පුද්ගලයො විදිහට අපි හැමෝම කැමතියි ජයග්‍රහණවලට. කවුරුත් කැමති නෑ පරාජයන්ට මුහුණ දෙන්න. ඒක වැඩිහිටියන්ට වගේම ළමයින්ටත් පොදුයි. අපේ දෙමාපියෝ කරන බරපතල වැරැද්දක් තමයි දරුවන්ව ජයග්‍රහණය කළ හැකි දේවල්වලට පමණක් යොමු කිරීම. උදාහරණයක් විදිහට දරුවෙක් අධ්‍යාපනික මට්ටමින් ඉහළින් ඉන්නවනම් දෙමාපියෝ කැමති නෑ ඒ දරුවව ක්‍රීඩාවකට හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට යොමු කරවන්න. ක්‍රීඩාවකින් වෙන්නෙ දරුවව මානසිකව සවිබල ගන්වන එක.
ක්‍රීඩාවකින් පුළුවන් ජය පරාජය දෙකම සම සිතින් දරාගන්න දරුවට පුරුදු කරවන්න. පුංචි කාලෙ ඉඳන් දරුවා අධ්‍යාපනය පැත්තෙන් විතරක් ඉදිරියටම ගිහින් ලියන ලියන හැම විභාගයම සමත් වෙලා කොහොමහරි තමන්ගෙ ස්ථානය රැකගන්න පුදුම විදිහට මහන්සි වෙනවා. පුංචි කාලෙ ඉඳලම කිසිම තැනක පරාජයක අත්දැකීමක් නෑ. පවතින තත්ත්වයට අනුගතවීමේ හැකියාවක් ඇතිකරගන්න දෙමව්පියො ඉඩ දෙන්නෙ නෑ.
මේකෙ නරක ප්‍රතිඵලය තමයි කිසියම් වෙලාවකදි සුළු හෝ පරාජයක් අත්වින්දම ඒක දරාගන්න බැරි වෙනවා. දරාගන්න බැරි වීමත් එක්ක දරුවන්ගේ ප්‍රතිචාරය සමහරවිට අතිශයින් භයානක වෙන්න පුළුවන්. මේ දේවල්වලට මූලිකම හේතුව දෙමව්පියන් තමන්ගෙ දරුවන්ගෙ කුසලතා හරිහැටි හඳුනා නොගැනීම. අපි සමාජගත කරන්න ඕනෙ සමබර පෞරුෂයක් සහිත දරුවෙක්.
ඒ කියන්නෙ දැනුම, ආකල්ප සහ කුසලතාවලින් පිරිපුන් දරුවෙක්. ඒ සමාජ ජීවියා ඇතුළෙ තියෙන්න ඕනෙ මෘදු කුසලතා. මෘදු කුසලතා කියන්නෙ කෙනෙක් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව, අන් අයගේ මත ඉවසීමේ හැකියාව, ආචාරශීලී විදිහට තමන්ගෙ මතය තහවුරු කිරීමේ හැකියාව, කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ හැකියාව, අනිකා වෙනුවෙන් ඇතිවන සහකම්පනය.
අපි පුංචි කාලෙ ඉඳන් දරුවන්ට දෙන උපදෙස තමයි “ඔයා ඔයාගෙ වැඩ ටික කරගෙන යන්න. වෙන අය දිහා බලන්න උවමනාවක් නෑ. ඔයා හැදුණොත් ඔයාට තමයි ඒකෙ වාසිය තියෙන්නෙ. ඒක නිසා අනිත් අය ගැන හිතන්නෙ නැතිව තමන්ගෙ වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න.
” මේක තමයි බහුතරයක් දෙමව්පියෝ තමන්ගෙ දරුවන්ට දෙන පොදු උපදේශය. හැබැයි ඔය උපදෙස් එක්ක හැදෙන දරුවා රැකියාවක් කරන කාලෙක ඔය කියන විදිහට ජීවත් වෙන්න බැරි වෙනවා. මොකද බොහෝ ආයතනවල තියෙන්නෙ ටීම් වර්ක්ස්. එතකොට ඒ දරුවා අසරණ වෙනවා.
ඉහළ උපාධි, විෂය සාධන තිබුණත් ළමයට මිනිස්සු එක්ක එකමුතුව වැඩ කිරීමේ හැකියාව නෑ. ඊටපස්සෙ වෙන්නෙ කොන් වෙන්න සිද්ධ වෙන එක. ඒකෙ අවසන් ප්‍රතිඵලය සෝෂල් ෆෝබියා (සමාජ භීතිකාව) වෙන්න පුළුවන්. මෙහෙම අසමබර විදිහට එක පැත්තක් පමණක් සංවර්ධනය වුණ දරුවෙක් සමාජගත වුණොත් මානසික ලෙඩෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අම්මලගෙ වගකීම තමයි අධ්‍යාපනය ලබාදෙනවා වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පුංචි කාලෙ ඉඳන්ම දරුවව පොළඹවන එක.
