බොහොමයක් වෙලාවට රෝග සම්බන්ධයෙන් මට අත්දැකීම් ලැබෙන්නේ පොදු ප්‍රවාහන සේවාවලදී. මෙයත් දුම්රියකදී ලද අත්දැකීමක්. උදෑසන කාර්යාල දුම්රියක දොර අසල සිටගෙන සිටියේ ඉතාම අපහසුවෙන්. පොදු ප්‍රවාහන සේවාවල තදබදය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. වේයන්ගොඩින් දුම්රිය ගමන් ඇරඹුවා. හෙමිහිට ඉදිරියට ඇදෙනවා. වේදිකාවේ දිව ආ මැදිවියේ පුද්ගලයෙක් මා සිටි දොරටුවේ පිටත සිරස් බාරයේ එල්ලී පාපුවරුවට පැන්නා. ඊළඟ මොහොතේ ඔහුගේ සමබරතාවය ගිලිහී පිටතට සිරුර ඇල වුණා. මමත් තව අයෙකුත් ක්ෂණිකව ඔහුගේ අතින් සහ කමිසයෙන් අල්ලා ඇතුළට ඇද ගත්තා.
හැමෝම බනින්න ගත්තා. ඔහු උරහිසක් අල්ලාගෙන වේදනාවෙන් මිරිකෙනවා.
“ඇයි ඔයාගේ උරහිසක අවුලක්ද?” මම ඇහුවා.
“ඔව් මහත්තයා. වම් උරහිස ගල්වෙලා වගේ. අත උස්සන්න බැරි තරම්. ටිකක් ගැස්සුනොත් සිහි නැති වෙන ගානට වේදනාවයි.”
“ඉතින් මනුස්සයෝ, එහෙම තියාගෙන මේ වගේ අවදානම් වැඩ කරන්නේ ඇයි?”
“මොනවා කරන්නද? වෙලාවට වැඩට යන්න එපායෑ… .නැත්නම් රතු ඉර වදිනවා”
“රතු ඉර වගේද ජීවිතේ. කලින් කෝච්චියේ වැඩට ගියා නම් ඉවරනෙ…” මම කිව්වා.
“කඩ හතරකට ඉඳිආප්ප, වඩේ එහෙමත් දාලයි එන්නේ. පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. පැයක්වත් කැපුනොත් ලොකු පාඩුවක්නෙ.”
මම වෙද මහත්තයා ගැන කියලා දුරකථන අංකයත් දුන්නා. මරදානෙන් බැහැලා වෙද මහත්තයාට කතා කරලා විස්තරය කිව්වා. පිළිතුර ක්ෂණිකයි.
“ඕක මලේ ෆ්රෝෂන් ෂෝල්ඩර් කියලා බටහිර දොස්තර මහත්තුරු හඳුන්වන ලෙඩේ. නමෙන් කියන්නා වාගෙ උරහිස සන්ධියේ ක්‍රියාකාරිත්වය සුමට කරන ජෙල් එක මිදෙනවා. උරහිස ගල් වෙලා වගෙ කියන්නේ ඒකයි.”
දේශීය වෙදකමේ මේ ආබාධය හඳුන්වන්නේ කොහොමද?
අපේ විශේෂ නමක් නැහැ. උරපතු ගල් වීම කියලා තමයි කියන්නේ.
මේ ආබාධයට සාර්ථක ප්‍රතිකාර හෙළ වෙදකමේ තියෙනවාද?
ආයෙ නැතුව… තියෙනවා.. බටහිර වෙදකමේ නම් මම දන්න තරමින් බෙහෙත් නැහැ. එතනදී කරන්නෙ භෞත චික්තිසක ව්‍යායාම. ඔය පිසියෝ තෙරපි කියන්නෙ. අන්න ඒක. ඒවයින් බැරි මට්ටමක නම් තියෙන්නෙ නිර්වින්දනය හෝ සිහිය නැතිකිරීමකින් පස්සේ අත වටයක් කරකවලා මේ තදවීම ලිහිල් කිරීමක්.
