වෘත්තිමය වශයෙන් කෙනෙකු කොතැනක සිටියත් ඔහු තුළ නිහඬ කලාකරුවකු සිටිය හැකිය. ඇතැම්විට වෘත්තීය ජීවිතයේ ඇතිවන කර්යබහුලත්වය සහ වගකීම් නිසාම ඔවුන් තුළ සැඟව සිටින කලාකරුවා එළියට නොපැමිණම සැඟව යා හැකිය. නමුත් තවත් කොටසකගේ කලාකාමීත්වය නොසිතූ මොහොතක ඉස්මතු වියද හැකිය.
ලංකාවේදී ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු ලෙස රෝගීන් සහ සමාජයෙ බොහෝ දෙනෙක් හඳුනාගත් සමීර ජානක ජයසිංහ එංගලන්තයේ සේවය කරමින් සිටින අතරතුරේදී ඔහු විසින්ම ලියූ පදවැල් ලංකාවේ ප්‍රවීණ සංගීත අධ්යක්ෂවරුන් ලවා සංගීත සංයෝජනය කරමින් ඊට නොදෙවැනි ලෙස ගායක ගායිකාවන් ලවා හඬ මුසු කරමින් නොනැවතී ඔහු විසින්ම රූපරචනය කරමින් ගීත ලෙස මේ වෙනවිට සමාජ මධ්‍යයට සහ රූපවාහිනී මාධ්‍යට මුදාහැර ඇත.
“මගේ මුල්ම සිංදුව මම කළේ 2020 කොරෝනා අස්සේ. ඒක දියණි ඔබයි මා සනසනා සිංදුව. ඒකේ පද රචනය කළේ මම. ටී.එම් ජයරත්න සහ නෙළු අධිකාරී තමයි ගායනය කළේ. ඊටපස්සෙ මගේ දිගු නිහැඬියාවක් තිබුණා.මම තරුණ වයසේදීම කොළඹ ජාතික රෝහලෙන් විශ්‍රාම දිවියට යොමුවෙලා එංගලන්තයේ සේවය සඳහා ආවා. ඒ නිසා ලංකාවේදි තිබුණේ නැති විවේකයක් මට ලැබුණා. ඒ වෙනකොටත් අවුරුදු 20 ක් මම ලංකාවේ වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරලා ඉවරයි. ලැබුණු විවේකයෙන් නැවතත් ගීත ලියන්න පටන් ගත්තා. එහෙම ලිව්ව ගීත තුනක් තමයි පසුගිය මාස එකහමාරක කාලය තුළ එළි දැක්වුණේ.
ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස තිබූ කාර්ය බහුලත්වය ඔබේ සෞන්දර්යාත්මක හැගීම් නිහඬ කළා කියලද ඔබ කියන්නේ ?
එහෙම තමයි කියන්න වෙන්නෙ. ලංකාවෙදී අපේ රැකියාවත් එක්ක සහ ඒ හා සම්බන්ධ දේවල් එක්ක පෞද්ගලික ජීවිතයටවත් වෙලාවක් තිබුණේම නැති තරම්. නමුත් එංගලන්තයේදී ලැබෙන නිදහසත් එක්ක ලියන්න, ඇවිදින්න කාලය ඉතිරි වුණා.
ඇයි හැම ගීතයකටම රූප රචනයක් කළේ ?
ගීතයක් ලියනකොට ඒ පදවැල්වලට අදාළ රූපරාමු හදවතේ ගොනු වෙනවානේ. ඒ මම ලියන දේ තුළ ජීවත්වන නිසා. ඒ නිසා මම හිතේ ඇතිවුණු සිතුවිලි කැමරාව හරහා රූප පෙළකට ගන්න තීරණය කළා. ඒක මගේ හිතේම තියෙන නිසා මමම කළ යුතු යැයි හිතුවා. ඒ මියුසික් වීඩියෝ නිෂ්පාදන කළෙත් අධ්‍යක්ෂණය කළෙත් රංගපෑවෙත් මම. මට කොහොම වුණත් ඕන වුණේ මගේ හිතේ ඇතිවුණ හැගීම් අර්ථ රසයෙන් පරිපූර්ණ සිංදු විදිහට එළියට දාන්න. ඒ සිංදු තුනටම මට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
මේ ගීත තුනම ආදර ගීතද ?
මේ සිංදු තුනෙන් පළවෙනි එක ‘වරා මලක්’. ඒක ගායනා කරන්නෙ කීර්ති පැස්කුවල් සහ ධම්මිකා වල්පොළ. දෙවනි සිංදුව ‘රිදුණා’. ඒක විරහවත් එක්ක යන සිංදුවක්. ගායනා කරන්නේ සමිතා එරංදතී සහ කීර්ති පැස්කුවල්. ගීත දෙකේම සංගීත අධ්‍යක්ෂණය මහින්ද බණ්ඩාර. තුන්වෙනි ගීතය ‘සංසාර මහ ගිරිදඹේ’. ඒ සිංදුව ගායනා කරන්නෙ චන්දන ලියනාරච්චි සහ යශෝධා ප්‍රියදර්ශනී. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග.
පාසල් කාලෙදිත් ඔබ කලාවට නැඹුරු කෙනෙක්ද ?
පාසල් කාලේ ඉඳලම මට කලාකාමී අදහස් තිබුණා. මගේ අම්මගේ අයියා තමයි පියසේන රතුවිතාණ. මම රාජකීය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ කරන කාලදිත් සිංහල භාෂාවට සහ සාහිත්‍යට ගොඩක් ඇළුම් කළා. උසස් පෙළට ජීව විද්‍යා අංශය තෝරගත්ත නිසා සිංහල විෂයෙන් මම ටිකක් ඈත් වුණා. උසස් පෙළ විද්‍යා විෂයන් කරලා ලංකාවේ පස්වෙනියට A 4 ක් අරගෙන පාස්වුණා. ඒ නිසා කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුණා. ඒ කාලෙත් මම විදුසර වගේ විද්‍යා සඟරාවලට ලිපි ලිව්වා.
හරින්දී ලියනගේ