මොන්ටිසෝරියට නැත්නම් පෙර පාසලට නොගිය කෙනෙක් නැති තරම්. මොනතරම් ඉහළට ඉගෙන ගත්ත කෙනෙකුට වුණත් මුල් අඩිතාලම ලැබුණෙ පෙර පාසලෙන්. දරුවන්ගේ නිදහස් මනස තේරුම් ගනිමින් ඔවුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කරමින් අනාගතයට අවශ්‍ය අඩිතාලම දාන්න මේ පෙර පාසල කියන සංකල්පය ලොකු උදව්වක්. කවදාවත් නොදැකපු ළමයින් වෙනුවෙන් මේ මොන්ටිසෝරි කියන සංකල්පය, ආයතනය ගොඩනගලා, විශාල මෙහෙයක් ඉටු කළ ඒ විශිෂ්ඨ කාන්තාව ගැන ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ.
ඇය නමින් මාරියා මොන්ටිසෝරියි. 1870 අගෝස්තු 3 වෙනිදා ඉතාලියේ දී ඉපදුණු මාරියා ටෙක්ලා ආර්ටමිසියා මොන්ටිසෝරිට අවුරුදු 12 දී ඇය තම දෙමාපියන් සමග රෝමයට පදිංචියට යනවා. ඒ පුංචි මාරියාට යහපත් අනාගතයක් ලබාදෙන්න අවශ්‍ය මූලික අඩිතාලම දාන බලාපොරොත්තුවෙන්.
එයට උපරිම සාදාරණය ඉටු කරමින් ඇය 1893 දී රෝමයේ සැපිනොසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. පසුව ඇය ඉතාලියේ බිහි වූ ප්‍රථම වෛද්‍යවරිය ලෙසද වෛද්‍ය විද්‍යාවට මෙන්ම ශල්‍ය විද්‍යාවට ආචාර්ය උපාධි ලබාගත් ප්‍රථම ඉතාලි ජාතික කාන්තාව ලෙස ද නම් දරනවා.
මාරියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන එක මාරියාගේ දෙමව්පියන් විරුද්ධ වුණත් ඒ විරුද්ධතා මැද මාරියා පසුබහින්නෙ නැතුව තමන්ගේ ගමන යනවා. ඒ වගේම කාන්තාවක් වෛද්‍ය විද්‍යාලයට එන එක ලොකුවටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
ඇය ගියපු වෛද්‍ය විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක්ට. ඒ කාලේ ඉතාලියේ මිනිස්සුන්ට අනුව වෛද්‍ය විද්‍යාලය කියන්නේ පිරිමින්ට විතරක් අයිති තැනක්. ඒ වගේ බාධක ගොඩක් බිඳගෙන ඉස්සරහට ගිය මාරියා තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගෙන ගමන නතරකරන්නේ නෑ.
1896 අවුරුද්දේ ස්ත්‍රී සමානාත්මතාවය පිළිබඳ බර්ලිනයේ පවත්වන ලද අන්තර්ජාතික සමුළුව නියෝජනය කරමින් ළමා මෙහෙකාරකම් පිළිබඳව ප්‍රසිද්ධ වේදිකාවක අදහස දැක්වුවේ ළමයින් කෙරේ තමන්ගේ හිතේ තියෙන ආදරණීය හැඟීම් ලෝකයක් ඉදිරියේ විවර කරමින්ය. ඒ අවුරුද්දෙම රෝමයේ සැන්ටෝ ස්පිරිටෝ රෝහලේ ශල්‍ය සහයකයෙකු ලෙස සේවය කළ මාරියාට ගොඩක්ම ඉන්න වුණේ දුප්පත් මිනිස්සුන්ගේ පුංචි දරුවො එක්ක.
1897 දී රෝම විශ්ව විද්‍යාලයේ මනෝ චිකිත්සක සායනයක පර්යෙෂණ කටයුත්තකට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන මාරියාට තමන්ගේ පෙම්වතා වන Giuseppe Montesano ව මුණ ගැහෙනවා. රෝමයේ සරණාගතව ඉන්න මානසික ආබාධ තියෙන පුංචි දරුවො හොයාගෙන ගිහින් එයාලට බෙහෙත් කරන්න මාරියාට අවස්ථාව ලැබෙන්නෙත් ඔන්න ඔය කාලෙදිම තමයි.
මෙහෙම යන සංචාරයන්වලදී අහන්න දකින්න ලැබුණ දේවල් එක්ක මාරියා තව තවත් මේ වගේ අසරණ අහිංසක දරුවො ගැන හොයන්න බලන්න, ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඒ සොයා බැලීමේ උනන්දුව වැඩිවන තරමට මේ දරුවන්ට වැඩි අවධානයක දෙන්නත් මාරියා කටයුතු කරනවා.
අවුරුදු 28 දී ටියුරින්වල පැවැත්වුණ ජාතික වෛද්‍ය සම්මේලනයට කතාකරන මාරියා මානසික සහ චිත්තවේගීය ගැටලු තියෙන දරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන වෙන් කරලා නැති එක ගැන මතභේදාත්මක අදහස් ප්‍රකාශ කරනවා. ඒ කතාබහ එතනින් නතර කරන්නෙ නැතුව ඊළඟ අවුරුද්දෙ ජාතික අධ්‍යාපනික සම්මේලනයට කතා කරන මාරියා අධ්‍යාපන ක්‍රියාමාර්ග මත පදනම් වූ සමාජ ප්‍රගතිය සහ දේශපාලන ආර්ථිකය ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා.
වෛද්‍ය අධ්‍යාපනික ආයතනවල පදනම සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ සේවය කරන ගුරුවරුන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙන්න කියලා ඉල්ලන්න මාරියාට ලොකුවටම හේතුවක් වෙන්නෙ පුංචි කාලේ ඉඳලම “අධ්‍යාපනයෙන් තමයි සමාජය වෙනස් කරන්න පුළුවන්” කියල එයා තේරුම්ගත්ත සිතුවිල්ල.
දරුවන් ගැන වගේම සමාජීය සහ අධ්‍යාපනික ගැටලු ගැන කතාකරගෙන ගිය මාරියාට මානසික ආබාධ නිසා අසරණ වෙලා ඉන්න පුංචි දරුවො ගැන හොයන්න තවත් හේතුවක් වෙනවා 19 වන සියවසේ මුල් භාගයේදී මේ ක්ෂේත්‍රයේ පෙරළිකාර වැඩක් කර ප්‍රංශ ජාතික Jean-Marc Itard සහ ඔහුගේ ශිෂ්‍ය Edouard Séguin 1899 දී මාරියා පැරිසියේ Bicêtre කියන රෝහලේ මේ Itrad සංකල්පයන් වර්ධනය කරමින් ඔහු විසින් රචිත Traitement moral, hygiène et education des idiotes (1846) කියන පොත ඉතාලි භාෂාවට පරිවර්තනය කරනවා.
පුංචි දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ නිර්මාණය කරගෙන දරුවෙන් වෙනුවෙන්ම කැපවුණු මාරියා 1893 දී මාරියෝ කියන තමන්ගේ පුංචි පුතාට උපත දෙනවා. මාරියා සහ Giuseppe Montesano ඔවුන්ගේ දරුවා රෝමයේ ගම්බද ප්‍රදේශයට පවුලකට හදාගන්න දෙනවා. ඒකට හේතුවක් නම් පැහැදිලිව සඳහන් වෙලා නොතිබුණාට මාරියෝතමන්ගේ අම්මා මාරියා බව දැනගන්නෙ වැඩිමහල් පිරිමි ළමයෙක් වුණාට පසුව.
ඒත් මොකක් හෝ වාසනාවකට ඒ පසුකාලීනව ඇතිවන සම්බන්ධේ ඉතාම යහපත් සම්බන්ධයක් වුණා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නෙ.
ඒ බැඳීමේ ශක්තිමත් බව නිසාම තමයි මාරියෝ තමන්ගේ අම්මා එක්ක එකතුවෙලා ඇයගේ සියලුම වැඩවලට සහයෝගය දක්වලා තියෙන්නේ.
1904 දී රෝම විශ්ව විද්‍යාලයේ කතිකාචාර්වරියක ලෙස වැඩ බාර ගන්න මාරියා “අපි ලබන අධ්‍යාපන විෂය වන්නේ මනුස්සකම. අපි ඉගෙන ගන්නේ ගුරුවරුන් වෙන්න. යහපත් ගුරුවරයෙක් තුළ දකින්න ලැබෙන මූලික ලක්ෂණය වන්නේ දරුවන්ට දක්වන ආදරය” බව තමන්ගේ සිසුන්ට නිතරම කිව්ව බව සඳහන් වෙනවා.
රෝමය ඉතාම සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබුණ මේ වකවානුවේදී එරට අතහැර දමා තිබූ ඇතැම් ගොඩනැගිලි දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල ඉන්න පාසල් නොයන ළමයිතමන්ගේ සෙල්ලම් පිට්ටනි කරගෙන තියෙනවා. ළමයිව රැකබලා ගන්නා ගනිමින් ඒ ප්‍රශ්නෙට ලබා දෙන විසඳුමක් විදියට තමයි මාරියා 1907 ජනවාරි 6 වෙනිදා ඇගේ ප්‍රථමික ළමා නිවාස අරඹන්නේ.
මොනතරම් හොඳ දෙයකට වුණත් ඉතින් මුල් කාලේ එහෙම ලොකු පිළිගැනීමක් ලැබෙන්නෙ නෑ. හැබැයි මේ පටන්ගත්ත දේ කවදහරි ලෝකෙම කතාකරන දෙයක් වන බවට මාරියාට තිබුණ විශ්වාසය තමයි අද මුළු ලෝකෙම පැතිරිලා තියෙන ළමා අධ්‍යාපනයේ මුල් පියවර වන පෙර පාසල් සංකල්පය බිහිවෙන්නේ.
( අන්තර්ජාලය ඇසුරෙන් )
අර්චිත ඉඳුවර