කොහොමද ආබාධයේ ස්වභාවය
ආරම්භයේදී උරස් කුහරයේ ඇතුළතින් පුංචි වේදනාවක්, ඇදුම්කෑමක් වගේ එනවා. නොසලකා හැරීම තුළ ආබාධය උත්සන්න වෙනවා. අර පුංචි වේදනාව ක්‍රමයෙන් තීව්ර වෙලා අවසානයේදී උරහිස ගල් වෙලා අතේ චලනය උපරිම මට්ටමකින් සීමා වෙනවා. මේ මට්ටමට ළඟා වෙද්දී අර කිව්ව පුංචි වේදනාව දරා ගන්න බැරි තරමට උත්සන්න වෙනවා. සුළු චලනයකදී පවා ක්‍රමයෙන් අත උස්සන්න බැරි වෙනවා.
පිට කහගන්න, කොණ්ඩෙ පීරාගැනීම පවා නොහැකි මට්ටමකට ඉක්මනින් පත්වෙනවා. ඒක හිතා ගන්න බැරි තරමේ වේදනාකාරී අත්දැකීමක්. රෝගියෙකුගෙන්ම තමයි විමසලා දැන ගන්න ඕනෙ. අර රෝගියා කියන්න ඇතිනෙ ඒ ගැන අපොයි කිව්වා. මූණ බෙරි වෙලා. ඇස්වලට කඳුළු ඇවිත් තිබුණෙ. අත උස්සන්න පුළුවන් අංශක තිහකට විතර වගේ. පැයකට පස්සෙ මරදානෙන් බහිද්දිත් අමාරුවෙන් හිටියෙ.
මේ ආබාධය හැම වයස් සීමාවකටම එනවාද?
වැඩිපුරම ඇතිවෙන්නේ මැදි වයසෙදි. විශේෂයෙන්ම ඒ වයස් කාණ්ඩයෙ දියවැඩියාව තියෙන පුරුෂ පක්ෂය බොහොම සැලකිලිමත් වෙන්න ඕනෙ. එයාල තමයි වැඩිම අවදානමක ඉන්නෙ.
ෆ්රෝෂන් ෂෝල්ඩර් ආබාධය සම්බන්ධයෙන් දියවැඩියා රෝගීන්ට විශේෂ ඇයි?
දියවැඩියාව ශරීරයේ හානි නොකරන්නෙ කොතනටද මොන ඉන්ද්‍රියට ද කියලා මට කියන්නකො බලන්න. දියවැඩියාව කියන්නේ නිහඬ මාරයෙක්. මැදි වයසේ දියවැඩියා රෝගීන්ට ෆ්රෝෂන් ෂොල්ඩර් ආබාධය ප්‍රධාන වුණාට අනිත් වයස් සීමාවලට නැහැ කියන්න බැහැ. දැන් දියවැඩියාවව පොඩි දරුවන්ට පවා ඇවිත්නෙ තියෙන්නේ. මගෙ ළඟට ප්‍රතිකාර ගන්න ආවා වයස අවුරුදු දාහතක තරුණ ළමයෙක්. දියවැඩියා රෝගියෙක්. මා ළඟට ආවෙ ෆ්රෝෂන් ෂෝල්ඩර් ආබාධයට ප්‍රතිකාර ගන්න. ඔන්න ඔහොමයි අපේ මහත්තයා අද වෙද්දී තත්ත්වය.
දියවැඩියාවට ගොදුරු වුණු අයට මේ ආබාධයේ අවදානම වැඩි ඇයි?
දියවැඩියාවෙන් ශරීරයේ ජීව ගුණයට, සාරයට විශාල වශයෙන් හානි කරනවා. සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ ඉඳලා ලිංගික ශක්තිය දක්වාම අකර්මන්‍ය කරනවා. දියවැඩියාව ගැන වෙනම දවසක කතා කරමු. දීර්ඝ වශයෙන් පාලනය කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නෙ කොහොමද කියලා.
ෆ්රෝෂන් ෂෝල්ඩර් තියෙන දියවැඩියා රෝගීන්ට ලෙඩ දෙකටම ප්‍රතිකාර කරන්න වෙනවාද වෙද මහත්තයා?
අනිවාර්යයෙන්ම එහෙම කරනවා. නැතුව බැහැ. දියවැඩියාව පාලනයට සාර්ථක ප්‍රතිකාර හෙළ වෙදකමේ තියෙනවා. ලෙඩේ කඩා ගත්තට පස්සේ, ආහාර පානම ඖෂධ බවට පත්කරගෙන දියවැඩියාවට බෙහෙත් මොනවත්ම නැතිව ජීවත් වුණෑකි.
වෛද්යාචාර්ය
සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර