කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමි
පෙර පිං මහිමයෙන් කෙනෙකු ලබන මනුෂ්‍ය ජීවිතය අධ්‍යාත්මික මඟකට යොමුකර ගනිමින් අර්ථවත්ව ගත කිරීමට සිතෙන්නේ නම් ඒ සසර පුරුද්දටමය. භික්‍ෂුවක හෝ මෙහෙණියක ලෙස කසාවත් දරමින් බණ දහම් ප්‍රගුණ කරමින් සංසාර ගමන කෙළවර කරගන්නට මගේය අපේය යන බැඳීම් හේතුවෙන් ජීවිත කාලය පුරා අනේකවිධ දුක්කම්කටොළුවලට මුහුණ දෙමින් හැලහැප්පීම්වලට ලක්වෙමින් ගෙවන ජීවිතවලට සමුදෙමින් තමන් සතු සියලු දේපළ මෙන්ම ලෞකික සැප සම්පත් හැරදමා ලෝකෝත්තර සුවය පතා එකම පවුලේ මව,දියණිය මෙන්ම බෑණනුවන් කසාවතින් සැරසී පැවිදි දිවියට ඇතුළත්වීමේ දුර්ලභ ගණයේ පුන්‍යකර්මයක් පසුගිය 27 දා සිදුවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචනයන් එල්ලවනු දුටු නිසාම අපි ඒ පිළිබඳව ගෝසිංග වන අරණේ නිර්මාතෘ කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන්ගෙන් විමසා සිටියා…
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ පෙළඹවීම මත මෑණියන්, නැගණිය සහ ඇගේ සැමියා (මස්සිනා) මහණදම් පුරන්නට සාසනයට ඇතුළත් වූ බව පැවසෙනවා
ප්‍රථමයෙන් මම මෙහෙම කියන්නම්. විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය හරහා අපේ පවුලේ සියලු දෙනා පැවිදි දිවියට ඇතුළත් වීම ගැන විවිධ අදහස් පළවෙලා තිබුණ බව මම දන්නවා. මේ ලෝකෙ සිද්ධවෙන ඕනෑම කාරණාවක් ගැන තම තමන්ගෙ හිත තුළ ඇතිවෙන මතය ප්‍රකාශ කිරීමේ අයිතිය ඒ අයට තියෙනවා. ඒත් අපි හැම කෙනෙක්ම අප විසින් කරන කියන දේ කොතරම් දුරට නිවැරදිද කියන එක කල්පනාවට අරගෙන තමයි හැම දෙයක්ම සිදුකළ යුත්තේ.
මේ කතාවේ සැබෑ තත්ත්වය දැනගැනීමට අපි කැමතියි
මගේ උපන් ගම කැබිතිගොල්ලෑවෙ පහළ උස්ගොල්ලෑව. අම්මයි අප්පච්චියි අක්කයි මමයි නංගියි තමයි පවුලෙ හිටියෙ. මම එකම පිරිමි දරුවා. ධර්මය ගැන පැහැදීමක් ඇතිවෙලා මගේම කැමැත්තට අනුව තමයි මීට වසර 12 කට ඉස්සෙල්ල පැවිදි දිවියට ඇතුළත් වුණේ. දැනට වසර කීපයකට පෙර අප්පච්චි ජීවිතයෙන් සමුගත්තා.
අක්කත් නංගිත් විවාහකයි. ගෙදර හැමෝම මම වැඩ වාසය කරන ඇටවිරගොල්ලෑව ගෝසිංග වන අරණ ආරණ්‍ය සේනාසනයට නිතර ආව ගියා. ඒ හැම අවස්ථාවකම අන් අයට වගේම මම ඔවුන්ටත් දහම් කරුණු කියා දුන්නා.
ඒ පැහැදීම මතද පවුලේ සියලු දෙනා ශාසනයට ඇතුළත් වුණේ.
ඒක එහෙම වෙන්න ඕන. මොකද මගේ මැණියන්, නැගණිය සහ මස්සිනා වයසින් මුහුකුරා ගිය වැඩිහිටි අය. විශේෂයෙන්ම නැගණිය වත්සලා දුෂ්මන්ති උපාධිධාරි ගුරුවරියක්. වවුනියාව මාමඩුව අග්‍රබෝධි මහා විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු සිදුකරමින් සිටියා. ඇගේ සැමියා වූ රුවන් මධුශංක නානායක්කාර කාර්මික ශිල්පියෙක්. ඔවුන්ට අවුරුදු 4 ක පුංචි පුතෙක් සිටිනවා.
ඒ අය තමන් ලබාගත් අවබෝධය මත මේ තැනට පැමිණියා මිසක ඒක මගේ බලකිරිමකට කවදාවත් කරන්න බැරි දෙයක්. මේ වෙද්දී මගේ වැඩිමල් සහෝදරියත් මෙහෙණින් වහන්සේ කෙනෙක් විදිහට ශාසනයට ඇතුළත් වීමට කැමැත්තෙන් පසුවෙනවා. ඇගේ ස්වාමියා ඒ සඳහා අවසරය ලබාදුන් දිනක ඇයත් මෙහෙණි සසුනට ඇතුළත් වේවි.
භික්‍ෂුවක් මෙහෙණින් වහන්සේ නමක් ලෙස බුද්ධශාසනයේ පැවැත්මට සම්බන්ධ වීම විශාල කුසලකර්මයක්. ඒ අතරතුර නැගණියගේ දරුවාට අසාධාරණයක් වන බවට මතයක් ගොඩනැගෙනවා.
අන්න ඒක තමයි මම මුලින්ම කිව්වේ එක එක අයගේ අදහස් විවිධයි. ඒ අයට තම තමන්ගෙ මත කැමති විදියකට පළකරන්න පුළුවන් කියල. ඒත් ඒක කරන්න ඕන සත්‍ය දැනගෙන. පවුලේ පසුබිමත් එක්ක නැගණියගේ දරුවාටත් බුද්ධ ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එයා දන්නව මම ගිහි කාලෙ එයාගෙ අම්මගෙ සහෝදරයා කියල. ඒ වගේම මේ පැවිදි පිංකමට කලින් ඒ ගැන නැගණියත් ඇගේ සැමියාත් පුතාව දැනුවත් කළාම ඔහු කවදාවත් ඒකට විරුද්ධ වෙලා මට අම්ම ඕන තාත්ත ඕන යන්න එපා කියල කියපු දරුවෙක් නෙමෙයි. අපි හැමෝටම වඩා පුංචි වයසකදී ඔහුත් මේ උතුම් ශාසනයට ඇතුළත් වෙන්න ඕන කියන කුසලමය සිතුවිල්ලෙන් පසුවෙන දරුවෙක්. ඉදිරි කාලයේ ඔහුත් බුද්ධ පුත්‍රයෙක් වේවි.
මේ හරහා ඔහුට ළමා කාලය අහිමි කිරීමක් සිද්ධවෙලා නැද්ද?
කොහෙත්ම නෑ. දරුවා මේ ආරණ්‍ය සේනාසනය තුළ බොහොම සතුටින් ජීවත් වෙනවා. එයාට අවශ්‍ය විදිහට කන්න බොන්න සෙල්ලම් කරන්න නිදහස තියෙනවා. ගෙදර හිටපු කාලෙ ගෙවපු සාමාන්‍ය ජීවිතේම තමයි අද මෙහිදීත් ගෙවන්නේ. පුංචි වයසක නිසා සැරින් සැරේ කෑම ඉල්ලනවා. එතනදී විකාල භෝජන ශික්‍ෂාපදය රැකෙන්නෙ නෑ. ඒ නිසා අපි මේ දරුවාව අපිට ඕන විදියට වෙනස් කරල පැවිදි කරන්නෙ නෑ. සාමාන්‍ය විදියට හැදෙන්න වැඩෙන්න ඉඩ හැරල ඔහුම ඇතිකර ගන්නා සංවර පැවැත්ම තුළ තමයි ඒ දේ සිද්ධ වෙන්නෙ.
දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමක් මේ හරහා සිදුවන්නේ නැද්ද?
තාම පෙර පාසල් යන වයසෙනෙ ඉන්නෙ. ගිහි කල මගේ නැගණිය වත්සලා දුෂ්මන්ති ගුරුවරියක්. ඇය අද ගෝසිංග වනයේ යශෝධරා මෙහෙණින් වහන්සේ වුණත් දරුවාට අවශ්‍ය ශිල්ප සාස්තරේ දීමේ හැකියාව තියෙන නිසා ඒ කටයුතු හරියාකාරව සිද්ධ වෙනවා. ඒ වගේම දරුවාගේ පියා රුවන් මධුශංක අද ගෝසිංග වනයේ කස්සපතිස්ස හිමි, මිත්තනිය මාගේ මෑණියන් ජයසේකරගේ දයාවතී හේරත් අද ගෝසිංග වනයේ ප්‍රජාපතී මෙහෙණින් වහන්සේ සහ මමත් සියලුම ආගමික කටයුතුවල නිරතවෙන අතරතුර දරුවාගේ සියලු කටයුතු සොයා බලනවා.
එහෙත් පිරිවෙන් අධ්‍යාපනයට යොමුකළ හැකියි නේද?
ඔව්. සාමණේර හිමිනමක් විදියට පිරිවෙන් අධ්‍යාපනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා. ඒත් පිරිවෙන්වෙල වගේම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා ධර්මානුකූල හැසිරීම් නැති නාමිකව භික්‍ෂුන් වහන්සේලා වන බුද්ධ පුත්‍රයන් අද අපට බොහෝ අවස්ථාවල දකින්න ලැබෙනවා. ඉදිරියේදී පැවිදි දිවියට ඇතුළත් වීමට සිටින මේ දරුවා බාහිර ලෝකය හා ගැටෙමින් කරන අධ්‍යාපන කටයුතුවලට වඩා ධර්මය හොඳින් ඉගෙන ගෙන ඒ තුළ හැසිරීම බොහෝ සෙයින් වටිනවා කියන එක තමයි මගේ අදහස. මොකද අප හැමෝගෙමත් අරමුණ ධර්මය නිවැරදිව ඉගෙන ගෙන ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැපවීමයි.
ඒ වෙනුවෙන්ද සියලු දේපළ ශාසනයට පූජා කළේ.
මැදවච්චිය ඇටඹගස්කඩ ඇටවිරගොල්ලෑව කියන ඉතාමත් නිස්කලංක සුද්දර ගම් ප්‍රදේශයේ කෙළවරට වෙන්න අක්කර තුනක පමණ බිම් ප්‍රමාණයක තමයි මම වැඩ වාසය කරන ගෝසිංග වන අරණ පිහිටලා තියෙන්නෙ. මේ ගමේ හිටපු සතාහාමි කියන උපාසක මහත්තයගෙ පිංවත් දූ දරුවන් තමයි ඔවුන් සතු මේ භූමිය ආරණ්‍ය සේනාසනයට පූජා කළේ.
ගිහිකල මම ජීවත්වුණ කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑව පිහිටි අපේ නිවස ඉඩකඩම් කුඹුරු ව්‍යාපාරික ස්ථාන වගේම යාන වාහන මිල මුදල් සියල්ලම මගේ මෑණියන් නැගණිය සහ ඇගේසැමියා ශාසනයට ඇතුළත් වූ පසුගිය 27 වැනිදා සඟසතුකොට ශාසනයට පූජා කළා. ඒ නිවස තමයි ගෝසිංග වනයේ යශෝධරා මෙහෙණි ආරාමය බවට පත් කළේ.
ගෝසිංග වන අරණේ මෙන්ම යශෝධරා මෙහෙණි ආරාමයේ නිර්මාතෘවරයාණන් ලෙස ඔබවහන්සෙගේ ඉදිරි කටයුතු කුමනාකාර ද?
අපේ ආරාමවල සිටින භික්‍ෂුන් වහන්සේ මෙන්ම මෙහෙණින් වහන්සේලා දිනපතා අලුයම 4.00 සිට රාත්‍රියේ සැතපීමට යන තෙක් ආගමික වතාවත්වල නියැළෙමින් ඉතාමත් සරල දිවිපෙවෙතක් තමයි ගතකරන්නේ.භික්‍ෂුන් වහන්සේලාගේ කුටිවලට සැතපුම් ගණනක් දුරින් තමයි මෙහෙණි ආරාමය පිහිටුවා තිබෙන්නේ.
ඒ දෙපාර්ශ්වයේ භාවනා කටයුතුවලට බාධා නොවන අයුරින් ගිහි පිංවතුන්ට ද ආරණ්‍ය සේනාසනය තුළ ආගමික වතාවත්වල නියැළිය හැකියි. ඒ හැම දෙයකින්ම අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ ගුණ දහමින් පෝෂණය වූ යහපත් සමාජයක් ගොඩනැගීමයි. අද දවස වන විට ඒ වටපිටාව ගොඩනැගෙමින් පැවතීම පිළිබඳව මා තුළ ඇත්තේ සතුටක්.
ධම්මික හේවාවසම්