වයසට යනකොට අම්මයි, තාත්තයි හරියට පුංචි බබාල වගේ….
පුංචි ළමයි කියන්නෙ හැමතිස්සෙම ආදරේ හොයන අය. අම්මා, තාත්තා කියන්නෙ ආදරේ අසීමිතව ලෝකෙට දීපු අය. දෙමව්පියෝ දරුවන්ට ආදරේ කරන විදිහෙන් තමයි දරුවො ලෝකෙ දකින්නෙ. ඒ වගේම තමයි දෙමාපියන්ට අපි දක්වන ආදරෙන් තමයි එයාලා අපිට දුන්න ආදරේ වෙනුවෙන් අපි කෘතඥ වෙන්නෙ.
පොඩි ළමයි ගැන කතා කළොත් අපි හැමතිස්සෙම කියන්නෙ එයාලට කාලය දෙන්න කියල. එයාලා එක්ක වාඩි වෙලා කතන්දර කියන්න කියලා. මොකද දරුවෙක් මානසිකව වර්ධනය වෙන්නනම් ඔවුන්ට කාලය අවශ්‍යයි. පළමු අවුරුදු පහේ තමයි ඔවුන්ගේ මනස වර්ධනය වෙන්නෙ. ඒ අවුරුදු පහේදි අපි දරුවගෙ ඔළුවට ඇතුළු කරන දේවල් තමයි දරුවා ජීවිත කාලෙම අරගෙන යන්නෙ.
ඒ වගේම අනිත් පැත්තට අපි කියන්නෙ වැඩිහිටියන්ටත් කාලය දෙන්න කියල. එයාල එක්ක වාඩි වෙලා මොනවහරි දෙයක් ගැන කතා කරන්න කියලා. සමහර වෙලාවට අපි දැකල තියෙනවා අපි වැඩිහිටියෙක් ගාවට ගියාම එයාලා හරි ආසාවෙන් අපේ අත් අල්ලන් කතා කරනවා. එයාලා ගාව වාඩි කරගන්නවා.
එයාලා කටින් නොකිව්වට වෙලාව ඉල්ලනවා අපෙන් එයාලගෙ පරණ දේවල් අපි එක්ක කියන්න. අපිට ඒ දේවල් තේරෙන්නෙ නෑ මොකද අපි තාම ඒ අවධියට ඇවිත් නැති නිසා. නමුත් අපෙන් එයාල ලබන අගය කිරීම් තමයි එයාලගේ ජීවිතේ සන්තෝසය බවට පත්වෙන්නෙ.
දැන් වගකීමක් අරගෙන වැඩ කරගන්න අපහසු වුණත් තමන් මේ ලෝකෙට වැඩදායී පුද්ගලයො වෙලා හිටියට ස්තූතිය අපි එයාලට දෙන්න ඕනෙ. එයාලගේ මානසික, ශාරීරික සුවය හැදිලා තියෙන්නේ ඒක මත. අපි කොච්චර කියල දුන්නත් පුංචි ළමයිනුත් එකම දේ අපෙන් කීපසැරයක් අහනවනෙ. නමුත් අම්මා, තාත්තා ඒ දරුවා එක්ක කවදාවත් තරහා ගන්නෙ නෑ එකම දේ අහනවා කියලා. ඒ දරුවගෙසතුට සහ දැනීම වෙනුවෙන්. වයසට යනකොට වැඩිහිටියොත් එහෙමයි. එකම දේ නැවත නැවත අහනවා. මොකද වයසට යද්දි ඔවුන්ගේ ධාරණ ශක්තිය හීන වෙනවා.
මම මේකට උදාහරණයක් කියන්නම්. මගේ නැන්දම්මට ඇගේ ජීවිතේ අවසාන මාස කිහිපයෙදි දැඩි ලෙස දේවල් අමතක වෙන්න ගත්තා. ඇයට තිබුණ ප්රශ්නය තමයි මමයි ඇයගේ පුතයි විවාහ වෙලාද කියන එක. මට හැමතිස්සෙම කියන්න ගත්තා ඔහොම ඉන්න එපා කසාද බඳින්න කියලා.
