අපි කාගෙත් හිතේ තියෙනවා තමන්ගෙම කියලා සිහින නිවහනක්. ඒ සිහින නිවහන ලස්සන කරගන්න පිට කෙනෙක්ගෙන් අදහස් ගන්නවට වඩා තමන්ම තමන්ගෙ සිහින නිවහන ඩිසයින් කරගන්න එකේ ආඩම්බරයක් වගේම වාසියකුත් තියෙනවා. වාසිය තමයි තමන්ගෙ නිවහන, තමන්ගෙ සුවපහසුව ගැන හොඳින්ම දන්නෙ තමන්වීම නිසා.
කල් තියාම බජට් එක හදාගන්න
ගෙයක් හදල ඉවර වෙන කොට අපි බලාපොරොත්තු වෙන ගාණට වඩා වැඩි ගාණක් වියදම් වෙලා තියෙන එක සාමාන්‍ය දෙයක්. මුලදි සැලසුම් කරන කොට අපි ගණන් බලනවට වඩා රුපියල් සීයකින් හරි ලයිට් ෆිටින්ස්, බාත් රූම් ෆිටින්ස් වගේ දේවල් ගණන් ගිහින් තියෙන්න පුළුවන්. මේ මේ දේවල්වලට වියදම් කරන්න පුළුවන් මෙච්චරයි කියලා බජට් එකක් සකස් කරගන්න. හිතේ කරදරෙකින් තොරව වියදම් කරන්නත් තමන්ගෙ අතේ ඇති මුදලට උපරිම වටිනාකමක් ලැබෙන විදියට තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්නත් ඒක පහසුවක්.
ගෘහ භාණ්ඩ ගැන කලින්ම සැලසුම් කරන්න
ඉස්සර කාලේ වගේ බඩු වැඩි වෙන තරමටයි ලස්සන කියන මතය දැන් නැත්තටම නැති වෙලා. වඩාත් ඉඩ පහසුව දැනෙන විදියේ අවම ඉඩක් යන ගෘහ භාණ්ඩ සහ සැරසිලි භාවිතය ඉහළ ගිහින්. නිවසේ එක් එක් කොටස්වලට එකතු වෙන්න ඕන ගෘහ භාණ්ඩ ගැන නිවස ගොඩනගන කොටම අවබෝධයක් ලබාගන්න. ප්ලෑන් එකේ කොපියක් අරගෙන ඒ ඒ තැන් වලට අවශ්‍ය විදියේ භාණ්ඩ ගැන සැලැස්මක් තියාගන්න. ගෙදරට ඕන බඩු ශොපින් කරන කොට කලින්ම අදහසක් ඇතුව යන එකෙන් අනවශ්‍ය විදියේ බඩුවලට මුදල් නාස්තියක් සිද්ධ වෙන්නෙ නෑ.
අඩු ඉඩකින් වැඩි ප්‍රයෝජනයක් ගන්න
ගෙදරක ඉන්ටීරියර් එකේ වැදගත්ම දේ ස්පේස් එක එහෙම නැත්නම් අවකාශය පවත්වගෙන යන එක. කාර්යබහුල වීම නිසා මේන්ටේන් කිරීමේ පහසුව, සීමිත ඉඩකඩක නිවාස ගොඩනැගීම වගේ හේතු නිසා අඩු ඉඩක් වැය වෙන විදියේ ගෘහ භාණ්ඩ වලට වැඩි ඉල්ලුමක් ඇති වෙලා තියෙනව. නවීන පන්නයේ ගෘහ භාණ්ඩ බොහොමයක් එහෙම සකස් වුණ ඒවා.
සෝෆා බෙඩ් වගේ මල්ටි පර්පස් එහෙම නැත්නම් බහු කාර්ය ගෘහ භාණ්ඩ වලට වැඩි ඉල්ලුමක් තියෙනව. අල්මාරි, කබඩ් වගේ දේවල් වලට මුදල් වැය කරනවාට වඩා ඉන්බිල්ට් කබඩ්ස්, වෝල් කබඩ්ස් වගේ දේවල් වලට මුල්තැන දෙන්න. නිවසේ ඉඩකඩ ඇහිරෙන එක සෑහෙන්න වළක්වගන්න පුළුවන්.
අවකාශය වැඩි කරලා පෙන්නන්න
පොඩි ඉඩකඩක් ඇති ගෙයක් නම් ස්පේස් එක එහෙම නැත්නම් අවකාශය වැඩි කරල පෙන්නන එක වැදගත්. අඳුරු පැහැ ගෘහ භාණ්ඩ සහ තීන්ත වෙනුවට ලා පැහැයට බර වර්ණ පාවිච්චි කරන්න. උසින් වැඩි ගෘහ භාණ්ඩ පාවිච්චියෙන් බිත්තිවල උස් බව මතු කරන්න පුළුවන්.
සෝෆාවලට ලා පාට කුෂන් පාවිච්චිය සහ පොළවට ලා පැහැ කාපට් අතුරන්න. එයිනුත් ඔබේ නිවසට වැඩි ඉඩක් ඇති බවක් පෙන්නන්න පුළුවන්. ඩෙකරේටිව් මිරස් වැනි දේවල්වලිනුත් ඕනම තැනක නැති අවකාශයක් ඇති කරලා පෙන්වන්න පුළුවන්. කොරිඩෝ එකක, සාලයේ පැත්තක වගේ එවැනි අලංකාර කණ්ණාඩි තියෙන එකෙන් ලස්සනකුත් එකතු වෙනව.
