දරුවන් පුංචි වුණත් ඔවුන්ගේ සිහින නම් පුංචි නැහැ. ඒ වගේම හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියන්නා සේ ඔවුන් බාල කාලයේදී පටන්ම තමන්ගෙ අනාගත සිහිනය ඉලක්ක කරගෙන කටයුතු කරනවා. මිහින්තලේ අඹතලාගම පදිංචි පුංචි නඳුන් දිල්හාරගේ සිතටත් ලොකු සිහිනයක් ඇති වුණා. මේ වනවිට මිහින්තලේ මහ විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නඳුන්ගේ වයස අවුරුදු 13 යි.
ඔහුගේ නිවසේ කාමරයක්ම පිරී තිබෙන්නෙ සත්ත්ව ඇටසැකිලි, සංරක්ෂිත සතුන් සහ නිදර්ශක එකතුවකින්. ඔහු වෙතින් පෙනෙන අනාගත සත්ව විද්‍යාඥයෙකුගේ හැඩ තල බව රහසක් නොවේ. නමුත් ඔහු ගත කරන්නේ අඩු පහසුකම් සහිත ජීවිතයක් මේ ගැන අදහස් දක්වමින් ඔහුගේ මව කියා සිටියේ පුතාගේ සංරක්ෂණ ඒකකය දැන් ජනප්‍රියයි. ඒ නිසා රූපවාහිනී නාලිකා වලින් ආරාධනා ලැබෙනවා’ පුතාගේ තාත්තාටත් ස්ථිර රැකියාවක් නැහැ. ඒත් අපි කොහොම හරි පුතාව මේ මාධ්‍ය සාකච්ඡාවලටත් අරගෙන යනවා.
මම පුංචි කාලයේ ඉඳලම සතුන්ට හරිම කැමැතියි. ඒ නිසා චිත්‍රයක් ඇන්දත් මම ඇන්දේ සත්ව රූපයක්. හය වන ශ්‍රේණියට එන තෙක්ම මම මිනිස් රූපයක් ඇන්දේ නැහැ.
ඔබට සත්ත්ව ඇටසැකිළි එකතුවක් ගැන අදහසක් ඇති වුණේ ඇයි?
කොරෝනා වසංගත කාලයේ අපි හැම දෙනාම ගෙදරට සීමා වුණා. පාසල් වැහුණා. ඒ වනවිට මම පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා. දවසක් අපේ ගෙදරට ලොකු මාළු කුරියෙක් ගෙනවා. මේ මාළුවා තැම්බුවාම මම මස් ගලවලා ඇට සැකිල්ල අරගෙන වේලුවා. අම්මයි තාත්තයි මට උදව් වුණා. මාසයක් විතර මේ ඇට සැකිල්ල වේලා ගත්තා. ඒ වුණත් මාළු පිලිගඳ තිබුණා. දවසක් අපේ ගෙදර පුසා මේ මාළු ඇටසැකිල්ල කාලා තිබුණා.
එතැනින් පසුව ඔබට නැවත ඇටසැකිල්ලක් ගැන තිබුණ උනන්දුව නැති වුණාද?
නැහැ, ඊට පස්සේ මම මැරුන කටුස්සෙකුගේ ඇට සැකිල්ලක් ගත්තා. මාළුවාගේ වගේ නොවෙයි, කටුස්සාගේ මස් තදයි. ඒ නිසා කටුස්සාගේ ඇටසැකිල්ලත් කැඩුණා. සතුන්ගේ මස් දිය කරගෙන සැකිල්ල ලබා ගන්න පාවිච්චි කරන රසායනයන් තිබෙනවා ඒවා මිල අධිකයි. ඒ නිසා රසායනයන් ගැන මට හිතන්න අපහසුයි.
විකල්ප ක්‍රම ගැන හිත යොමු කරන්න පටන් ගත්තාද?
ඔව්, මම මැරුණ සත්තු පොහොර මල්ලක දාලා වළ දානවා. ටික දවසක් යන විට මස් දිය වෙලා ඇට සැකිල්ල වෙන් කර ගන්න පුළුවන්.
පිඹුරගේ ඇටසැකිල්ලක් ඔබේ එකතුවේ තිබෙනවා නේද?
පස් ගොඩකට යට වෙලා පිඹුරෙක් මැරිලා ඉන්නවා කියලා ආරංචියක් ලැබණා හැබැයි පිඹුරාගේ ඔලුව තිබුණේ නැහැ. මම පිඹුරාගේ සිරුර ගෙනත් ඇටසැකිල්ල අර ගත්තා. ඔලුව නැති නිසා ඔලුවක් හදලා තිබ්බා.
තලගොයි ඇටසැකිල්ල
පාරක තලගොයෙක් වාහනයකට හැප්පිලා ඉන්නවා කියලා ආරංචි වුණා. මම ගියාම තලගොයා මැරිලා නැහැ. හැබැයි තැලිලා තුවාල වෙලා තිබුණා. ගෙදර අරන් ඇවිත් තුවාලයට බෙහෙත් කළත් තලගොයාගේ ඔලුව තුවාල වෙච්ච එකට පණුවො ගහලා මොළය සේරම පණුවො කාලා මැරුණා.
පණුවෝ අයින් කළත් තලගොයාගේ ජීවිතේ බේරා ගන්න බැරි වුණා. මළ සිරුර වළලා ටික දවසකින් ඇටසැකිල්ල අර ගත්තා.වවුලෙක්, බළලලෙකුගේ,තරුණ කිරි ඉබ්බාගේ ඇට සැකිලි තිබෙනවා.
ඊට අමතරව හාල් දණ්ඩාගේ බිත්තර තියෙනවා
පාරේ හිටිය හාල් දණ්ඩෙක් මම ගෙදර ගේනකොට බිත්තර අටක් තිබුණා. ඒවා පිරිමි බීජ සමග සංසේචනය නොවුණ නිසා ජීවයක් නැහැ. මේ සතුන් බිත්තර දාන්නේ පස්යට සිරුරේ උණසුමෙන් බිත්තර රකිනවා. ගෙවල් අසල මාමා කෙනෙක් මරපු නයෙක් මට ගෙනත් දුන්නා. ඒ ඇලි නයෙක් ඇටසැකිල්ල මෙතැන තියෙනවා.
ඔබ සතුන්ගේ සම අරගෙන පුළුන් පුරවලා සංරක්ෂණය කරනවා නේද?
සතුන්ගේ සම අරගෙන පුළුන් පුරවලා හදන්නත් මම යොමු වුණා. දැනට මීයෙක්, පුසෙක්, වවුලෙක්, රිලවෙක් බල්ලෙක්, සහ ගැරඬියෙක් පුළුන් පුරවලා සංරක්ෂණය කර තිබෙනවා.මේ පුලුන් පුරවපු ගැරඬියෙක් දිග අඩි අටක්.
තාරකා මාළුවාගේ හරස්කඩක් පුළුන් පුරවලා තියෙනවා
පුළුන් පුරවන්න නම් සතා මැරිලා කුණු වෙන්න කලින් සම ගලවා ගන්න ඕන. මස් කුණු වුණොත් සම වෙන් කර ගන්න අපහසුයි. හුඟක් සතුන්ගේ වලිග කොටස සමෙන් වෙන් කර ගන්න අපහසුයි. ක්ෂිරපායි සහ සර්පයන් වැනි සතුන්ගේ සම ගලවා ගන්න පහසු වුණත් නළල සහිත ඇටසැකිල්ලක් ඇති සතුන්ගේ සම ගලවා ගන්න අපහසුයි. සම ගලවාගෙන හොඳින් වියළා ගන්න ඕන අතර සමීපව මේද සහ මාංශ කොටස් තිබෙන නිසා හොඳින් වියළා ගන්න අවශ්‍යයි.
පුළුන් පුරවන විට සතාගේ ජීව හැඩරුව ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද?
මෙතැනදීත් හරිම සියුම් විදිහට සතාගේ සැබෑ ස්වරූපය ගන්න වෙහෙසෙන්න ඕන. සතාගේ මස් ටික හෝ පුළුන් පුරවා අවසාන වනතෙක් ඉවත් කරන්නේ නැහැ. මස් වලට සමානව පුළුන් පුරවා ගෙන හැඩය ගත්තත් සමහර විට නළල වැනි ප්‍රදේශ වෙනුවෙන් සතාගේ අස්ථිය යොදා ගන්න වෙනවා. වලිග කොටස් නම් බොහෝ විට කැබැලි වෙනවා.
ඔබ විසින් සකස් කරන මේ සත්ත්ව සංරක්ෂණ කල් තබා ගැනීමේදී බාධා ඇති වෙන්නේ නැතිද?
මේවා කාමරයක තිබෙන නිසා ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනයක් නැහැ. නමුත් එළිමහනක තැබුවොත් නම් පරිස්සම් කර ගැනීම අපහසුයි.
නිදර්ශක සියල්ල නිවසේ කාමරයක තිබෙන විට දුර්ගන්ධයක් දැනෙන්නේ නැතිද?
සමහර විට නහයට සමීප කළොත් නම් පිළිගඳක් දැනෙනවා.
ඔබ සත්ත්ව නිදර්ශක එකතුවක් ගොඩනගා ගෙන තිබෙනවා. මේ ගැන ඔබට උනන්දුවක් ඇති වුණේ කොහොමද?
මම මිනිස් සිරුර ගැන කියවලා අපේ ශරීර ව්‍යුහය ගැන තොරතුරු හොයන්න වැඩි කැමැතත්තක් දැක්වුවා. මට සතුන්ගේ ඉන්ද්‍රියන් ගැනත් හොයන්න හිතුණා. සතුන්ගේ ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රීයන්ගේ හැඩ රුව, ඒවායේ පිහිටීම වගේ දේවල් දැක බලා ගන්න හිතුණා. මම මේ නිදර්ශක වල සත්ත්ව අක්මාව, පෙනහල්ල වැනි අවයව නිදර්ශක විදිහට එකතු කළා.
මිනිස් සිරුරේ අවයව ගැන දැනුමක් තිබුණත් සතුන්ගේ අවයව ගැන ඔබ තීරණය කරන්නේ කොහොමද?
සතෙක් කැපුවාම අපට හිතෙනවා මෙතැන තියෙන්නේ පෙනහල්ල වෙන්නැති කියලා. ඒත් හරියටම තහවුරු කරන්න බැහැ. ඊට පස්සේ මම ඒ සත්ත්ව අවයවය ගැන වැඩි දුර විස්තර අන්තර්ජාලයෙන් සහ පොත් පත් වලින් සොයා ගන්නවා.
ඔබේ සත්ත්ව නිදර්ශක ගැන දැන ගන්න පුළුවන්ද?
නිදර්ශක වෙනුවෙන් විශේෂ බෝතල් තිබෙනවා. නමුත් මට ඒ පහසුකම් නැහැ. නිදර්ශක එකතුවේ තිබෙන බෝතල් අංකනය කර තිබෙනවා.
ඇහැටුල්ලාගේ හදවත, පෙනහැල්ල සහ සෙ.මි 20 ක් දිගැති අක්මාව
කුඩා මුකලන් තෙලිස්සා
තෙලියා
තෙල් කරවලා
දිය නයි පැටියෙක්
උල් තුඩුල්ලා
තලගොයා
අහුරු කුක්කා
ඔබේ ගමන්මගට ශක්තියක් වුණ අය
මම මේ ගමන යන්නේ අඩු පහසුකම් සමග වුණත් මගේ ගමනට හැකි උපරිම විදිහට සහයෝගය ලබා දෙන මගේ අම්ම තාත්තා වගේම අපේ පාසලේ ජීව විද්‍යා ගුරුතුමිය ඉරේෂා සෙනවිරත්න මහත්මිය මට විශාල ශක්තියක් වුණා. ඇය මට ජංගම දුරකථනයක් පවා ලබා දුන්නා.
ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ කනිෂ්ක සර් සම්බන්ධ කර දුන්නේත් අපේ පාසලේ ඉරේෂා ගුරතුමියයි. කනිෂ්ක සර් මට රජරට විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් ලබා දුන්නා. මම ඒ සර්ව මුණගැහිලා සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ව නිදර්ශක පවා දැක බලා ගන්නට අවසරය ලබා දුන්නා.
මට ලංකාවේ සර්පයන් ගැන පොතක් ලැබුණා
මට අපේ අසල්වැසි සීයා කෙනෙක් මෑතකදී “ශ්‍රි ලංකාවේ සර්පයෝ ” ගැන ලියැවුණ පොතක් දුන්නා. ඒ පොත ඕස්ට්‍රේලියාවේ ප්‍රකාශයට පත් වෙන පොතක්. ඒ පොතේ දැනට හඳුනා ගෙන නැති සර්පයන් ගැන විස්තර තිබෙනවා.
අලුත් සර්පයන් ගැනත් විස්තර තිබෙනවා. මම බොහෝ තොරතුරු ලබාගන්නේ මේ පොතෙන්. දියර වෙනුවෙට මද්‍යසාර, පෝමලින් සහ සැනිටයිසර් යොදා ගන්න ඕන. නමුත් වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට පෝමලින් භාවිත කරන්න අවසර නැති නිසා මම මද්‍යසාර සහ සැනටයිසර් පමණක් යොදා ගන්නවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා
Thalagoyage atasakilla ganna wala dala dawas kiyak giyada