ඒ වෙනකොට අපි විවාහ වෙලා වසර 23 කුත් ගෙවිලා. නමුත් අපි විවාහ වෙලා කියල ඇය පිළිගත්තෙම නෑ. පස්සෙ අපි විවාහ වෙලා කියල ඇයට කිව්වම ඇය අඳුරන අයගෙන් කතා කරල අහන්න ගත්තා මගේ පුතා බැඳලලු නේද කියලා. අපි ඒ වෙලාවෙදි කළේ අපේ වෙඩින් ඇල්බම්ස් අම්මට පෙන්නලා අපිට ලස්සන වෙඩින් එකක් අම්මා කරලා දුන්නා කියලා කීපසැරයක්ම ඒත්තු ගන්වපු එක. මේ නිසා තමයි දරුවන්ට වගේම දෙමව්පියන්ටත් අසීමිතව ආදරය අවශ්‍යයි කියන්නෙ.
දෙමාපියන් හැටියට හැමතිස්සෙම දරුවො එක්ක හිටගන්න ඕනෙ වගේම දරුවො හැටියට හැමතිස්සෙම දෙමව්පියන් එක්ක හිටගන්න ඕනෙ. අපි හිතමුකො වයසට ගියාම අම්මා, තාත්තා එකම දේ අහනවා කියලා. පුංචි දරුවෙක්වනම් එහෙම අවස්ථාවකදි පොත පතට යොමු කරවන්න පුළුවන්.
නැත්නම් ළමා චිත්‍රපටියක් පෙන්නන්න පුළුවන්. ඉතින් වැඩිහිටියන්ටත් ඒ වගේ කාලයක් දෙන්න. වයසට ගිය අම්මා තාත්තා සැරින් සැරේ එකම දේ අහනවනම් ඒක කරදරයක් හැටියට ගන්න එපා.
ඒ වගේම රැකියාවක් කරන දරුවෙක්නම් නිතරම අම්මා, තාත්තා ගාව රැfඳන්න බැරි වෙන්න පුළුවන්. තමන් දෙමව්පියන් ගාවට එනකල් එයාව බලාගන්න කෙනෙක් යොදවල තියෙනවනම් එයාට කියන්න අම්මා, තාත්තා අහන දේවල්වලට උත්තර දෙන්න කියලා. එයාගෙ මතකයට අදාළ දේවල් එයා ළඟින් තියන්න කියන්න. දරුවන්ට පුළුවන් උදේට යද්දි දෙමව්පියන්ට කියල යන්න “අම්මෙ අපි හවසට ඇවිත් කතා කරමු” කියලා.
හැමෝම එකම විදිහට නෙවෙයි මහළු විය ගත කරන්නෙ. ඒ අම්මා තාත්තා, ගුරු වෘත්තියේ, විධායක ශ්‍රේණියේ, ආරක්ෂක අංශයේ රැකියාවක් කරපු කෙනෙක් හෝ දරුවන්ව බලාගෙන ගෙදරට වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් එක්ක හුරු වුණ චර්යාවත් එක්ක තමයි මහළු විය ගෙවන්නෙත්.
ඒ අනුව සංගීතයෙන්, කියවීමෙන්, භාවනාවකින් හෝ ටීවී එකකින් එයාලව සතුටින් තියන්න පුළුවන්. ඊට අමතරව වැඩිහිටියන් සඳහාම වෙන්වූ තෙරපි තියෙනවා සතුටින් තියන්න වගේම මතකය රඳවාගන්නත්. අධ්‍යාත්මික සුවය වෙනුවෙන් ඉඩ ලබාදීමත් වැදගත්. සමහර අය නිවෙන්නෙ වගේම සතුටු වෙන්නෙත් එතනින් විතරයි. තමන්ගෙ අම්මා, තාත්තා නිවෙන තැන තමන් දැනගත යුතුයි. එහෙම නොවුණොත් ඔවුන්ගේ අවසාන කාලයේ ඉතුරු වෙන්නෙත් පීඩනයක් විතරයි.
මනෝ චිකිත්සක
මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ
එරංදි කෞශල්‍යා