මේකෙදි දෙමාපියන්ගෙන් එල්ල වෙන චෝදනාවක් තමයි කොහොමද දරුවෙක්ව සමාජයට මුදාහරින්නෙ? සමාජය විෂමයි. දරුවන්ව විවිධ දේවල්වලට පොළඹවගන්න මිනිස්සු ඉන්නවා වගේ දේවල්. නමුත් මම දැකපු දෙයක් තමයි පාසල් කාලය තුළ උපරිමයෙන් රැකපු ළමයි තමයි කවදහරි දවසක නිදහස ලැබුණු ගමන් ඔවුන්ගේ ජීවිත අසාර්ථක කරගන්නෙ. මොකද මිනිස්සුන්ව ආශ්‍රය කරලා අඳුරගෙන නෑ.
ඊටපස්සෙ පළමුවෙන්ම තමන් අඳුරගත්ත කෙනාව දැඩි ලෙස විශ්වාස කරනවා. ඒකෙන් වෙන්නේ ඕනම දේකටම ඒ ළමයව අර පුද්ගලයට නම්මගන්න පුළුවන් වෙන එක. නමුත් පුංචි කාලෙ ඉඳන් ක්‍රීඩාවක, සමිති සමාගමක නිරත වුණ, ගමේ පන්සලේ වැඩවලට දායක වුණ දරුවෙක්ට සමාජය තේරුම්ගන්න පුළුවන්. ඒ කුසලතාව කවදාවත් පොතෙන්වත් විභාග පාස් වෙලාවත් ගන්න බෑ.
අධ්‍යාපනයෙන් අපි බිහි කරන්න ඕනෙ අතීතයේ, වර්තමානයේ කිසිදිනෙක මුහුණ නොදුන් තත්ත්වයන්ට සහ අභියෝගයන්ට අනාගතයේදී මුහුණ දිය හැකි පුද්ගලයෙක්. අපි හිතමු යම්කිසි ගුරුවරයෙක් උත්සාහ කරනවා දරුවෙකුගේ සමාජ කුසලතා දියුණු කරන්න. සමබර පෞරුෂයක් සහිත පුද්ගලයෙක් විදිහට සමාජගත කරන්න. හැබැයි අපේ රටේ ඊට ඉහළින් ඉන්න බලධාරීන් විසින් සැලසුම් කරලා තියෙන විෂය මාලාව සහ විභාග ක්‍රමය තමයි ඒකට ලොකුම බාධාව වෙලා තියෙන්නෙ.
මට පෞද්ගලිකව බොහෝ ගුරුවරියන් කියන කාරණාවක් තමයි අපිට යහපත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහිකරන්න තියෙන ලොකුම බාධකය පාසල් විෂය මාලාව සහ විභාග ක්‍රමය කියලා. දරුවෙක්ට බරපතල විභාග ක්‍රමයක් දීලා, දරාගන්න බැරි විෂය මාලාවක් සැලසුම් කරලා අනිත් පැත්තෙන් අපි ගුරුවරුන්ට කියනවා සමබර පෞරුෂයක් තියෙන දරුවෙක් හදන්න කියලා.
මේක අතිශය බරපතල ගැටුමක් ඇතිවන තැනක්. දරුවට විභාග පීඩනය එක පැත්තකින් එනවා. අනිත් පැත්තෙන් සමාජ පීඩනය එනවා. එතකොට පන්ති කාමරයෙදි යම් යම් කෙනෙහෙලිකම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙන්නෙත් වැඩිහිටියන්ගේ
වරදින්. මොකද වැඩිහිටියො විදිහට කවදාවත් ළමයින්ට සාමූහික ඉගෙනුම පුරුදු කරල නෑ. අනිත් අයව යට කරගෙන ගිහින් ජයග්‍රහණය ලබන්න තමයි දරුවට කියලා දීලා තියෙන්නෙ. අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම තමයි පාසල් පද්ධතිය තුළ තියෙන යථාර්ථය වෙනස් කරන එක.
එහෙම නැතුව ළමයින්ට දොස් කියල වැඩක් නෑ ළමයි ආත්මාර්තකාමියි කියලා. ඇයි අපි පන්තියේ එකිනෙකා අතර තරගයක් ඇති කරන්නෙ, ඇයි තවත් කෙනෙක් එක්ක දරුවව සන්සන්දනය කරන්නේ?
මෙන්න මේ ගැටලුවට විසඳුම් හොයන්නෙ නැතුව අපිට ඔය ආත්මාර්තකාමී ළමයා බිහිවෙන එක වළක්වන්න බෑ. දරුවන්ට අධ්‍යාපනිකව ඇතිවන පීඩනයට වගකියන්න ඕනෙ දරුවවත්, දෙමාපියන්වත්, ගුරුවරුන්වත් නෙවෙයි.
ඊට උඩින් තියෙන අධ්‍යාපනික ක්‍රමය. නමුත් අපිට ඒ දේ වෙනස් කරන්න බැරි නිසා දරුවව තව තවත් පීඩාවට පත්නොකර බාහිර ක්‍රියාකාරකමක් ඔස්සේ හෝ දරුවාගේ පීඩනය ලිහිල් කිරීමයි වැදගත්.
අංශාධිපති
චින්තක චන්ද්‍රකුමාර
අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයන අංශය,
අධ්‍යාපන පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය
එරංදි කෞශල්‍යා