ගෙදරට එක් කරගන්න වර්ණ ගැන හිතන්න
මුළු ගෙදරම එකම වර්ණයකින් පේන්ට් කරන එක ඒ තරම්ම ලස්සනක් එක් කරන්නෙ නෑ. නිවසේ ඒ ඒ කොටස්වලින් ඔබ බලාපොරොත්තු වෙන දේ අනුව කලර් තීම් එකක් සකස ගන්න. අමුත්තන් ගැවසෙන සාලයට වගේ වඩාත් සුදුසු සෞම්‍ය වර්ණ. කුස්සියට පිරිසිදු බව පෙනෙන සහ රැකෙන ආකාරයට සහ ඉඩකඩ වැඩිව පෙන්නන්න ලා වර්ණ භාවිත කරන්න. නිදන කාමරවලට සහ ටීවි රූම්වලට තමන් කැමති සහ තමන්ට වඩාත් සුවපහසුවක් දැනෙන වර්ණ එකතු කරගන්න. අතර මැද කොරිඩෝර්, පඩි පෙළවල් වගේ බිත්තිවලට කැපී පෙනෙන වෙනස් ආකාරයේ වර්ණ එකතු කරගන්න එකෙන් ඒ තැන්වල තියෙන ඒකාකාරී බව නැති කරන්න පුළුවන්.
ආලෝකයට වැඩි තැනක් දෙන්න
ගෙදර කොච්චර ලස්සනට හැදුවත් හුඟ දෙනෙකු ලයිට් ෆිටින්ස්වලට අවධානයක් යොමු කරන්නෙ නෑ. ගේ හදල කාලයක් ගියත් තැන තැන එල්ලෙන වයර්වලට නිකම්ම බල්බ් ටිකක් හයි කරගන්නව. ඒකෙන් වෙන්නෙ ලස්සනට හදාගන්න ගෙදර පෙනුමේ වටිනාකම අඩුවෙන එක. දහවල් කාලයේදි ස්වභාවිකවම ආලෝකය එන විදියට නිවස ගොඩනගන කොටම සැලසුම් කළාට රාත්‍රියේදි නිවසේ අලෝකය කොයි විදියට පැවතෙන්න ඕනද කියන එක ගැන සැලකිලිමත් වෙන්න.
නිදන කාමරවලට ලබාගන්න ඕන ආලෝකය සහ විසිත්ත කාමරයට ලබාගන්න ඕන ආලෝකය එකිනෙකට වෙනස්. නිදන කාමරවලට සෞම්‍ය ආලෝකයකුත්, විසිත්ත කාමර, කුස්සිය සහ නාන කාමර වලට වැඩි ආලෝකයක් සහ පැතිරුණ ආලෝකයක් ලැබෙන විදියට ලයිට් ෆිටින්ස් තෝරගන්න ඕනෙ. ලෑම්ප් ශේඩ්ස් වගේ දේවල් අඩු වියදමින් තමන්ටම වුණත් සකස් කරගන්න පුළුවන් විදියේ DIY වීඩියෝස් අන්තර්ජාලය පුරා ඕන තරම් තියෙනවා. LED බල්බ්ස් භාවිත කරන එකත් සාක්කුවට වාසි දෙයක්.
වර්ණය, මෝස්තර සහ අමුද්‍රව්‍යවල ස්වභාවය
මූලිකවම ගෘහ අලංකරණයේදි කතා වෙන අවකාශය සහ ආලෝකයට අමතරව වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණා තුනක් තමයි මේ. නිවසේ ගෘහ භාණ්ඩවලට භාවිත කරන මෝස්තර, ඒවායේ වර්ණ සහ ඒ ඒ අමුද්‍රව්‍යවල ස්වභාවය ඒ ඒ තැන්වලට කොයි විදියට ගැළපෙනවද කියන එක බඩු භාණ්ඩ මිලදී ගන්න කලින්ම සැලසුම් කරගන්න.
දොර ජනෙල් රෙදි සහ කුෂන් කවරවලට ගන්න රෙදිවලින් අලෝකය හෝ අවකාශයට අවහිරයක් නොවෙන්න ඒවායේ වර්ණය සහ මෝස්තර තෝරගන්න. උදාහරණෙකට කිව්වොත් විසිත්ත කාමරයට අඳුරු පාට තිර රෙදි ගැළපෙන්නෙ නෑ. ස්වභාවිකව ලැබෙන ආලෝකය අවහිර කරනව වගේම ඉඩකඩ අඩු ගතියක් ඒකෙන් පෙන්නුම් කරනවග ටීවි රූම් එකක් ඊට වඩා අඳුර සහ සුවපහසුව ගෙන එන අමුද්‍රව්‍යවලින් සකසා ගන්න. ටීවි රූම් එකක කුෂන් කවර්ස්වලට වෙල්වට් හෝ සෙටින් වගේ රෙදි පාවිච්චි කරන එකෙන් සැප පහසුව දනවනව.
( අන්තර්ජාලය ඇසුරෙන් )
අර්චිත ඉඳුවර