ඉදිරි ලිපි තුළින් දැනුවත් කළ අනෙකුත් කරුණු කාරණා වගේම බොන්සායි සඳහා පස් මිශ්‍රණය සාදා ගැනීම ප්‍රධානතම අංගයක් වනවා. පස් මිශ්‍රණය මගින් බොන්සායි ශාකයට වැඩීමට අවශ්‍ය සියලු සාධක සලසනු ලබනවා.
ඒවාගේම දිගු කාලයක් එය තුළ බොන්සායි ශාකය වැඩෙනවා. ජපානය, චීනය වගේම අනෙකුත් බොහෝ රටවල් තුළ මේ සඳහා ඒ වෙනුවෙන්ම සැකසු පස් මාධ්‍යයක් තිබෙනවා. බොහෝ තැන්වලදී ද එය මිලදී ගැනීමට පුළුවන්. ලංකාව තුළ සිටින බොහෝ නිර්මාණකරුවන් විසින් මේ විදේශීය පස් මාධ්‍ය තමන්ගේ නිර්මාණයන් සඳහා විශාල මුදලක් වැය කරමින් ගෙන්වනු ලබනවා.
විදේශීය රටවල් තුළ මෙය හඳුන්වනු ලබන්නේ (Akadama – ඇකඩාමා) නමිනි. නමුත් ශ්‍රී ලංකාව තුළ බොහෝ ශිල්පීන් මේ සඳහා අප රටට ආවේණික වූ ක්‍රමවේදයකට ඒ හා සමාන පස් මාධ්‍යයක් සාදනු ලබනවා. මේ ක්‍රමය වර්තමානය වනවිට ඉතා සාර්ථක මට්ටමකට පැමිණෙමින් පවතිනවා.
පස් මාධ්‍ය මගින් ගසේ වර්ධනයට බලපෑම් කළ හැකි අතර ගසේ පෙනුම පාලනය කළ හැක්කේද සිටවුම් මාධ්‍ය මඟින්ය. මෙහිදී ඉතා හොඳින් ජල අපවහනය (Draining system) විය යුතුමය. මන්ද වර්ෂා කාලයේ දී ගසට අවශ්‍ය පරිදි ජල පාලනයකින් යෙදීමට නොහැකි අතර එසේ සිදුවුවහොත් මුල් කුණු වී ගස විනාශ වී යාමට ඉඩ ඇත.
නමුත් ජලය යෙදීම් වාරයන් දෙකක කාලයක් තුළ පස වියලීමට ලක් නොවී ගසට අවශ්‍ය ජලය රඳවා තබාගත හැකි ගුණයකින් ද යුක්ත විය යුතුය. මන්ද පායන වියළි කාලවලදී ද ගසට අවශ්‍ය ජලය සැපයිය යුතු වේ.
අවශ්‍ය පෝෂක කොටස් උපරිමයෙන් ඇති නයිට්‍රිජන් ප්‍රතිශතය අඩු පසක් මේ සඳහා සූදානම් කරගත යුතු වේ. මේ සඳහා නයිට්රජන් වැඩි වුවහොත් ගසේ පත්‍ර විශාල වී ප්‍රමාණයෙන් ඔබ්බට එය රැගෙන යයි.
මූලික අදියරයේදී යොදන පස් මාධ්‍ය
ගඟේ වැලි කොටස්, පස් කොටස්, කොම්පෝස්ට් කොටස්, ගොම අවශ්‍ය පරිදි මෙය බදුන් ගත කිරීමට පෙර ගසෙහි වර්ධනය සඳහා යොදාගනු ලබයි. බොන්සායි ශාකයක් ලෙස බදුන් ගත කරන්නේ නම් වැඩි දියුණු කළ ඒ වෙනුවෙන්ම සැකසූ විශේෂ පසක් සෑදිය යුතු වේ. සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට යොදන සියලු ද්‍රව්‍ය ලංකාව තුළ සොයාගත නොහැකි නිසාත් ලාංකීය ශාක ප්රභේදයන්ට ගැළපෙන පසක් සකසා ගත යුතු නිසාත් දැනට මේ සඳහා අදාළ ගුණයන්ගෙන් යුතු මෙවැනි දෑ යොදා ගනු ලබයි.
පිළිස්සූ මැටි වර්ග
(උළු, ගඩොල්, වළං කැබලි) වැනි ජලය උරන දිය නොවන දෑ යොදා ගනු ලබන්නේ පස් මාධ්‍ය තුළ ශාකයට අවශ්‍ය තෙතමනය රඳවා ගැනීමටයි. මේ සියල්ල කුඩා ප්රමාණයන්ට වඩා ගැනීමෙන් පසුව මේ සඳහා යොදාගනී.
ගල් වර්ග
ගඟේ වැලි (තරමක් විශාල), බොරලු ගල් (කුඩා), කුඩා කර කඩාගත් කබොක් මෙවැනි ගල් වර්ගයන් යොදාගනු ලබන්නේ පස් මාධ්‍ය තුළ ලිහිල් බව දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට සහ එහි සිටුවන ශාකයට අවශ්‍ය වාත්රාශය ඉතා හොඳින් ලබා ගැනීමටයි.
පස් වර්ග
තද ගතියෙන් යුතු ජලය හොඳින් උරා ගත හැකි කැටමය පස් (රතු පස් සහ දුඹුරු පාට පස) මෙමගින් ශාකයේ ඇති මුල් වර්ධනය කරනු ලබයි.
දර අඟුරු (කොට අඟුරු)
හානිකර දිලීර බැක්ටීරියා ආදිය මේ මගින් විනාශ කරනු ලබයි. සුළු පෝෂණයක් මෙන්ම තෙතමනය ද මේ මගින් ලබාදෙයි. පිළිස්සූ කොටවල ඉතිරි වූ අඟුරු කුඩාම කොටස් වලට කඩා යොදා ගැනීම ඉතාමත් සුදුසුයි.
පෝෂක කොටස්
ගොම, කොම්පෝස්ට්, දිරාගිය කොලරොඩු මෙවැනි දෑ එක් කිරීම මගින් ශාකයට අවශ්‍ය ආහාර ලබා දෙයි.
පස් මාධ්‍ය සකසන සම්මත ක්‍රමය
මේ සඳහා 1/2, 1/4, 1/8, 1/16, 1/32 යන ප්‍රමාණවලින් කම්බි දැල් යොදා සාදාගත් පස් හලන පෙනෙර අවශ්‍ය වේ. පස් හැර අනෙකුත් ඒවා කුඩා කැට සිටින අයුරින් කඩා ගත යුතුය. එක් එක් වර්ගය පහත සඳහන් පරිදි හලාගන්න. 1/2 දැලෙන් හලා ඉතිරි වන පස් නැවත කුඩුකර හදාගත යුතුය.
එහි ගල් ඇති නම් ඉවත් කළ යුතු වේ. 1/4 දැලෙන් ඉතිරි ඒවා හලා ගත හැකිය. ඉන්පසු ඉතිරිවන පස පළමු පස් කාණ්ඩය වන අතර පළමුව ඒවා වෙන්කර තබා ගත යුතුය. 1/8, 1/16, 1/32 යන දැල් වලින් හලා ඉතිරි වන පස් ද වෙන්කර ගත යුතුය.
1/32 දැලෙන් හැලී ඉවත්ව යන පිටි වැනි සිහින් පස් බොන්සායි සඳහා යොදා නොගන්නා බැවින් එය ඉවත් කරන්න. මෙලෙස වෙන් කරවා ගත් කොටස් තුළින් ගසෙහි අවශ්‍යතාවය පරිදි (අනුපාත වලින්) වෙන් කරවා ගත් ප්‍රමාණ වලින් 1/4 දැලෙන් ඉතිරි වූ ඒවා වෙනමද 1/8 ඉතිරි වූ ඒවා වෙනමද ලෙස පස් කාණ්ඩ 4 ක් ලෙස සකසා ගත යුතුය. මෙසේ වෙන් කරගන්නා පස් කාණ්ඩ 4 ශාකයට යොදන්නේ නම් විශාලත්වය අනුව පිළිවෙළින් යට සිට උඩට යෙදිය යුතුය.
සකසා අවසන් කළ බොන්සායි ශාකයක් බඳුන් ගත කිරීමට මාධ්‍ය සකසාගන්නා දැනුවත් කළ ආකාරයට සකසා ගත් පස් මාධ්‍ය, තෝරාගත් බඳුන සහ පැළය සමග බදුන්ගත කිරීම සඳහා සූදානම් විය හැකිය.
මෙහිදී පළමුව විශාලවට කඩා ගත් කොටස බදුනේ අඩියට දැමිය යුතුය. දෙවනුවට විශාල කොටස ඊළඟට යොදා ගත යුතුය. මේ ආකාරයට අවසන් කුඩාම කොටස බඳුනේ ඉහළින්ම දැමිය යුතුය.
මෙය සිදුකරනු ලබන්නේ ශාකයේ ඇති පස් ඉවත් කර නැවත බදුන්ගත කරන බඳුනෙහි තබාගෙනමය. එසේ කිරීමෙන් මුල් නැවීම මගින් මූල මණ්ඩලයට සිදුවන හානි අවම වනවා වගේම මූල මණ්ඩලයට පස තද වීමක් සිදු වේ.
ශාකය බුරුලට (සෙලවෙමින්) තිබෙනවානම් කුඩා කූරක් වැනි ලී කෝටුවකින් යොදාගෙන තවදුරටත් මූල මණ්ඩලයට පස තද කිරීමක් කළ හැකිය. මෙය ඉතා සෙමින් ආරක්ෂාකාරීව කළ යුතුය.
එසේ නොවුණහොත් මූල පද්ධතිය පැලීම නිසා ශාකයේ ඇති ප්රාණත්වය මදක් ගිලිහී යා හැකිය. මෙලෙස අලුත් පස් මාධ්‍යක ශාකය සිටවූ පසු නැවත ශාකය පස් තුළට මුල් යවාගෙන අලුතින් වැඩීම ආරම්භ වනතුරුම වැඩි සෙවනක් ඇති තද අව්ව නොවැටෙන තැනක තැබිය යුතුය.
මේ විදිහට වැඩ අවසන් කර සෙවන සලසා දින 15 පමණ ගතවීමෙන් පසු බොන්සායි පස් මාධ්‍ය තුළ වැඩෙන නිරෝගිමත් බොන්සායි ශාකයක් ඔබට දැකගත හැකිය.
(බොන්සායි ශාකයට ගැළපෙන බඳුන තෝරා ගැනීම සහ නිවැරදිව පස් මාධ්‍යයක සිටුවා ගන්නා අයුරු ඉදිරි ලිපිය තුලින් දැනුවත් කරනු ලබයි)
තායිලන්ත
බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න
එරංදි කෞශල්‍යා