නෙරංජනී ශන්මුගරාජා සම්මානනීය නිළියක්. ඇයව රූපවාහිනී නිවේදිකාවක් ලෙස මුලින් හඳුනාගත්තත් ඇගේ හඩේ තිබෙන ලාලිත්‍ය බව අභිභවා ඇය තුළ සැඟව සිටි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීනිය මතුවූ බව නම් විවාදයක් නෑ. ඒ නිසාම ඇය ජාත්‍යන්තරයේ මෙන්ම දේශීයවත් දක්ෂතම සිනමා රංගවේදිනිය වශයෙන් සම්මානයට විටින් විට පාත්‍ර වෙනවා. කාලෙකට පසුව ටිකක් විවේකයෙන් නිවසට වී සිටින අතරවාරයේදී ඇය “ ඇත්තටම මේ දවසවල අලුත් වැඩක් කියලා දෙයක් කළේම නැහැ. කරපු වැඩ ටිකක් එළියට එනකම් මඟ බලාගෙන ඉන්නවා.” ඇය මෙලෙස නවලියට කතා කළා…
මොනවාද ඒ කරපු අලුත් වැඩ
චිත්‍රපට තුනක්ම තමයි එන්න තියෙන්නේ. දේවින්ද කෝන්ගහගේ ඩිරෙක්ට් කරපු ගිරිවැසිපුර. අනෙක් එක තමයි ප්‍රියන්ත කලුආරච්චි ඩිරෙක්ට් කරපු රතු සමනල සිහිනය. ඒ වගේම වී. සිවදාසන් සර් ඩිරෙක්ට් කරපු දණ්ඩනය තමයි ඒ චිත්‍රපට තුන. තාම ඉතින් මේ ෆිල්ම්ස් තුනම එන දවසක් නම් දන්නෙ නෑ. මේ ෆිල්ම්ස් තුනේම මම කළේ මේන් රෝල් එක.
නෙරංජී දැන් නිවේදන කටයුතුවලින් ඈත් වෙලාද ?
එදා වගේම අදත් මම ජාතික රූපවාහිනීයෙ නිවේදිකාව. නිවේදිකාව තමයි මගේ මුල්ම රස්සාව. ඉතින් නිවේදන වෘත්තීය මාව අතඇරලත් නෑ. මම නිවේදන වෘත්තීය අතඇරලත් නෑ. ඊට අමතරව කම්පැණි ඉවෙන්ට්ස්වලට මගේ හඬින් මම දායක වෙනවා. මගේ දැනුම බෙදාගන්න කැමති යුනිවසිටිවලට, ඕගනයිසේෂන්වලට එහෙමත් මම ආරධනා ලැබුණාම යනවා.
මම කැමතියි ළමයින්ට මගේ ජීවිතය එක්ක අත්දැකීම් කියල දෙන්න. ඒ විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය නිසා හේට් ස්පීච්, සයිබර්බුලින්, සයිබර්ත්රෙටින්වලට මුහුණ දුන්න අපේම අය වෙනුවෙන් උදව් කරන්න, ඔවුන් වෙනුවෙන් කතා කරන්න මම හැමදාමත් ඉදිරිපත් වෙනවා.
එතකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදන කටයුතුවලින් ඉවත් වුණාද ?
දැන් ලොතරැයි මණ්ඩලයේ වැඩවල මම නැහැ. එකෙන් මාව අයින් කරලා. ඇත්තටම එතන තියෙන්නෙ ප්‍රශ්නයක්. දැන් එතන වෙන්නෙ ප්‍රොෆෙෂනල්ස්ලා අයින් කරලා ලොතරැයි මණ්ඩලයේ වැඩ කරන මාකටර්ස්ලා, ක්ලාර්ක්ලා දාලා නිවේදනය කටයුතු කරන එක. ඒ නිසා දැන් ප්‍රොෆෙෂනල් ප්‍රසන්ටර්ස්ලා ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන්වල දකින්න ලැබෙන්නෙ නෑ.
මම කාවවත් අවතක්සේරු කරනවා එහෙම නෙමෙයි. නිවේදන කටයුතු ඉදිරිපත් කරනවා කියන්නේ බැරෑරුම් කාර්යයක්. අදටත් අපට අලුත් වැඩසටහනක් දුන්නාම අපි හරි බයයි. අපි හොඳට සූදානම් වෙනවා. ඒක ජනගතකරන හැටි ප්ලෑන් කරනවා. ජනතාවගේ විශ්වාසය ගොඩනඟා ගන්න අපි හොඳට වැඩසටහන කල්තියා සැලසුම් කරනවා. ඒ නිසා ආවට ගියාට කෙනෙක්ට නිවේදිකාවක් හෝ නිවේදකයෙක් වෙන්න බැහැ.
ඒක හොඳ පොයින්ට් එකක්. ඔයා කියන විදිහට වෘත්තීය නිවේදිකාවක් වෙන්න රූපෙ සහ සමේ වර්ණය විතරක් තිබිලා මදි නේද ?
ඔව් පැහැදිලිවම. ඔය කතාව මම උදාහරණ දෙකකින් පැහැදිලි කරන්නම්. මම උදාහරණයට ගන්නේ සිංහල නිවේදකයෙක් සහ දමිළ නිවේදිකාවක්. ප්‍රේම කීර්ති ද අල්විස් මහත්තයා අදටත් ජීවමාන චරිතයක්. ඔහුගේ හඬට අපි අදටත් ආදරෙයි. එතුමා ගැන කතා නොකර අපේ රටේ නිවේදන වෘත්තීය ගැන කතා කරන්න අපට බැහැ.
ඔහුගේ පෙනුම යටපත් කරගෙන මතු වුණේ හඬ සහ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වෙනස් කලාව. ඒ නිසා රූප මාධ්‍යයේදී දැන් ඔය බලන රූපය සහ සමේ වර්ණය එතුමාට එදා කිසිසේත්ම අදාළ වෙලා නැහැ. දමිළ පැත්තෙන් ගත්තොත් රංජනී රාජ්මෝහන් තරම් ජනප්‍රිය නිවේදිකාවක් අපට හොයාගන්නත් බැහැ.
ඇය පැහැයෙන් අඩු කාන්තාවක් වුවත් මේකප් දාලා රූපවාහිනී ප්රවෘත්ති ඉදිරිපත් කිරිමේදි ප්‍රබල වුණේ ඇගේ හඬ. යුග විලක්කු නාට්‍යයේ ඇය තමයි ප්‍රධාන චරිතය කළේ. එතනදී අදාළ වුණේ ඇගේ රංගන හැකියාව. සමේ වර්ණය යටපත් වුණා. ඉතිහාසයේ අපට රූපය සහ හඬ දෙකම තිබෙන නිවේදක නිවේදිකාවොත් ඉඳලා තියෙනවා. රූපයට වඩා හඬ ඉස්මතු වූ නිවේදක නිවේදිකාවොත් ඕනෑ තරම් ඉන්නවා.
මාව උදාහරණයට ගත්තත් මම ලොකු සුදක් තියෙන කෙනෙක් නෙමෙයි. මාර ලස්සන කෙනෙකුත් නෙමෙයි. මට තියෙන්නෙ පිළිවෙළ දතුත් නෙමෙයි. ඉස්සර මගේ මුණේ පිම්පල්ස් තිබුණා. විතවුට් මේකප් මාව බලන්න මමම අකමැතියි. හැබැයි අදටත් මම නිවේදිකාවක් ලෙස අඩු නැතුව වැඩවල ඉන්නෙ රූපයට වඩා දක්ෂතාවය ඉස්මතු කරගත් නිසා. අද දුකකට තියෙන්නෙ නිවේදන වෘත්තිය රූපවාහිනී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ සමේ පැහැය සහ රූපය නිසා බල්දු කරන නිසා.
ලස්සනත් එක්ක වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරනවා නම් හොඳයි. මේ නිසා වචන හසුරවන්න දක්ෂ හොඳ හඬක් තියෙන බොහෝ තරුණ දරුවන්ට අද රූපවාහිනී මාධ්‍ය, සමජ මාධ්‍ය දොර වහලා. ඔයා දන්නවාද මාව ජීවිතයේ පළවැනි වතාවට ශක්ති ටීවී එකෙන් රිජෙක්ට් වෙනවා ඒ මගේ කොණ්ඩේ කැතයි කියලා. ඇයි මට තිබුණේ කර්ල් කොණ්ඩයක් නිසා. ඒ මම ගමේ ඉඳන් කොළඹ ආපු මුල් කාලෙ. එතනින්ම පේනවානේ රූපයෙන් නෙමෙයි මිනිස්සුන්ගේ අනන්‍යතවය ගොඩ නැගෙන්නෙ කියලා. මේක මම කා ගැනවත් ඉරිසියාවෙන් කියන දෙයක් නෙවෙයි.
නෙරංජී ටෙලිනාට්‍යවලට සම්බන්ධ නොවන්නෙ ඇයි ?
ප්‍රඩක්ෂන්වලට ඕන තරම් කතා කරල තියෙනවා. හැබැයි මම ඒවාට සම්බන්ධ නොවන්න හේතුවක් තියෙනවා. ඉනිඅවන් චිත්‍රපටයෙ රඟපෑවට පස්සෙ ටැමිල් නිළියක් ඇවිල්ලා ඉන්නවා කියලා මටත් ප්‍රඩක්ෂන්වලට කතා කළා. මම එහෙම ප්‍රඩක්ෂන් දෙකක ඔඩිෂන්ස්වලටත් ගියා. ඒ මුල් කාලෙ නිසා අතේ මහලොකුවට සල්ලි තිබුණෙත් නැහැ. කොළඹටත් අලුත් මම බස්වල නැගලා, එයාලා කියන ලෑන්මාර්ක්ඩ් බල බලා, ගිහිල්ල බස්වලින් බැහැලා ආයේ ඇවිදගෙනත් ගියාම ඔඩිෂන් එකේදී උඩ ඉඳන් පහළට බලලා මටම කියනවා ඔයා කළුයිනේ, ඔයා සුදු නෑනේ, මූණේ පිම්පල් තියෙනවානේ, දත් කෙලින් නෑනේ කියලා.
මට එන්න කියලා එහෙම රිජෙක්ට් කළාම හරිද? මම කියන්නේ මම කව්ද කියලා කලින් බලලා නෙමෙයිද එහෙම ඔඩිෂන්වලට එන්න කිව්වේ. ඒ කාලෙ දැන් වගේ මේ ෆිල්ටර්ස් ඇප් අපිට තිබුණෙ නෑනේ. අපේ රියල් පිංතූර තමයි සෝෂල් මීඩියාවල අපි අප්ලෝඩ් කළේ. ඒවායින් එකක් දෙකක් බැලුවනම් මම කව්ද කියල හොඳට පේනවා. ඉනිඅවන් ෆිල්ම් එකේ මගෙ රූපේ කොහොමද කියලා හොඳට දැකලනේ කතා කරලා තිබුණේ. ඒ නිසා මම සිද්ධිය දකින්නෙ ඉන්සල්ට් කිරීමක් විදිහට.
ටෙලිනාට්‍යවල රඟපෑම එදා ඉඳලම මම මගේ හිතින් අයින් කළා. ඒ වගේම හොඳ ටෙලිනාට්‍යත් හරි අඩුයිනේ. ගොඩක් ටෙලිනාට්‍ය පටන් ගන්නේ එක තැනකින්. ඉවර වෙන්නේ තව තැනකින්. මම එහෙම වැඩ කරන්න කැමති නැහැ. මොකද මම ප්‍රේක්ෂකයන්ට වග කියන නිළියක් නිසා. මට සල්ලි විතරක් අරගෙන ගෙදර ගිහින් හරි යන්නේ නැහැ. ලංකාවේ සිනමා නිර්මාණ බලන්නේ තෝරගත් පිරිසක් වුණාට ටෙලිනාට්‍ය ඕනෑම කෙනෙක් ගෙදරදී බලනවා. ඒ නිසා මම කියන්නෙ ටෙලිනාට්‍යවල වැඩ කරන කට්ටිය වගකීමකින් වැඩ කරන්න ඕනෙ කියලා.
කාන්තාවක් විදිහට ප්‍රතික්ෂේපවීම දරාගත්තෙ කොහොමද ?
වෘත්තීය ජීවිතයෙ විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයෙත් ප්‍රතික්ෂේප වීම් අපට වෙන්න පුළුවන්. කාන්තාවන් ඒ හැඟීම දරාගන්නම ඕනෙ. ප්‍රතික්ෂේපවීම තමයි හොඳම බෙහෙත ජයග්‍රහණය කරා යන ගමනකට. දැන් මාවම උදාහරණයට ගන්න. ටෙලිනාට්‍යයකින් මාව ප්‍රතික්ෂේප කළේ මගේ රූපය දැකලනේ. හැබැයි මම ඒක අශිර්වාදයක් කරගත්තා. මම සිනමාව ජයගත්තා. ජාත්‍යන්තර සම්මාන පවා ලබාගත්තා. ඒකෙන්ම මම ගේම ගැහුවා. කෙනෙකුට අධ්‍යාපනය සිලෙක්ට් කරන්න පුළුවන්. තමන්ගේ වෘත්තිය සිලෙක්ට් කරන්න පුළුවන්.
අඳින පළඳින විදිහ සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි අපට උපතින් ලැබිලා තියෙන රූපය සහ වර්ණය සිලෙක්ට් කරන්න බැහැ. ඒ වගේම නුවණ සිලෙක්ට් කරන්නත් බැහැ. ඒ නිසා අශිර්වාදයෙන් ලැබිලා තියෙන දේවල්වලින් ජීවිතය ජයගන්න අපි කවුරුත් පුරුදු වෙන්න ඕනෙ. කළ යුතු හොඳම දේ රිජෙක්ෂන් වැරදි බව කාට වුණත් ඔප්පු කර පෙන්වීම.
ඒ නිසා තමයි දේශීය සහ විදේශීය සම්මාන උළෙලවලදී බෙස්ට් ඇක්ට්‍රස් සම්මානය මම දිනාගත්තේ. මේ කතා කරන මොහොතේදීත් USA වල බෙස්ට් ඇක්ට්‍රස් සම්මානයක් සඳහා මාව නොමිනේට් වෙලා. මම කියන්නේ තව කෙනෙකුගේ රිජෙක්ෂන් එක ඔයා ඔළුවට ගන්න එපා. ආදරයේ පරාජවීම් පවා දරාගන්න පුරුදු වෙන්න. මෝඩ වැඩ කරන්න හිතන්න එපා. ආදරණීය ගැහැනු, ආදරණීය පිරිමි ප්‍රතික්ෂේප කරන අය පාපතරයන් ලෙසයි මම දකින්නේ.
වයසින් පරිණත වෙනකොට තීන්දු තීරණ ගන්න විදිය වෙනස් වෙනවා කියලද නෙරංජි කියන්නෙ?
ඔව් අනිවර්යයෙන්ම. අපි ලස්සනට ඉන්නවා කියන එක වෙනම එකක්. ඒත් වයසට යනවා කියන එක නවත්වන්න බැහැ. ලයිෆ් එක කියන්නෙ එන්ජෝයි කරන්න ඕන දෙයක්. ඒ නිසා වයසට යන එක ගැන මම නම් සතුටුයි. මට 34 ක් කියලා මම කියන්නෙ ආඩම්බරයෙන්. මොකද මම පරිණත බව මම දන්නවා. විසි ගණන්වලදී ගත්ත තීන්දු තීරණ වැරදි බව මම දැන් දන්නවා.
ඒ නිසා සුදු කොණ්ඩේ එන එක පවා එන්ජෝයි කරන්න. එහෙම කළොත් ඒකෙ වෙනම රහක් තියෙන බව දැනේවී. මේ අවුරුදු 34 මම මීනින් ෆුල් ලයිෆ් එකක් ගත කළ බව මම දන්නවා. ඉපදිච්ච දරුවෙක් ඒ මොහොතෙම මැරෙන්න පුළුවන් කාලෙක අවුරුදු 34 ක් හැල හැප්පීම් මත ජයග්‍රහණ රැසක් එක්ක ජීවිතය ගෙවීම මාර ලස්සන කතාවක්. මේ අවුරුදු 34 ට මම ෆිල්ම් 10 ක් කළා. රටම දන්න නිළියක් වුණා. තව වෙන මොනවාද?
ඔයා ඉදිරි ජීවිතය සැලසුම් කරලද තියෙන්නෙ ?
මගේ ජීවිතයේ ප්ලෑන්ස් නෑ. ලැබෙන ඕනෑම දෙයක් ප්ලෑන් කරලා කරනවා. අද කවුරුහරි මගෙන් අහුවොත් මම කරනන්න ආස දේවල් මොනවද කියලා. මට එහෙම දේවල් නැහැ. හෙට මට අවස්ථාවක් ලැබුණා කියමුකෝ ලංකාfවි ජනාධිපති වෙන්න. ඒක ප්ලෑන් කරලා ගේම ගහනවා ලංකා ඉතිහාසයේ පළමු දමිළ ජනාධිපතිනිය වෙලා.
නෙරංජිට යාළු මිත්‍රයෝ ගොඩක් ඉන්නවාද මට යාළු මිත්‍රයෝ හරිම අඩුයි. ඉන්න ටික දෙනා කොලිටි. මම වැඩියෙන් කැමති ගෙදර ඉන්න. මම කැමතියි උයන්න. ඒ වගේම මම කැමතියි පෙට්ස්ලා එක්ක ඉන්න. මට මැකෝලා දෙන්නෙක් ඉන්නවා. ඔක්කෝම ගිරවි වර්ග 10 ක් මගේ ගෙදර ඉන්නවා. එයලා හරියට මගේ දරුවෝ වගේ. මගේ හවුස් ඕනගේ බල්ලත් මගේ පෙට් කෙනෙක් වෙලා. ඒ තරමට මම සත්තුන්ට ආදරෙයි.
ඔයාට ළඟින්ම ඉන්න අයගෙන් ලැබුණ සහයෝගය කොහොමද?
මුල් කාලේ නම් ගෙදරින් සපෝට් එකක් තිබුණේම නැහැ. අදටත් මම කියන කෙනා කව්ද කියල සහ මගේ කැපෑසිටි එක මොන තරම්ද කියල මගේ අම්ම්වත් එකම අක්කවත් මගේ අනෙක් අක්කලා අයියලවත් හරියටම හඳුනගෙන නැහැ කියලයි මට හැම තිස්සේම හිතන්නෙ. හැබැයි එයාලා මට සපෝටිව් තමයි. නමුත් ඇප්ප්රිෂියෙට් අඩුයි. මට රටම ආදරේ නිසා ගෙදරින් ලැබෙන ආදරයේ අඩුව දැන් මම ගණන් ගන්නෙ නැහැ.
හරින්දී ලියනගේ