පණුවන් යනුවෙන් අප ව්‍යවහාර කරන්නේ බඩවැල් ඇතුළත ජීවත්වන පරපෝෂිත විශේෂයක්. ශ්‍රී ලංකාව තුළ පණු රෝග ඇතිකරන පණුවන් වර්ග කීපයක්ම සිටිනවා.
වට පණුවා : ( Round worm)
කොකු පණුවා ( Hook worm )
කිරි පණුවා ( Cpin worm )
කස පණුවා ( whip worm)
මෙම පණුවන් බඩවැල් තුළ බිත්තර දැමීම සිදුකරනවා. එම බිත්තර මළපහ සමග පරිසරයට එකතු වනවා. එසේ එකතු වන බිත්තර ජලයට එකතු වනවා. මේවා වැරදි ආහාර හා සෞඛ්‍ය පුරුදු නිසා දරුවන්ගේ මුඛය හරහා සිරුරට ඇතුළුවීම මගින් ඔවුන්ට පණු අමාරු වැළඳෙනවා.
පණු රෝගවලින් ආරක්ෂා වීමට අපට ලැබෙන ප්‍රධාන උපදෙස වන්නේ වැසිකිළි යෑමෙන් පසුව හොඳින් අත් සෝදන්න යන්නයි. සැබැවින්ම වැසිකිලි යෑමෙන් පසුව අත් සේදීමෙන් අපට පණු රෝග වළක්වා ගත හැකිද?
සමහර අවස්ථාවලදී දරුවන්ගේ අත්වල මළපහ තැවරී ඒවා මුඛය ඔස්සේ ආහාර සමග ශරීරයට එකතු වනවා. ඒ වගේම වැසිකිළි යෑමෙන් පසුව අත් හොඳින් සෝදා නොගත් විට ද පණු බිත්තර ශරීරගත වෙන්න ඉඩ තියෙනවා.
එතැනින් අවසාන වන්නෙ නැහැ. මේ පණු බිත්තර එළිමහන් ස්ථානවල තිබී ජලයට එකතු වීමට පුළුවන්. එවිට පානය කරන ජලය මගින් පවා පණු බිත්තර ශරීරයට ඇතුළු වනවා.ඒ වගේම මේ විදිහට එළිමහනේ තිබෙන පණු බිත්තර අපි ආහාරයට ගන්නා අමු එළවළු, පලා වර්ගවලින් වගේම පලතුරුවලින් වුණත් අපේ ශරීරයට එකතු වෙන්න පුළුවන්.
පණු රෝගවලින් ආරක්ෂා වීමට පාවහන් පැළඳිය යුතුද?
කොකු පණුවා බඩවැල්වල සිටියදී බිත්තර දාන අතරම බොහෝ විට වතු සහ වෙරළ ආශ්‍රිතව ජීවත්වන දරුවන් එළිමහනේ මළපහ කරනවා. කොකු පණු බිත්තර අවට පරිසරයේදී පුපුරනවා. ඒ නිසා එළිමහනට එන කුඩා කීට පණුවන්ට මිනිස් සම විදගෙන ඇතුළට යන්න පුළුවන්. වෛද්‍යවරුන් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට පාවහන් නොමැතිව ඇවිදින්න එපා යැයි උපදෙස් ලබා දෙන්නෙත් ඒ නිසයි. පරිසරය තුළ තිබෙන කොකු පණු කීටයන් සම විදගෙන ශරීර අභ්‍යන්තරයට ගොස් පසුව බඩවැල් දක්වා යෑම සිදුවනවා.
දරුවෙකුට කොකු පණු ( Hook worm ) රෝගය ඇති බව දැනගන්නෙ කොහොමද?
අපේ ශරීරයේ තිබෙන ලෙඩ රෝග බොහෝ විට බාහිර ශරීර ලක්ෂණවලින් පෙන්නුම් කරනවා. කොකු පණු රෝගය වැළඳුණ දරුවකුගේ මෙවැනි ලක්ෂණ දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි වචනයට කියනවා වගේ කොකු පණුවා මුදුවක ස්වරූපය ගන්නවා. මොවුන් බඩවැල්වල එල්ලී රුධිරය උරා බොනවා.
කොකු පණු ගහණය වැඩි වුණාම ඔවුන් උරා බොන රුධිරය ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා දරුවන් රක්තහීනතාවට ගොදුරු වනවා. රක්තහීනතාව ඇති දරුවන් සුදුමැලි වීම, මළානික වීම වැනි බාහිර රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
වට පණු රෝගයේදී බොහෝ විට දරුවන් උදරයේ වේදනාව ගැන සඳහන් කරනවා. ඒ වගේම ආහාර අරුචිය ඇතිවනවා.කිරි පණු රෝග තත්ත්වයේදී ගුද මාර්ගයේ කැසීම ප්‍රධානම ලක්ෂණයක් වනවා. කිරි පණුවන් බිත්තර දාන්නේ ගුද මාර්ගයෙන් පිටතට ඇවිත්. ඒ නිසා මේ පණුවන් බිත්තර දාන ප්‍රදේශය ආශ්‍රිතව කසන්න ගන්නවා. මේ බිත්තර දරුවාගේ ඇඟිලිවල තැවරී ශරීරගත වුණාම කිරි පණුවන්ගේ බෝ වීම තවත් වැඩි වී ගුද මාර්ගයේ කැසීම ඉතාම පීඩාකාරී විදිහට සිදුවනවා.
