මිනිසුන් සමග ගනුදෙනු කරන අපට විවිධ හැලහැප්පීම් සමග කටයුතු කිරීමට සිදු වෙනවා. මෙවැනි අවස්ථාවන්හිදී අප ඒවාට මුහුණ දෙන අන්දම අනුව අපේ මානසික සෞඛ්‍ය පවා පිරිහෙන අවස්ථාවන් තිබෙනවා. ජීවිතයේ අසීරු අවස්ථාවක් ඇති වූ විට ඒ මතම රැඳී ඒ ප්‍රශ්නයම විවිධ හැඩතල ඔස්සේ දකින්න උත්සාහ කිරීම පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍ය නරක අතට හැරීමට බලපානවා.
ජීවිතයේ අසීරු අවස්ථාවකදී හැසිරෙන අන්දම
එක්සත් ජනපදයේ වෛද්‍යවරයෙකු වන ආචාර්ය ඩැනියෙල් ආමේන් අසීරු අවස්ථාවකදී අප හැසිරෙන ආකාරය ගැන යම් රීතීන් කීපයක් හඳුන්වා දී තිබෙනවා. ආචාර්ය ඩැනියෙල් ආමේන් පුද්ගල මනෝභාවයන් අළලා විවිධ අධ්‍යයනයන්හි යෙදෙන වෛද්‍යවරයෙක්. සමාජ මාධ්‍ය ජාලා තුළ පමණක් ඔහුගේ අනුගාමිකයන් පිරිස මිලියන දෙකක් ඉක්මවා ගිහින්.
එදිනෙදා ජීවිතයේදී වුණත් අපි සිතන පතන දේ පමණක් නොව, කරන කියන දේ වුණත් අපට අවශ්‍ය අන්දමින් සිදු වෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී ඔබට අවශ්‍ය දේ ඒ විදිහට සිදු නොවුණහොත් ඔබ කම්පාවට පත් වෙනවා. මේ කම්පනය නිසාම ඔබ පසුකාලීනව මානසික සෞඛ්‍ය පිරිහුණ පුද්ගලයෙකු බවට පත් වීමට තරම් දරුණු තත්ත්වයක් ඇති වීමටත් පුළුවන්. සිතේ ඇතිවන සෘණාත්මක සිතුවිලි ඉතා සාර්ථක අන්දමින් කළමනාකරණය කරගත හැකි උපක්‍රම කීපයක් ගැන ඔහු සඳහන් කරනවා.
ජීවිතයේ යම් ගැටලුවක් ඉදිරියේ ඔබ බොහෝ සෙයින් මානසික පසුබෑමකට පත්ව ඇත්නම් තව දුරටත් එම මානසිකත්වයේ සිටින්න එපා. ඔබ ජීවත්වන වටපිටාව ටික දිනකට හෝ වෙනස් කරන්න. එකම ප්රශ්නය ගැන තැවෙමින් ලතැවෙමින් එකම තැන සිටින්න එපා. මිතුරෙකු සමග දිනයක් ගත කරන්න.
එහෙම නැත්නම් පුංචි විනෝද චාරිකාවක යෙදෙන්න. එටිව ඔබ ඉදිරියේ ඇති ගැටලුව නිසා ඇති වුණ ගැටුම තාවකාලිකව හෝ සමනය වන අතර ඔබට මානසික සුවතාවය ගොඩ නගාගත හැකි පරිසරයක් නිර්මාණය වනු ඇත. ජීවිතයේ පීඩාකාරී අත්දැකීම් ඉදිරියේ ඔබ මුහුණ දුන් අත්දැකීම් විසඳා ගත් අන්දම ගැන මෙසේ සඳහන් කරනවා. වතාවක් මම ජීවිතයේ මුහුණ දුන් ඒ සිදුවීම දරා ගැනීමට අපහසු වුණා. නමුත් ඒ සිදුවීම මත රැඳී සිටියේ නැහැ.
සෘණාත්මක සිතුවිලි බැහැර කරන්න
සාමාන්‍ය ජීවිතයේදී අපගේ සිතට නිතරම හැඟෙන්නේ සෘණාත්මක සිතුවිලි බැව් රහසක් නොවේ. නමුත් අපි මේ සෘණ සිතුවිලි මතම රැඳී සිටිය යුතු නෑ. සෑම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් ඇත. ඔබ නිතරම වලාකුලක අඳුර නොව, එහි තිබෙන රිදී රේඛාව වෙත සිත යොමු කරන්න. එවිට ඔබේ ජීවිතය සෘණ සිතුවිලි නිසා අඳුරට පත් වීමට ඇති අවස්ථාවන් මග හැරෙනු ඇත.
දුක කියන්න වගේම අහන්න කෙනෙක්
ඔබට යම් චිත්ත පීඩාවක් ඇති වුණ විට ඔබේ දුක්ගැනවිල්ලට සක්‍රීය ලෙසින් සවන් දෙන්නෙකු අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔබට පවුලේ සමීපතමයෙකු හෝ හොඳම මිතුරෙකු අවශ්‍ය වෙනවා. අසන්නා යනු ඔබේ සිත්තැවුලට සහනයක් විය හැකි හොඳම මිතුරෙකු වීම වැදගත්. ගැටුමක් වූ තැන එය තනියම හිත දරාගෙන දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඔබට සමීප තවත් කෙනෙකුට ඔබේ හිතට වදදෙන ප්‍රශ්න පවසන්න. එය ඔබට සහනයක් වෙනු ඇති.
සංගීතයට සවන් දෙන්න
අපි හැම දෙනෙකුගේම ජීවිතයට යම් සෞන්දර්ය රසාස්වාදයක් අවශ්‍ය වෙනවා. යම් ගැටලුවක් නිසා ඔබ මානසික ගැටුමකින් පීඩා විඳිනවා නම් මොහොතකට එය අමතක කරන්න. සංගීතයට සවන් දෙන්න. සංගීතය ඔබේ දුක නිවන හොඳම මිතුරෙකු වනු ඇත. නැත්නම් ගීතයක් ගයන්න.
හිතේ පීඩාව කඩදාසියකට ගන්න
ගැටලු ඉදිරියේ ඔබ මානසිකව දැඩි පීඩාවකින් පසු වෙනවා ඇති. නමුත් දැන ඔබ සිත නිදහස් කර ගත යුතුයි. ඒ නිසා ඔබේ හිතේ මෙතෙක් තදකර තබා ගෙන සිටි දේවල් කොලයක ලියන්න. ඔබේ සිතුවිලි තුළ තවත් අපූරු නිර්මාණයක් ගොඩනැගෙන්නත් පුළුවන්. තමන්ගේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය වීම තුළ ඉතාම සාර්ථක සාහිත්‍ය නිර්මාණ බිහි වීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා හිතට එන දේ අකුරට නගන්න. ඔබේ හිතේ තිබෙන වෙහෙසකර තත්ත්වය බොහෝ දුරට අඩුවනු ඇති.
ව්‍යායාම කරන්න
නීරෝගීමත් ජීවිතයක් සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය වෙනවා. අපි බොහෝ දෙනෙක් ව්‍යායාම වෙනුවෙන් යොමු වන්නේ අපේ හිතේ සතුටක් ඇති අවස්ථාවන්හිදී වීම විශේෂයක්. ආහාර පාන වෙනුවෙන් පවා සතුට නොමැති අවස්ථාවකදී ව්‍යායාම සඳහා පුද්ගලයෙකුගේ හිත යොමු වෙන්නේ නැහැ. ඔබ ව්‍යායාම කළ යුත්තේ සතුටින් සිටින විට පමණක් නොවේ. ව්‍යායාම කරන විට ඔබේ මොළයට හොඳින් ඔක්සිජන් සැපයෙන නිසා මොළය ප්‍රබෝධමත් වෙනවා. ආචාර්ය ඩැනියෙල්ගේ උපදෙස එයයි.
සිත් තැවුලෙන් ජීවත් වුණොත් මොකද වෙන්නේ?
ඔබ සිත් තැවුලකින් කාලය ගත කරනවා නම් කෙසේ හෝ ඒ පීඩනයෙන් නිදහස් වීම ඉතාම වැදගත්. මෙවැනි පීඩන හිතේ දරාගෙන ජීවත් වනවිට ඔබේ සිතට නොදැනීම සිය දිවි හානි කර ගැනීමේ සිතුවිලි පවා ගොඩනැගෙන්නට ඉඩ තිබෙනවා.
( Mail on line ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා