නිවසක් ඉදිකිරීම පිළිබඳව බොහෝ වාස්තු සිද්ධාන්ත කරුණු අත්තිවාරම, බිත්ති, දොර, ජනෙල්, වහළය වැනි නිවසක ප්‍රධාන අංගයන්ගෙන් මෙන්ම නිවසට පිටතින් ඇති යම් යම් සාධක හා වස්තූන්ගෙන් තම නිවසට බලපෑම් ඇති වේ. එම නිසා තම නිවසේ ඇති වාස්තු සිද්ධාන්ත හා සංකල්පයන් ගැන පමණක් සිතා කටයුතු කිරීම එතරම් සුබදායක නොවේ. මන්දයත් පෙර සඳහන් කළ පරිදි නිවසින් පිටත ඇති වස්තූන්ගෙන්ද බොහෝ බලපෑම් ඇතිවන අතර ඒවා අෂ්ඨ දස වේධ දෝෂ ලෙස හැදින්වේ….
එනම්,
බ්‍රහ්ම වේධ දෝෂය
නිවසේ හරි මැද එනම් බ්‍රහ්ම නාභියට ඉදිරියෙන් ප්‍රධාන දොර පිහිටීම බ්‍රහ්ම වේධ දෝෂය ලෙස හඳුන්වයි. මෙම දෝෂය නිවසක ඇති වන ප්‍රධාන දෝෂයක් වන අතර එමගින් නිවැසියන් නුරුස්සන ගති, සොර සතුරු බිය ඇති කරවන වේධ දෝෂයකි. නමුත් මෙම කාරණව පූජා ස්ථාන සහ පොදු ගොඩනැගිලි සඳහා බලපෑමක් ඇති නොකරයි.
ද්වාර වේධ දෝෂය
තමාගේ නිවසේ ඇති ප්‍රධාන දොරත් ඉදිරියෙන් පිහිටා ඇති නිවසේ ප්‍රධාන දොරත් එක කෙලින් පිහිටීම ද්වාර වේධ දෝෂය වේ. එමෙන්ම ඉදිරියේ ඇති නිවසේ වෙනත් පිටවීමේ දොරටුවකට එල්ලවේ නම් එයද නුසුදුසු පිහිටීමකි. අනපේක්ෂිත කරදර ඇති කරවන අශුභ පිහිටීමකි. මෙවැනි නිවාසවල සිටින අයගේ පෞද්ගලිකත්වයට මෙම දෝෂය බාධාවකි.
වෘක්ෂ වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් ඉතා විශාල ප්‍රමාණයේ වෘක්ෂයක් පිහිටීම වෘක්ෂ වේධ දෝෂය වේ. එමගින් නිවසට ප්‍රධාන දොර හරහා ලැබෙන ආලෝකයට වාතාශ්‍රයට බාධාවක් වන බැවින් දූ දරුවන්ට කරදර ඇති කරවන නුසුදුසු පිහිටීමකි.
කූප වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් ළිඳ පිහිටීම කූප වේධ දෝෂය වශයෙන් හැඳින්වේ. ළිඳ හෙවත් කූපය සහ නිවස අතර ඉතාම සුබදායක පිහිටීමක් තිබිය යුතුමය. මන්දයත් නිවසකට ඉතාම වැදගත් සම්පතක් වන ළිඳ වාස්තු සිද්ධාන්ත මත ඉදිකළ යුතුය. මෙහිදී විශාල ප්‍රමාණයේ ටැංකි, පොකුණු ආදිය ද ඇතුළත් වේ. නිවසේ කොණ ළිඳට එල්ල නොවිය යුතුය. මානසික පිඩනයන් ඇති කරවන නුසුදුසු පිහිටීමකි.
දේවතා වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරට ඉදිරියෙන් ආගමික පුද පූජා කරන ස්ථාන පිහිටීම දේවතා වේධ දෝෂය ලෙස හැඳින්වේ.
සුසාන වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් සුසාන භූමියක් තිබීම සුසාන වේධ දෝෂය වශයෙන් සැලකේ. ප්‍රධාන දොරටුව පමණක් නොව ඉන් බැහැරවද සුසාන භූමියක් නිවසට සමීපව පිහිටා තිබේ නම් එය ඉතා අසහනකාරී අත්දැකීමකි. ඒ ආශ්රිත නිවාසවල සිටින අයගේ දියුණුව අඩු වීම, අසහනකාරී ගති ඇති වන ඉතා අහිතකර පිහිටීමකි.
ස්තම්භ වේධ දෝෂය
ප්‍රධාන දොරට ඉදිරියෙන් ස්තම්භයක් හෙවත් කණුවක් පිහිටීම ස්තම්භ වේධ දෝෂය ලෙස හඳුන්වයි. මෙය නිවසේ ප්‍රධාන දොර අවහිර වීමක් වශයෙන් හැඳින්විය හැකිය. මේ දෝෂය මඟින් අදාළ නිවැසියන්ගේ කොඳු ඇට පෙළ ආශ්රිත රෝගා බාධ ඇති කරවන නුසුදුසු පිහිටීමකි.
වර්චස්ථාන වේධ දෝෂය
ප්‍රධාන දොරටුව ඉදිරියෙන් පොදු වැසිකිළි අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කරවන කුණු කසළ ඇති ස්ථාන ඇත්නම් එය වර්චස්ථාන වේධ දෝෂය ලෙස හඳුන්වයි. නිවැසියන් නිතර රෝගී තත්ත්වයන්ට භාජන වන නුසුදුසු පිහිටීමකි.
තිරශ්චීන වේධ දෝෂය
ප්‍රධාන දොරටුව ඉදිරියෙන් ගව මඩු, සුනඛ කූඩු තිබීම තිරශ්චීන වේධ දෝෂය ලෙස හැඳින්වේ. මානසික ගැටලු මෙන්ම රෝගාබාධ ඇති කරවන නුසුදුසු පිහිටීමකි.
රජක වේධ දෝෂය
අතීතයේ ප්‍රධාන දොරට ඉදිරියෙන් රෙදි සෝදන ස්ථානයක් තිබීම රජක වේධ දෝෂය ලෙස හඳුන්වනු ලැබීය. නමුත් වර්තමානයේ මෙවැනි ස්ථාන නොමැති වුවත් කාලානුරූපී ලෙස මෙය විග්රහ කිරීමේදී පොදු නාන ළිඳක්, පොදු ජල කරාමයක් වැනි ස්ථාන හඳුන්වා දිය හැකිය. මෙය අදාළ නිවසේ ජීවත් වන අයගේ පෞද්ගලිකත්වයට, කීර්තියට, ගෞරවයට හානි කරවන අසුබ පිහිටීමකි. තවද මේ මඟින් සෞඛ්‍යයට මෙන්ම සොර සතුරු කරදර ඇති කරවන නුසුදුසු පිහිටීමකි.
රාජ වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් රාජ රාජ, මහා මාත්‍යාදීන්ගේ නිවාස රජයට සම්බන්ධ මධ්‍යස්ථාන හෝ රාජ්‍ය ගොඩනැගිලි පැවතීම රාජ වේධ දෝෂය ලෙස හඳුන්වයි. මෙය රාජ බිය, සාමය බිඳ වැටීම, සතුරු කරදර ඇති කරවන නුසුදුසු පිහිටීමකි.
කර්දම (පංක) වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් මඩ සහිත වළක් වියළී ගිය ඉඩමක් තිබීම කර්දම වේධ දෝෂය ලෙස හැඳින්වේ. මෙයද නුසුදුසු පිහිටීමකි.
කෝණ වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොර ඉදිරියෙන් වෙනත් ගොඩනැගිල්ලක මුල්ලක් හෙවත් කොණක් ඇත්නම් එය කෝණ වේධ දෝෂය ලෙස හඳුන්වයි. නිවැසියන්ගේ සියලු කටයුතුවලට බාධා ඇති කරවන නුසුදුසු පිහිටීමකි.
ගණිකා වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් මෙවැනි ස්ථාන පිහිටීම ගණිකා වේධ දෝෂය ලෙස හඳුන්වයි. අදාළ නිවැසියන්ගේ සාමය බිඳ වැටීමට පෞද්ගලිකත්වයට බාධා ඇති වීමට බලපාන පිහිටීමකි.
මාර්ග වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් තුන් මංසන්ධියක් පිහිටීම මාර්ග වේධ දෝෂය ලෙස හැඳින්වේ. නිවැසියන්ට කරදර ඇතිවන නිදහස අඩු කරවන නුසුදුසු පිහිටීමකි.
මිලේච්ඡ වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් මස් මාංශ වෙළදාම් කරන ස්ථානයක් ඇත්නම් එය මිලේච්ඡ වේධ දෝෂය ලෙස හඳුන්වයි. නිවැසියන් තුළ කේන්ති සහගත හැඟීම් ඇතිකරවන පිහිටීමකි.
කුම්භකාර වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් උළු, ගඩොල්, වළං පෝරණු ආදිය පවතින ස්ථාන පවතී නම් එය කුම්භකාර වේධ දෝෂය ලෙස හඳුන්වයි. එවැනි පෝරණු වලින් නැගෙන අධික දුම හේතුවෙන් මිනිසුන්ට ලෙඩ රෝග ඇති කරවන පිහිටීමකි.
ජල නිර්ගමන වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් ජල පාරක් එනම් ජලය ගලා බස්නා ස්ථානයක් ඇත්නම් (ඇළ, දොළ, විශාල කාණු) එය ජල නිර්ගමන වේධ දෝෂය ලෙස හඳුන්වයි. නිවැසියන්ට සිසිලස නිසා රෝගාබාධ ඇති කරන නුසුදුසු පිහිටීමකි
මෙම දෝෂයන් නිවසක ප්‍රධාන දොරටුව සහ එම වස්තුන්ගේ ඇති දුර ප්‍රමාණය මත එම දෝෂයන්ගේ බලපෑම තිරණය වන අතර කෙටි තාප්පයක් ඉදිකිරීම මඟින් යම්තාක් දුරකට පාලනය කරගත හැකිය. තවද නිවසක ඇතුළත මෙන්ම නිවසින් පිටත ඇති වස්තුන්ගේ බලපෑම අවම වන පරිදි තම ඉඩමේ නිවසක් තනා ගැනීමෙන් සුවසේ ජීවත් විය හැකිය.
වාස්තුවිද්‍යා විශාරද නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes
මිනුවන්ගොඩ
ධම්මික හේවාවසම්