බොහෝ විට රාත්‍රි කාලයේදී දරුවන්ගෙ ගුද මාර්ගය ආශ්‍රිතව මෙම පණුවන් කැරලි වශයෙන් දකින්න පුළුවන්.අපේ අම්මලා එවැනි අවස්ථාවන්හිදී ගුද මාර්ගයේ විවිධ දේවල් ආලේප කරනවා. නමුත් පණුවන් එන්නේ බඩවැල් ඔස්සේ නිසා පිටින් යම් යම් දේ ආලේප කිරීම රෝගයට විසඳුමක් නොවෙයි.
පණු රෝගයක් ඇති බැව් හඳුනාගන්නේ කොහොමද?
වෛද්‍යවරයෙක් වෙත පැමිණෙන මව්පියන් දරුවාගේ රෝග ලක්ෂණ ගැන සඳහන් කරන විට පණු රෝග ගැන හඳුනාගැනීමට පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් රාත්‍රි කාලයේදී දරුවා ගුද මාර්ගය කසනවා නම් සුවදායක නින්දක් නොමැතිව අපහසුවෙන් දඟලනවා නම් කිරි පණු රෝග තත්ත්වයක් බවට තහවුරු කරන්න පුළුවන්.ඊට අමතරව අවශ්‍ය වුණොත් අසූචි පරීක්ෂාවක් (Stool Full Report – SFR) කරනවා.
දරුවා පණු රෝගයකින් පසුවන බව හඳුනා ගත්විට ලබාදෙන ප්‍රතිකාර මොනවාද?
අපි පණු රෝගයට ප්‍රතිකාර කිරීමේදී පණු රෝගවලින් දරුවා ආරක්ෂා කරගැනීමට මව්පියන්ට උපදෙස් දෙනවා. ඒ නිසා සෑම දෙමව්පියෙකුම ඒ ගැන සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තිබෙනවා.
වැසිකිළි භාවිත කිරීමෙන් පසුව දරුවාගේ සහ මව්පියන්ගේ අත් හොඳින් සෝදන්න.
එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමට පෙරාතුව ඒවා හොඳින් සෝදන්න.
ආහාර පිසින්න පෙරාතුව අත් සෝදන්න.
නිතරම ආහාරපාන වසා තබන්න. පණු බිත්තර මැස්සන් මගින් ආහාරවලට එකතු වීමටද පුළුවන් නිසා.
නිවසෙන් බැහැරව ඇවිදින විට පාවහන් පැළඳින්න. සමහර විට පසේ ජීවත්වන පණුවන් ඔබට නොදැනීම සිරුරට ඇතුළු වීමට පුළුවන්.
වතුර නටවා නිවා බොන්න.මන්ද වැසි කාලයේදී සහ ගං වතුර නිසා පණු බිත්තර ජලයට එකතු වීමට ඉඩ තිබෙන නිසා.
දරුවන්ගේ දෑත් පිරිසිදුව තබන්න. නියපොතු කෙටි වන සේ කපන්න.කුඩා දරුවන්ගේ අපිරිසිදු අත්වලින් පණු බිත්තර ශරීරගත වීමට පුළුවන්.
දරුවන්ට පණු බෙහෙත් දියයුතු කාල සීමාව…
දරුවකුගේ වයස අවුරුද්ද සම්පූර්ණ වූ තැන පටන් පණු බෙහෙත් ලබාදීම අවශ්‍යයි. පණු බෙහෙත් ලබාදිය යුතු කාල අන්තරය දරුවා ජීවත්වන ප්‍රදේශ අනුව වෙනස් වනවා. නිසි සෞඛ්යාරක්ෂිත වැසිකිළි නොමැති සහ අඩු සනීපාරක්ෂිත කලාප ලෙස ගැනෙන මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල දරුවන්ට මාස හයකට වරක් පණු බෙහෙත් ලබාදීම නිර්දේශ කරනවා.
සෙසු පළාත්වල දරුවන්ට අවුරුද්දකට වතාවක් පණු බෙහෙත් ලබාදීම ප්‍රමාණවත්.ගැබිණි මව්වරුන්ට ඔවුන්ගේ ගර්භණීත්ව කාලයේදී එක් වරක් පණු බෙහෙත් ලබා ගැනීමට උපදෙස් දෙනවා.
