බොන්සායි නිර්මාණයක් කිරීමෙන් අනතුරුව එය නිසි කලට පොහොර යොදා නිසි කලට අතු කප්පාදුව සිදුකර එය ඉතා හොඳින් රැකබලා ගත යුතුය. දෙමාපියන් තම දරුවන් රැකබලාගන්නා ආකාරයෙන් නිසි අවධානයට ලක්විය යුතුය. මේ සියලු ශාකයන් මිනිස් අපට සමානකම් කියයි. ආහාර, ජලය, වාතය වාගේම ආදරයද මේ බොන්සායි ශාකයන්ට අත්‍යවශ්‍ය වේ.
විශේෂයෙන්ම බොන්සායි ශාකයක් සඳහා එක් අයකු විසින්ම පමණක් නඩත්තු කටයුතු සියල්ල සිදුකරනු ලබයි. මන්ද එසේ නොවුණහොත් අවශ්‍ය නඩත්තු කටයුතු පරස්පර වන නිසාවෙනි. තවද මේ මඟින් අදාළ ක්‍රමයට පැළය සුදුසු පරිදි හැඩගස්වා ගතහැකි අතර බොන්සායි ශාක වවන්නාගේ ද පළපුරුද්ද තියුණු වේ. ඒ වාගේම බොන්සායි ශාකයක් සහ එය නිර්මාණය කරන්නා අතර අපරිමිත බැඳීමක් පවත්වා ගැනීමද ඉතාමත් වැදගත් වේ.
බොහෝ නිර්මාණ ශිල්පීන් ශාකයක වැඩ අවසන් වූ පසු සහ නිර්මාණයන් පුහුණු මට්ටමේ පවතින කාල පරාසය තුළදී එය පිළිබඳ වැඩි අවධානයක් නොදක්වයි. එලෙස අවධානයෙන් නොසිටීම නිසා අසාර්ථක වූ නිර්මාණයන් බොහෝය. මෙහි මුල්ම පියවර වන්නේ පැළය තබන ස්ථානයයි. මේ සඳහා අව්ව, වැස්ස, පින්න හා වාතාශ්‍රය මනා ලෙස ලැබෙන ස්ථානයක් තෝරා ගත යුතුය.
එසේ නම් එළිමහන එයට කදිම වාසස්ථානය වේ. නිවෙස් ඇතුළත හෝ කාර්යාලයන් ඇතුළත අලංකාරත්වය සඳහා මෙය යොදාගන්නා අතර එය සිදුකළ හැක්කේ දින 2 ක් හෝ දින 3 ක් පමණ .ඊටත් වඩා වැඩි කාලයක් එලෙසින්ම හිරු එළිය නොවැටෙන ආකාරයට තැබුවහොත් බොහෝවිට ශාකයේ අඩක් හෝ ශාකය මුළුමනින්ම විනාශ වී යාමට ඉඩ ඇත. බොන්සායි ශාකයකට අවශ්‍ය මේ සියලු කරුණුවලින් ජලය ප්‍රධාන වන අතර හිරු එළිය, වාතාශ්‍රය, පොහොර (ආහාර) වැදගත්ම අංගයන් වේ. ජලය යෙදීම පිළිබඳව ඉතා විශාල අවධානයක් යොමු කළ යුතුය. ඒ පිළිබඳව නොසැලකිලිමත් වුවහොත් ශාකය මියයාමට ඇති ඉඩකඩ වැඩියි.
දිනපතා පරීක්ෂා කර වියළි නම් අනිවාර්යෙන් ජලය යෙදීම සිදුකළ යුතු වේ. තරමක තෙතමනයක් තිබුණහොත් එවිටද ගසට ඉහළින් (ගස පමණක් තෙමෙන පරිදි) ජලය ඉසීම සුදුසු අතර බඳුන කුඩා නිසාවෙන් ජලය යෙදීම අනිවාර්ය කොට සලකයි. බොහෝ විට ජලය යොදන්නේ උදෑසන හෝ සවස් කාලයේදීය.
දිවා කාලයේ ජලය යෙදීමෙන් ශාක පත්‍ර පිළිස්සීම් වැනි අනතුරු සිදුවිය හැක. තවද ජලය හිඟවීම නිසා මැලවී ඇති ගසකට ජලය විශාල වශයෙන් එකවර නොදමයි. මේ සඳහා ඉතාමත් සුදුසු වන්නේ වැසි ජලයයි. ජලය ඉසීම සඳහා සිහින් සිදුරු සහිත නලයක් හෝ කෑන් එකක් භාවිත කිරීම ඉතාමත් සුදුසු වේ. පස මෙන්ම පත්‍ර ද හොඳින් තෙමිය යුතුය. බඳුනෙහි යට පැත්තෙන් ජලය කාන්දු වන තුරුම ජලය යෙදීම සිදුකළ යුතු බැවින් ජලය ඉතා අඩුවෙන් යෙදීමද වැඩි වශයෙන් යෙදීමද ශාකයට අහිතකර වේ.
ඒ වාගේම ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියෙන් තමන්ට අවශ්‍ය ආහාර නිපදවා ගැනීම සඳහා ශාකයන් හට හිරු එළිය අත්‍යවශ්‍ය වේ. නිරෝගීමත් ශාකයක් ලබා ගැනීමට නම් එය තබන ස්ථානයේ තඳ හිරු එළියක් තිබිය යුතුය. ශාකයේ සෑම දිශාවකටම එක සේ හිරු එළිය ලැබෙන පරිදි අවශ්‍ය නම් වරින් වර ශාකය හැරවිය හැකි අතර එවිට ශාක පත්‍ර සමසේ වැඩීම සිදුවේ. එමෙන්ම පත්‍ර කුඩා කර ගැනීමට අවශ්‍ය නම් ඒ කාර්යය ද ශාකය තද හිරු එළියට නිරාවරණය කිරීම තුළින් සිදුකරගත හැකිය.
කිසි විටකදී බොන්සායි ශාකයක් වායුසමීකරණය කළ ස්ථානයක් තුළ නොතැබිය යුතුය. ඇතුළතක තැබීමට අවශ්‍යමනම් පමණක් ජනේලයක් ආසන්නයෙන් හෝ හිරු එළිය මද ප්‍රමාණයකින්වත් ලැබෙන පරිදි එය ස්ථානගත කිරීම සිදුකළ යුතු වේ.
වාතය පිළිබඳ කතා කළහොත් තම ආහාර නිෂ්පාදනයට අවශ්‍ය කාබන්ඩයොක්සයිඩ් ලබාගැනීමට මෙන්ම මුල් හා පත්‍රවල ස්වසනයට ද වාතය ඉතාමත්ම වැදගත් වේ. මෙහිදී පසෙහි වාතය රැඳී නැත්නම් පස ජලයෙන් උපරිම තෙතමනයට ලක් වී මුල් කුණුවීම නිසාවෙන් ශාකය මැරීමට ඇති ඉඩකඩ බොහෝය.
ශාකයකට අවශ්‍ය ආහාර යනු පොහොරයි. ගසට අවශ්‍ය ආහාර (පොහොර) නොදී ගසේ වර්ධනය බාලකොට ගසෙහි කුරු බව ඇති කරගන්නා බවට වැරදි මත පවතී. එහි ඇති කුඩා බව ඇති කරගන්නේ අතු සහ මුල් කප්පාදුව මඟින් පමණක්මයි.
බොන්සායි බඳුනක් තුළ පස් කුඩා ප්‍රමාණයක් අන්තර්ගත වන නිසාවෙන් ඒ සඳහා පොහොර යෙදීම අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සහ අවශ්‍ය කාලයන්ට උචිත පරිදි සිදුකළ යුතු වේ. බොහෝ විට පොහොර ප්‍රමාණය ශාකයේ ප්‍රමාණය මත තීරණය වේ.
බොන්සායි ශාකයකට සම්මත පරිදි පොහොර යොදනු ලබන්නේ ශාකයේ කඳට අඟල් 2 ක් පමණ දුරකිනි. නයිට්‍රජන්, පොස්පරස්, පොටැසියම් අඩංගු පොහොර වර්ගයක් මේ සඳහා බහුලව යොදා ගනියි. මෙහි දී නයිට්‍රජන් මඟින් කෙරෙන්නේ ශාකයෙහි පත්‍ර වර්ධනයට උපකාරී වීමයි. ඒ වාගේම පොස්පරස් ද මූල පද්ධතියේ වර්ධනය සඳහා බෙහෙවින් උපකාරී වේ.
ශාකයෙහි ඇතිවන ලෙඩරෝග සඳහා පොටෑසියම් වැදගත් වනවා වගේම පොස්පරස් හා පොටෑසියම් පොදුවේ මල් හා ගෙඩි හටගැනීමට උපකාරී වේ. පොහොර යොදන සෑම අවස්ථාවකදීම ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර පොහොර වැඩි වුවහොත් ශාකය හට ඉතා ඉක්මනින් අනිසි ප්‍රතිඵල ගෙනදෙයි.බොන්සායි ශාකයක් රෝගී වූ විටදී එයට ප්‍රතිකාර කිරීමට සිදු වේ.
රෝගී වූ බොන්සායි පැළයක් ඉතා ඉක්මනින් රෝගී ලක්ෂණ පෙන්වයි. පත්‍රවල පැහැය වෙනස් වීම, ශාකයේ පිරිපුන් බව අඩුවී නිසරුභාවය පෙන්වීම, අතු රිකිලි මැරීයාම මෙහි ප්‍රධානතම ලක්ෂණයි. ජලය අඩුවීම නිසා පත්‍ර ඉතා ඉක්මණින් මැලවීම සිදු වේ. එවිට එකවරම ජලය නොයොදා පැළයට සෙවණ සැලසීම අනිවාර්යෙන්ම කළ යුතුය. පැළය කිනම් අවස්ථාවක දී හෝ රෝගී ලක්ෂණ පෙන්නුම් කරයි
නම් පොහොර යෙදීම සහ සෙවණක් තුළ තැබීම නොකළ යුතුය. එවිට කළ යුත්තේ පැළය ගලවා පස සෙමින් ඉවත්කර නැවත එයට වඩා මදක් විශාල බඳුනක සිටුවා සෙවණ සැලසීමයි. මෙලෙස දුර්වල වූ ශාකයක් නැවත සිටුවීමේදී වැලි මිශ්‍රණය වැඩි පස් මාධ්‍යයක සිටුවීම වඩාත්ම සුදුසු වේ.
මෙය වළක්වා ගැනීමට නම් නිරන්තරයෙන් බඳුනෙහි සිදුරු ආදිය ද පරීක්ෂා කළ යුතුය. මෙලෙස මනා ලෙස ඔබ සකසා ගන්නා බොන්සායි නිර්මාණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම තුළින් ශාකය රෝගී බවින් මිදී ඉතා සාර්ථක ලෙස වර්ධනය වීම සිදු වේ.
( බොන්සායි වගාකිරීම තුළින් ඇතිවන වාසි සහ එය ව්‍යාපාරයක් ලෙස වර්ධනය කරන්නේ කෙසේද යන්න ඉදිරි ලිපිය තුළින් දැනුවත් කරනු කෙරේ )
තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල්
තිලකරත්න
එරංදි කෞශල්‍යා