අපේම කියල ගෙයක් දොරක් කියන්නෙ කාගෙත් හීනයක්. හැබැයි අද කාලෙ ගෙයක් හදනවා හෝ මිලදී ගන්නවා කියන්නෙ සුළුපටු කාරණාවක් නම් නෙමෙයි. ඉඩම්වල මිල ගණන්, අමුද්‍රව්‍යවල මිල ගණන්, බාස් කුලී බැලුවම ණයක් නොවී ගෙයක් හදන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ඒ විතරක් නෙමෙයි දැන් මේ ගෙදර ලස්සනට හදාගත්තට පස්සෙ ලස්සන බඩු මුට්ටු ටිකක්,
ඒ කිව්වේ ඔය සෝෆා, කෑම මේස, අල්මාරි වගේ ඒවා තව ගෙදර අලංකාරය වැඩි කරන පොඩි පොඩි බඩු මුට්ටු ටිකක් එහෙම අරගෙන්න ඕනෙනෙ. එහෙම ගෙදරකට බඩු ගන්නකොට ගන්නන් වාලෙ අතේ තියෙන සල්ලි ටික වියදම් නොකර මේ කාරණා ගැනත් හිතල බලලා වැඩේ කළොත් ගෙදර ලස්සන ගැන කවුරුත් කතා කරයි.
ගෙදර ස්වභාවය
ස්වභාවය කියල කියන්නෙ ගෙදර හදද්දි ඔයා ප්ලෑන් කරගෙන හිටපු විදිහ සරලවම. ඒ කියන්නෙ ගෙදර මොකක් හරි තීම් එකකටද හදල තියෙන්නෙ එහෙමත් නැත්තම් මෙන්න මේ විදිහෙ ෆිනිෂින් එකක් තමයි තියෙන්න ඕන කියලා ඔයාගෙ හිතේ තිබුණ මූලිකම අදහස. තීම් එකකට හදපු ගෙදරකනම් ඒ තීම් එකට ගෙදර තියෙන ගෘහ භාණ්ඩවල ඉඳලා හැම දෙයක්ම ගැළපෙන්න ඕන.
දැන් වෙළඳපොලේ ඔය තීම්වලට ගැළපෙන දේවල් ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් වියදම තමයි ටිකක් ඉහළ. ඒ නිසා හොඳම වැඩේ තමයි ගෙයක් හදන මූලික අදහස ක්‍රියාත්මක කරන්න පටන් ගන්න දවසෙ ඉඳන්ම මේ හිතේ තියෙන අදහසට ගැළපෙන්න පොඩි පොඩි දේවල් එකතු කරගන්න, මිල අඩු තැන් හොයල බලන්න.
ගෙදර පිහිටීම
පිහිටීම කියන්නෙ ගෙදර පිහිටලා තියෙන ප්‍රදේශය කියන එකයි මූලිකවම. උදාහරණයක් විදිහට මුහුදක් අද්දර වගේ හදන ගෙදරක් නම් හුළඟත් එක්ක එන ලවණ ගතිය නිසා ගෙදර ලෝහමය බඩු භාණ්ඩ ගැන වැඩි අවධානයක් දෙන්න වෙනව. ගන්නවා නම් හොඳට හොයල බලල හොඳම මල නොබැදෙන වානේ භාණ්ඩ ගන්න වෙනවා.
ඒ වගේම වාර්ෂිකව බොහෝවිට ගංවතුර අවදානමට ලක්වෙන රත්නපුර පැත්තෙ වගේ ගෙයක්නම් වතුරෙන් හානි වෙන දැවමය ගෘහ භාණ්ඩවලට අවදානමක් තියෙනවා. ඒ වගේ දේවල් සැලසුම් කරනවා නම් වතුර එන්නේ නැති ඉහළ මහලයක් තමයි ගන්න ඕනේ.
Material එක
මේ කියන්නෙ අදාළ භාණ්ඩ හදල තියෙන අමුද්‍රව්‍ය ගෙදර පරිසරයත් එක්ක කොච්චර ගැළපෙනවද කියන එකයි. ඒ වගේම තමන්ගෙ බජට් එකත් එක්ක කොච්චර ගැළපෙනවද කියන එක. ගෙදර අයගේ ක්‍රියාකාරකම් එක්ක කොච්චරක් ගැළපෙනවද කියන එක. පොඩි ළමයි ඉන්න ගෙයක්නම් කැඩෙන බිfඳන බඩු නිවසට ගැළපෙන්නෙ නැහැ.
ඒ වගේම ගෙදරකට ගන්න බඩු අපි ගන්නෙ කාලයක් පවතින්නනෙ. හැබැයි නිතර එහා මෙහා කරන බඩු මූට්ටු ඒ කිව්වේ කුලී ගෙවල් මාරු කරනකොට හෝ නැත්තම් ගේ ඇතුලෙම එහා මෙහා කරන දේවල් කැඩෙන්න තියෙන අවදානම වැඩියි. ඉතින් එහෙම බඩුවලට ලොකුවට වියදම් නොකර ප්ලාස්ටික්, ලෝහ වගේ මිල අඩු අමු ද්‍රව්‍යයන්ගෙන් හදපු දේවල් ගන්න එක තමයි නුවණට හුරු වෙන්නෙ.
දරුවන්ගේ ආරක්ෂාව
පුංචි දරුවො ඉන්න ගෙදරක නම් ඔක්කොටම කලින් බලන්න ඕන දරුවන්ගෙ ආරක්ෂාව. ගෙදර ලස්සනට කියල වීදුරු භාණ්ඩ එහෙම තියන එක ආරක්ෂාකාරී නැහැ. ඒ වගේම තමයි කොච්චර අලංකාරය ගැන හිතුවත් ළමයින්ට නගින්න පහසු විදිහේ මේස එහෙමත් අනතුරුදායකයි. ළමයින් එක්ක බඩු පරිස්සම් කරන්නත් බැරි එකේ පුංචිම ළමයි ඉන්න ගෙදරක් නම් ගෘහ අලංකරණය ගැන හිතන එක ළමයි ටිකක් ලොකු වෙනකන් පස්සට දාන එක තමයි කරන්න පුළුවන් හොඳම දෙය. නැත්තම් සල්ලියි, කාලයයි දෙකම අපරාදෙ. ළමයින්ගෙ ආරක්ෂාවත් අවදානමේ.
අවශ්‍යතාවය
කොච්චර ලස්සන බඩු තිබ්බත් වැඩක් නැහැ ඒවගෙන් ගෙදර අවශ්‍යතා සපුරාගන්න බැරි නම්. උදාහරණයක් විදිහට ලස්සනට පැන්ට්‍රී කබඩ්ස් ගහපු ලොකූ කුස්සියක් හදාගත්තට ඒ කුස්සිය හැඩි වෙනවට බයේ උයන එක දවසේ කාලය සෑහෙන්න අපතේ යන වැඩක්.
ඒ නිසා ඒ ගැන හිතල ගෘහ අලංකරණය සැලසුම් කරන්න ඕන. ගෙදර ඉන්න සෙනඟ ප්‍රමාණය, ගෙදරට නිතර එන යන ප්‍රමාණය ගැන හිතලා ප්‍රමාණවත් පුටු, හැමෝටම ඉඳගන්න පුළුවන් ප්‍රමාණයේ කෑම මේසයක් වගේ මිලදී ගන්නයි ඕන.
වගකීම
ලොකු ගාණක් වියදම් කරල බඩු මූට්ටු ගන්න එකේ අනිවාර්යෙන්ම ඒ භාණ්ඩවලට මිලදී ගන්න ආයතනයෙන් ලබාදෙන වගකීම් සහතිකය ගැනත් හිතල බලන්න ඕන. මොකද නිතර නිතර එන අලුත්වැඩියාවන්, මල බැඳීම් වගේ දේවල් එහෙම ආයතනයෙන් වගකීමක් අරන් හොයල බලන්නෙ නැත්තම් ඉස්සරහට ඒවාට අයෙමත් වෙනම වියදම් දරන්න වෙනවා. ඒ නිසා හොයලා බලලා වගකීමක් සහිත තැනකින් බඩු ගන්න එක තමයි වැදගත් වෙන්නෙ.
බජට් එක
ඔක්කෝටම වඩා වැදගත්ම කාරණයක් තමයි මේක. ගෙයක් හදන්නත් හුඟක් දුරට ණය වෙන්න වෙන එකේ මහ ලොකු බඩු මූට්ටු ගන්නත් තවත් ණය වෙන එකනම් එච්චර නුවණට හුරු වැඩක් නෙමෙයි. ඒකයි මුල ඉඳන්ම අඩු මිලට බඩු ගන්න පුළුවන් තැන් හොයල බලන්න කියල.
එහෙම හොයල බලලා මුල ඉඳන්ම සරල අදහසක් ඔලුවේ තියාගන්න මේ මේ දේවල් තමයි ගන්නෙ කියල. ඒකට අවශ්‍ය බජට් එකත් හදලම තියාගන්න. දැක්ක දැක්ක පලියට ලස්සනට ආස වෙලා බඩු ගන්න ගියොත් බජට් එක අවුල් යනවා විතරක් නෙමෙයි තීම් එකට නොගැළපෙන බඩුත් අරගෙන නිකන්ම ගොඩ ගැහෙන්න පුළුවන්.
LIFE.LK ඇසුරෙන්
අර්චිත ඉඳුවර