පණු බෙහෙත් ලබාදීමේදී වෛද්‍ය අනුමැතිය ලත් ඖෂධ තිබෙනවාද?
විවිධ වෙළෙඳ නාමවලින් බොහෝ බෙහෙත් තිබුණත් බහුලව භාවිත වන අනුමත බෙහෙත් වර්ගවල ඖෂධීය නාම තිබෙනවා.
Pyrantal Pemoate
වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ට ලබාදීම
මෙබැන්ඩසෝල් (Mebendazole)
වයස අවුරුදු 2 ට වැඩි දරුවන්ට එක් මාත්‍රාවකින් පමණක් ලබාදීමට.
මේවාට අමතරව බහුලව භාවිත නොවන ඖෂධ නාමත් තිබෙනවා.
පණු බෙහෙත් ලබාදුන් පසුව දරුවා නෑවීම, තෙල්, ඇඹුල් ආහාර ලබාදීම ගැන ප්‍රශ්න තිබෙනවා. එහි විද්‍යාත්මක පහදාදීම කුමක්ද?
එය සම්පූර්ණයෙන් මිථ්‍යාවක්. පණු බෙහෙත් ලබාදෙන්නේ බඩවැල්වල සිටින පණුවන් විනාශ වීමට නිසා ආහාරවලින් හෝ නෑමෙන් කිසිම බලපෑමක් දරුවාට ඇතිවන්නේ නැහැ.
පණු බෙහෙත් දීමෙන් පුරුද්දට යනවා කියන අදහසක් මව්පියන් තුළ තිබෙනවා. ඒ ගැනත් සඳහන් කළොත්?
එය මිථ්‍යාවක්. පණු බෙහෙත් නොදී සිටියොත් පණුවන්ගේ ගහණය වැඩිවනවා. එවිට දරුවා මම මුලින් සඳහන් කළ අපහසුතාවන්ට පත්වනවා. ඒ වගේම වට පණුවන්ගේ ගහණය වැඩි වුණොත් බඩවැල් අවහිරවීමට පවා ඉඩ තියෙනවා.
පණු බෙහෙත් බොන විට පවුලේ සියලු දෙනාටම එක්වර ලබාගැනීම කළ යුතුද?
පවුලේ එක් අයෙකුට තිබුණොත් අනෙක් අයටද රෝගය පහසුවෙන් බෝ වෙන්න පුළුවන්. කිරි පණු රෝග තත්ත්වයේදී ගුද මාර්ග අවට කැසීම නිසා ඒ සමග පණුවන් පොඩි වී පණු බිත්තර යට ඇඳුම්, ඇඳ ඇතිරිලි සහ නියපොතු අතර තැවරීම නිසා තවත් අයෙකුට පහසුවෙන් රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත ආසාදනය වීමට පුළුවන්.
කිරි පණුවන් වෙනුවෙන් පණු බෙහෙත් බොන විට අවස්ථා දෙකකදී ලබාගැනීම වැදගත්. මුල් මාත්‍රාව අවසානයෙන් තවත් සතියකට පසුව නැවත කිරි පණුවන් වෙනුවෙන් බෙහෙත් බීම වැදගත්. ඒ ගැන ඇති දැනුවත් වීම නිසා පවුලේ සියලු දෙනාම එක දවසක පණු බෙහෙත් ලබාගැනීම ගැනත් ඔවුන් වෛද්‍යවරයාගෙන් විමසා සිටිනවා. තමාගේ මෙන්ම පවුලේ සියලුම දෙනාගේ සනීපාරක්ෂාව ගැන වඩාත් හොඳින් සැලකිලිමත් වීම වඩාත් වැදගත්.
ඒ වගේම
පවුලේ සාමාජිකයන් අතර ඇඳුම් හුවමාරු කරගන්න එපා.
ඇඳ ඇතිරිලි, පොරවන රෙදි, තුවා, කොට්ට සහ මෙට්ට නිතරම පිරිසිදුව තබාගන්න.
ඇඳුම් සහ ඇතිරිලි උණුවතුරෙන් තම්බා ගන්න.
පණු බෙහෙත් දෙන විටත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යද?
පණු බෙහෙත් වෙනුවෙන් ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය නිර්දේශයක් ලබාගැනීම වඩාත් සුදුසුයි. පණු බෙහෙත් ලබාගත් දිනය සටහන් කර තබාගන්න. එසේ නොමැති වුණොත් ඔබ අනවශ්‍ය අන්දමින් පණු බෙහෙත් බීමට යොමුවීමට ඉඩ තිබෙනවා. සමහර අවස්ථාවල වෙනත් රෝගයකට ඖෂධ ලබාගැනීමට ගිය විටත් දරුවාට පණු බෙහෙත් ලබාදී තිබේදැයි ඔබෙන් විමසා සිටිය විට ඒ ගැන තහවුරුව කීරීමේ හැකියාව ඔබ සතුව තිබීම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා