඒ වගේම තමයි. අපේ අවධානය යටතේ තමයි සුනඛ සුරතලා තබාගත යුත්තේ.
රැගෙන ඒමට අපහසු සුරතලකු වෙනුවෙන් සහනය සලසන්නේ කොහොමද?
තමන්ගේ සුරතලාට ඇත්තටම ආදරේ නම් බැහැ කියල හරියන්නෙ නෑ. පැමිණිය යුතුමයි. කෙනෙකුට තමන්ගේ සුරතලා වෙනුවෙන් එවැනි කැපවීමක් කරන්න බැරිනම් හොඳම දේ තමයි ඔවුන් ඇති නොකර ඉන්න එක.පසුගිය කාලයේ මොනරාගල එක් මහත්මයෙක් තමන්ගේ සුනඛ සුරතලාගෙ පාදයේ ආබාධයක් වෙනුවෙන් ලොකු වෙහෙසක් දරල අන්තිමට එතනින් පාදය සුව කරන්න බෑ කිව්වට පස්සේ මට කතා කළා. ඒ සිද්ධිය අහල මම ගොඩක් කම්පාවට පත්වුණා.
ඒත් කෝල් එකෙන් අහගත්තු විස්තර වලට අනුව මම ඒ සුනඛයාට අවශ්‍ය සපත්තුවක් හදාගෙන මොනරාගලට ගිහින් එතැනදී සුළු වෙනස්කම් කිහිපයක් කරල පළඳවල ආවා. කියන්න සතුටුයි මාස හයක් ගතවෙලා සුවකරන්න බැරි වුණ කකුල සති තුනකදී 75% ක් සුව වුණා. මේ ඡායාරූප වල ඉන්න කෙලී නමැති සුනඛයා බණ්ඩාරවෙලදී දුම්රියට හසුවෙලා ඉදිරිපස පාදය අහිමි වෙලයි ඉන්නෙ.
මම මෙයාව කොළඹට ගෙනත් පාදයක් නිර්මාණය කරල එය පැළඳගෙන ඇවිදින්න කෙලීට පුරුදු කළා. ඒත් දැන් කෙලීගේ හිමිකරුට එයාව රැකබලා ගන්න අපහසුයිලු. මේ වෙද්දී මම තමයි කෙලීගෙ භාරකාරයා.
ආර්ථික අපහසුතා ඇති කෙනෙක් තමන්ගෙ සුරතලා වෙනුවෙන් ඔබේ සේවය ලබා ගන්නෙ කොහොමද ?
මේක මගේ රැකියාව. ඒ හරහා උපයන දෙයින් තමයි මම ජීවත් වෙන්නෙ. ඒත් මුදල මූලික කරගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි මම. අහිංසක සතුන් වෙනුවෙන් අනන්තවත් කැපවීම් කරල තියනවා. ඒක ඉදිරියටත් එහෙමයි.
ඔතන මෙහෙම දේකුත් තියෙනවා හොඳ වර්ගයේ බලු පැටියෙක් නිකන් දෙනව කිව්වොත් ලංකාවෙ එහා කෙළවරේ ඉඳල මෙහා කෙළවරට ඇවිත් අරගෙන යන අයට තමන්ගෙ සුනඛ සුරතලා වෙනුවෙන් වියදමක් දරන්න කැප වෙන්න බැරිනම් එවැනි කෙනෙක් ළඟ සත්ත්ව කරුණාව තියෙනව කියල හිතන්න අමාරුයි. හොඳම දේ එවැනි අය සත්තු ඇති නොකර ඉන්න එක. මොකද මේ ලෝකෙ කිසිම කෙනෙකුට සතුන්ට වද දෙන්න හිරිහැර කරන්න අයිතියක් නෑ.
මේ ශිල්පය තවත් කෙනෙකුට උගන්වන්න අදහසක් නැද්ද ?
මම ඒකට හරිම කැමතියි. ඒත් තවම ඒක ක්‍රියාවට නංවන්න පුළුවන් කමක් නෑ. ඉදිරියේදී මම දන්න දේ කැමති කෙනෙකුට කියල දීල ඒ හරහා අපේ රටේ විවිධ ප්‍රදේශ වල ඉන්න ආබාධිත සතුන් සුවපත් කරවන එක මගේ හීනයක්.
ආබාධයකට ලක්වුණු සතෙක් ඔබ නිපදවන උපකරණයකින් ඇවිදිනවා දැක්කහම මොකද හිතෙන්නෙ ?
කවදාවත් ඒ හැඟීම වචනවලට පෙරළන්න බෑ. ඒ තරම් ලොකු සතුටක් හිතේ ඇතිවෙනවා. මුලින්ම මම නිර්මාණය කරපු රෝදපුටුවේ බොහෝ අඩුපාඩුකම් තිබුණත් දවසින් දවස ස්වයං අධ්‍යයනයක යෙදෙමින් ඒවා එකිනෙක නිවැරදි කරගනිමින් තමයි මම මේ ගමන ආවේ.
හැම ආම්පන්නයක්ම මුලින්ම හදල ඒක මම සතාට පළඳවල ඒ සමග ජීවත් වීමට සුරතලුන්ට පුහුණු කරනවා. ඊළඟට හොඳින් නිරීක්ෂණය කරනවා අදාල පාදය හෝ රෝද පුටුව ඒ සතාට කොතෙක් දුරට ගැළපෙනවද එයින් අපහසුවක් නැද්ද කියන එක. ඒ ප්‍රතිචාරය මමම දැකල ලබාගන්න අවබෝධය මත තමයි ඉදිරි පියවරයන් සඳහා යොමුවෙන්නේ.
ධම්මික හේවාවසම්