අත් පා හතර හොඳින් ඇතිව ඉපදෙන සෑම කෙනෙකුටම ඵලදායී ජීවිතයක් ගතකිරීමට මෙම අවයව දෙකෙන් ලැබෙන සවිය කොතෙක්දැයි කෙනෙකුට තේරෙන්නේ යම් හෙයකින් එක් අවයවයකට කුමන හෝ අනතුරක් සිදුවූ විටකය. එය කකුලේ හෝ අතේ ඇඟිල්ලක් තැලීමේ සිට සුළු කැපීමක්, සම්පූර්ණයෙන් වෙන්වීමක් මෙන්ම අත් පා ඉවත්වීම දක්වා පුළුල් පරාසයක විහිදෙන අනතුරු විය හැකිය.
විශේෂයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලට වාර්තාවන අනතුරු අතර වැඩි ප්‍රමාණයක් වර්තාවන්නේ අත්වලට සිදුවන අනතුරු වන අතර ඉන් වැඩි පිරිසක් තරුණ පරපුර නියෝජනය කරන රෝගීන්ය. එම නිසා ඔවුන්ගේ වෘත්තීන් පෙර පරිදි කරගැනීමට නොහැකි වීමෙන් ඔවුන් කාගෙන් හෝ යැපෙන්නන් බවට පත්වෙමින් ජීවිතයේ ගුණාත්මකභාවය අවමවීම අභාග්‍යයක් නොවන්නේද? රටේ ජාතික ධනයෙන් වැඩි ප්‍රමාණයක් අත් පාවල ශල්‍යකර්ම සඳහා වැයවන අතර එය අවම කරගැනීම ජාතික අවශ්‍යතාවක් වන තරමටම සංකීර්ණ වී ඇත.
මිනිසාගේ අත විස්මිත නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය. මෙම විස්මිත නිර්මාණය සෑදී ඇත්තේ අස්ථි, සන්ධි, කණ්ඩරා, ස්නායු, චර්මය ආදී සියලුම කොටස්වල එකතුවෙනි. අත ඉතාම සංකීර්ණ ශරීර ව්‍යුහයකි. ඉතා සුළුවෙන් හෝ අතේ ඕනෑම කොටසකට සිදුවන අනතුරකින් මුළු ඇඟිල්ලම මිය යා හැකිය. එපමණක්ද නොව නියට සිදුවන අනතුරුකින් පවා විශාල හානියක් අතට සිදුවිය හැකිය.
අතකට සිදුවන අනතුරු ගැන කතා කරන විට වඩාත් පෙනීයන්නේ රටේ නිෂ්පාදනයට උරදෙන ජීවිතයේ ක්‍රියාකාරී අවධිවල සිටින තරුණ පිරිස මෙවැනි අනතුරුවල වඩාත් ගොදුරු වන බවයි. ඒවා ඇඟිල්ලක් තැලීමේ සිට අතේ කොටසක් වෙන්වීම දක්වා පුළුල් පරාසයකට විහිදෙන අනතුරු වේ.
අතකට සිදුවන අනතුරුවලින් කෙනෙකුගේ ජීවිතයේ ගුණාත්මකභාවය අඩුවේ. මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිම කොටස ලෙස හැඳින්වෙන්නේ දෑත සඳහා සන්නිවේදනය සපයන මොළයේ කොටසයි. විශේෂයෙන්ම මානව පරිණාමය ගැන සළකා බැලීමේදී මානවයාගේ දෑතේ විකාශය සහ මහපට ඇඟිල්ලේ වර්ධනය මෙන්ම චලන පරාසය පුළුල්වීම මානවයා මෙතරම් දියුණු වීම සඳහා හේතු වූ බවද පිළිගැනේ.
අපි දන්න ආකාරයට කුඩා දරුවකුගේ අතට අනතුරක් සිදුවූ විට අතේ ක්‍රියාකාරිත්වයට බලපාන ඔවුන්ගේ මොළයේ කොටස පවා අකර්මණ්‍ය වන බව හඳුනාගෙන තිබේ. ඒ නිසා එම දරුවාගේ අධ්‍යාපනය, එදිනෙදා වැඩ කරගැනීම මෙන්ම පසුකාලීනව රැකියාවක් ලබාගැනීම දක්වා ජීවිතයට බලපැම් ඇති කරයි.
විශේෂයෙන්ම අපේ රටේ දෙඅත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු පියවර නොගැනීම වාගේම දෑත්වල ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවීමද මෙවැනි අනතුරුවලට ප්‍රධාන හේතුවයි. එම නිසා ඕනෑම කෙනෙකු වෘත්තීය කටයුතුවල සහ එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී අතට අනතුරු විය හැකි උපකරණ භාවිතයේදීවත් අත්වැසුම් හෝ ආරක්ෂක මෙවලම් භාවිත කිරීමෙන් බොහෝ අනතුරු වළක්වා ගත හැකියි.
වඩා බහුල දෑතට සිදුවන අනතුරු
ග්‍රයින්ඩර් භාවිතයේදී
අනාරක්ෂිත ලෙස මෙවලම් භාවිතය මෙයට හේතුවයි. විශේෂයෙන් පියන ඉවත් කර ග්‍රයින්ඩරය භාවිතය, ස්වයංක්‍රීයව නැවතෙන ස්විචය එසේ නැවතීමෙන් ඉවත්කර දිගටම භාවිතයට සැලැස්වීම, ග්‍රයින්ඩරය ක්‍රියාත්මක වන අවස්ථාවවේදී එයට ඇඟිලි හෝ අත දැමීම වැනි වැරදි ක්‍රියා නිසා අතට අනතුරු සිදුවන අවස්ථා බෙහෝය.
කියත් භාවිතය
විශේෂයෙන්ම දැව සහ වඩු කර්මාන්තයේ යෙදෙන පිරිසට නොසැලකිලිමත් ලෙස මෙවැනි උපකරණ භාවිතය නිසා අනතුරු සිදුවේ. මෙවැනි උපකරණ භාවිතයේදී අත් ආවරණ භාවිත නොකිරීම මෙවැනි අනතුරුවලට බොහෝ සේ බලපායි.
කොහුබත් කාර්මාන්තයේ දී භාවිත වන උපකරණ
විශේෂයෙන්ම වයඹ පළාතේ මෙවැනි අනතුරු බහුල ලෙස වාර්තා වේ. ඇතැම් අවස්ථාවලදී මෙවැනි අනතුරු නිසා අතේ ඇඟිලි පහම අනතුරුවලට භාජනය වූ අවස්ථාද අප දැක තිබේ.
දෑතට සිදුවන අනතුරුකදී කළ යුතු දේ
ප්‍රථමාධාරවල වැදගත්කම…
දෑතට සිදුවන අනතුරුවලදී කළ යුතු ප්‍රථමාධාර පිළිබදව දැනුවත් වී සිටීමෙන් රුධිර වහනය වළක්වා ගතහැකිය. ඒ සඳහා අනතුරේ ප්‍රමාණය ගැන අවබෝධයකින් සිටීම අවශ්‍ය වේ.රුධිර වහනයක් සිදුවන අවස්ථාවකදී නම් එය වළක්වා ගැනීම සඳහා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු අතර ඒ සඳහා පිරිසිදු රෙදි කඩකින් රුධිර වහනය වන තැනට ප්‍රතිපීඩනයක් ලබාදීම අවශ්‍ය වේ.
ඒ සමඟම රුධිර වහනය වන ඇඟිල්ල හෝ අත ඔසවා තබාගැනීම කළ යුතුය. අස්ථි භග්නයක් සිදුවූ අවස්ථාකදී නම් එම අස්ථිය ඇදවීමෙන් වළක්වා ගැනීම සඳහා එම අතේ අස්ථි භග්නය සිදුවූ තැන පතුරක් ආධාරයෙන් ස්ථායිව තබා පපුව මට්ටමට ඉහළින් තබාගනිමින් ළඟම ඇති රෝහලට රෝගියා ගෙන යා යුතුය. එසේ කිරීමෙන් රෝගියාගේ වේදනාවද අඩුවේ.
විෂබීජ ආසාදනවලින් වළක්වාගැනීමට අතේ තුවාලය සෝදන්න…
කොහුබත් මැෂිමකට හෝ කියතක් මඟින් දෑතට සිදුවන අනතුරකදී එම දෑතට කොහුබත් හෝ ලී කුඩු වැනි අපද්‍රව්‍ය කොටස් තැවරෙන බැවින් විෂබීජ ආසාදන වළක්වාගැනීම සඳහා වහාම අනතුරට ලක්වූ අතේ කොටස පිරිසිදු ජලයෙන් සේදීම කළ යුතුය.
වෙන්වූ අඟිලි කොටස අයිස් තුළට දාන්න එපා…
ඇඟිල්ලක් හෝ ඇඟිල්ලක කොටසක් සම්පූර්ණයෙන්ම වෙන්වූ විට එම ඇඟිලි කොටස රෝහල වෙත නිසි පරිදි රැගෙන ඒමෙන් බද්ධ කළ හැකි අවස්ථා ඇත. එවැනි අවස්ථාවකදී අතේ හෝ ඇඟිල්ලේ කොටසක් බද්ධ කිරීම පළපුරුදු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුට විස්මිත ශල්‍යකර්මයක් නොවේ. එවැනි කොටසක් රැගෙන ආ යුත්තේ වෙන්වුණු කොටස පිරිසිදු පොලිතින් උරයක බහා එම පොලිතින් උරය අයිස් සහ වතුර යෙදූ බඳුනක තබාගෙනය.
කිසිවිටෙකත් කැපුණු කොටස අයිස්වලට හෝ වතුරවලට සෘජුව දැමීම නොකළ යුතුය. එසේ වුවහොත් ඇඟිල්ලේ කොටස බද්ධ කළ නොහැකි වේ. මෙවැනි සැත්කමකට ජාතික සෞඛ්‍ය සේවයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වැයවේ. එපමණක්ද නොව පැය 7 – 8 ක කාලයක්ද වැයවේ. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු මෙවැනි සැත්කමකට යොමුවන්නෙ සාර්ථකවම ඇඟිලි කොටසක් බද්ධ කළ හැකි අවස්ථාවකදී පමණයි.
ශල්‍යකර්මයකින් පසු දෑතක් ආසාදනය වුවහොත්…
ඕනෑම ශල්‍යකර්මයකින් පසු ආසාදන ඇතිවිය හැකියි. විශේෂයෙන් අතකට සිදුකරන ශල්‍යකර්මයකින් පසු මූලික ආසාදන ලක්ෂණ වන සැරව ගැලීමක්, ඉස්ම ගැලීමක්, දුර්ගන්ධයක් සහ අත රතුපැහැ ගැන්වීමක් සිදුවුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතුය.
ශල්‍යකර්මයකින් පසු දෑතක් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව
අතක සිදුකරන ඕනෑම ශල්‍යකර්මයකින් පසු එම රෝගියා පළමු දවසේ සිටම පුනරුත්ථාපන වැඩසටහන්වලට යොමුවීම අනිවාර්ය වේ. එහිදී ලබාදෙන ඇඟිලි නැවීම සහ දිගහැරීම මඟින් 90% ක් පමණ රෝගීන්ගේ අත හෝ ඇඟිලි අකර්මන්‍ය වීම මඟහැරේ. අතකට සිදුවන අනතුරකදී අස්ථි, සන්ධි, කණ්ඩරා අකර්මණ්‍ය වියහැකි බැවින් ඒවා නැවීමට හෝ දිගහැරීමට වන අපහසුතාවන් වළක්වාගැනීම සඳහා ලබාදෙන ව්‍යායාම කිරීම අවශ්‍ය වේ.
මුල් සති තුන ඇතුළත එලෙස ව්‍යායාම සිදුනොකළේ නම් අතේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම වළක්වාලිය නොහැකියි. අතක ශල්‍යකර්මයක් යනු අතක් යාථා තත්ත්වයට පත්කරගන්නා පියවර අතරින් 50% ක් පමණි. ඉතිරි 50% ඇත්තේ රෝගියාට අත යථා තත්ත්වයට පත්කර ගැනීමේ අවශ්‍යතාව සහ වුවමානව මතවේ. එසේ නොකිරීමෙන් සිදුවන්නේ නැවත නැවතත් රෝගියා අතේ ශල්‍යකර්මවලට භාජන කිරීමකි.
ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් නව සැත්කමක්
අතේ මහපට ඇඟිල්ල අහිමි වන අයට නව බලාපොරොත්තුවක්…
ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයෙන් ලබාදෙන නව සැත්කමක් වන්නේ කෙනෙකුගේ අතේ මහපට ඇඟිල්ල අනතුරකින් ඉවත් වුවහොත් ඒවැනි කෙනෙකුට ඔවුන්ගේම කකුලේ මහපට ඇඟිල්ලෙන් කොටසක් බද්ධ කිරීමයි. මේ වන විට රෝගීන් 30 ක ට ආසන්න සංඛ්‍යාවක් මෙම සැත්කමට භාජන කර තිබේ. මෙය මහපට ඇඟිල්ල නැති හෝ එහි අඩුපාඩු තිබෙන රෝගීන්ට සුබ ආරංචියක් වනු ඇත.
ප්ලාස්ටික් ශල්‍ය
වෛද්‍ය විශේෂඥ
ගයාන් ඒකනායක
ප්ලාස්ටික් ශල්‍ය ඒකකය
ශ්‍රී ලංකා ජාතික රෝහල
හරින්දී ලියනගේ