නළ බබාලා හැදිල්ලත් දැන් ජාවාරමක් වෙලා
ගහකට ගෙඩි බරවිය හැකිද? නැතිනම් වැලකට ගෙඩි බරවිය හැකිද?ස්වාභාවධර්මයාගේ රීතියට අනුව එසේ විය නොහැකි මුත් එසේ විය හැකි අවස්ථාද තිබිය හැකිය. අවුරුදු 12 ක් කිරි සිනහ නොදැක සමාජයෙන් නොයෙකුත් අවලාද අසමින් ගැරහුම් ලබමින් සිටි යුවළකට හිටි හැටියේම දරු සම්පතක් පහළවීම ඉහේ මල් පිපුනාක් මෙන් ඔවුන්ට දැණුනද දැන් එය උඩු දුවන ප්‍රශ්නයක් වී ඇත්තේ එක දරුවකු වෙනුවට ලේන් පැටව් වැනි දරුවන් 6 දෙනෙකු ඇගේ ගැබේ ගුලි වී සිටි නිසාය.
මෙය IVF තාක්ෂණයේ හාස්කමක් ලෙස ගන්නේද නැත්නම් මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ඇති වී තිබෙන හිඩැසක ප්‍රතිඵලයක් ලෙස ගන්නේද තීරණය කළ යුත්තේ මේ රටේ මහ ජනතාවය. මන්ද රටේ පවතින ආර්ථික උද්ධමනය හමුවේ දරු පැටියෙකු හදාගැනීමත් උබතෝකෝටික ප්‍රශ්නයක් වී ඇති සමයක නොමේරූ දරු පැටව් හය දෙනෙකු හදාවඩා ගැනීම ගැන කවර කතාද?
පළවෙනියටම කියන්න ඕන මේක අපට සෙලිබ්රේට් කරන්න හොඳ අවස්ථාවක් නෙමෙයි. හේතුව තමයි අපි හරි අමාරුවක වැටිලයි ඉන්නෙ. මේ අහිංසක මිනිස්සුන්ට ලොකු සල්ලියක් තියෙනවා කියල මම නම් හිතන්නෙ නෑ. ඔවුන්ගේ පදිංචිය වේයන්ගොඩ. මේ අම්මා ගෘහණියක්, තාත්තා පෞද්ගලික ආයතනක වෙළෙඳ නියෝජිතවරයෙක්. අවුරුදු 12 ක් ළමයි නැතුව ඉඳල තමයි IVF තාක්ෂණයෙන් ගැබ්ගෙන තියෙන්නෙ.
අම්මට මුලින් කියලා තියෙනවා බබලා පස්දෙනෙක් ගර්භාෂයේ ඉන්නව කියල. මේ අම්මට පේන්ස් ඇවිල්ලා අමාරුවෙලා 15 වැනි ඉරිදා උදේ කාසල් රෝහලට ඇතුළත් කරල තිබුණා. නමුත් අවාසනාවකට අපිව දැනුවත් කළේ ඉරිදා හවස. ඇත්තටම අපි දැනගෙන හිටියෙත් නෑ අපේ හොස්පිටල් එකේ මෙහෙම අම්ම කෙනෙක් ඉන්න බව. මේ නිසා අපට කිසිම පෙර සූදානමක් මේ ඩිලිවරි එක සම්බන්ධයෙන් කරන්න බැරි වුණා. ඩොක්ටර්ස්ලා 12 දෙනෙකුගේ කණ්ඩායමක් මේ ඩිලිවරි එකට එකතු වුණා.
දරුවන්ට සති 26 යි. ඒ කියන්නේ ගොඩක් නොමේරූ ළදරුවන්. ඩිලිවරි එකට කලින්ම අපි දැනගෙන හිටියේ බබාලා පස්දෙනාම දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන්න වෙන බව. ඒ කියන්නෙ නොමේරූ ළදරුවන් පස්දෙනෙක් බලාගන්න උපකරණ අපේ නොමේරූ ළදරු ඒකකයේ තියෙන්න ඕන බව. මොකද එක සැරයකට දැඩිසත්කාර ඒකකයේ ඇඳන් 5 ක් හොයන එකම හරිම අමාරු වැඩක්.
ඩිලිවරි එකේදි තමයි අපි දැනගත්තෙ ඇගේ ගර්භාෂයේ බබාලා හය දෙනෙක් ඉන්නව කියල.කලින් කළ ස්කෑන් පරීක්ෂණවලදිවත් බබාලා 6 ක් ඉන්න බව පෙනිල නැහැ. ඒ බබාලා හයදෙනාම ඉතාම දුර්වල තත්ත්වෙකයි හිටියෙ. මේ බබාලගේ ප්‍රසූතිය සහ රැකවරණය සම්බන්ධයෙන් කටයුතු කළේ අපේ රෝහලේම ඉන්න ළදරු රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ. බුද්ධිම යටතේ තමයි දැනටත් මේ බබාලා හයදෙනාම ප්‍රතිකාර ලබන්නෙ.
බබාලා හයදෙනාම පිරිමි ළමයි. එයාලගේ බර ග්‍රෑම් 450 ත් 700 ත් අතර තිබුණා. පස්දෙනෙක් කාසල් වීදියේ කාන්තා රෝහලේ නොමේරූ ළදරු ඒකකයෙත් එක් බබෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයෙත් ප්‍රතිකාර ලබනවා. ළදරුවෝ හයදෙනාම ඉන්නේ ක්රෘත්රිම ස්වසනය යටතේ. බබාලගෙ අම්මගෙ සෞඛ්‍ය තත්ත්වයේ ගැටලුවක් නැහැ. ඇය මේ වෙනකොට සාමාන්‍ය වාට්ටුවක හොඳින් ඉන්නවා.
මේ හය දරු ප්‍රසූතිය ඇතුළේ මාධ්‍යයත් දන්නෙ නැති සාමන්‍ය ජනතාවත් දන්නෙ නැති ලොකු කතාවක් කතා කරන්න තියෙනවා. ඒ කාරණය අපි වගේ වෛද්‍යවරුන්වත් කතා කළ යුතුයි. IVF තාක්ෂණය යොදාගෙන මෙහෙම දරුවො පහ හය හදන්න බැහැ. ඒක නීති විරෝධියි. දරුවන් නැති යුවළකට මුදල් තියෙනවා නම් පෞද්ගලික අංශයේ තිබෙන IVF තාක්ෂණය මඟින් දරුවෙකු ලබාගැනීමට යොමු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී එක කලලයක් හෝ උපරිම කලල දෙකක් පමණයි වරකට තැන්පත් කළ හැක්කේ.
එහෙම නැතුව කලල කිහිපයක් තැන්පත් කිරීමට පෙළඹෙන්නේ මොකක් හරි එකක් හරියයි කියන වාණිජ බලාපොරොත්තුවකින්. විශේෂයෙන්ම මෙවැනි ආයතනවල අරමුණ තවත් දරුවන් නැති මිනිස්සුන් කොටසක් එම ආයතනවල ලියාපදිංචි කරගනිමින් මුදල් කඩාගැනීමයි. ඇත්තටම කිව්වොත් අද මේක ජාවාරමක්. මම පැහැදිලිව කියන්නෙ මේවාට නියාමනයක් තිබිය යුතුයි කියල.
උදාහරණයක් විදිහට ඇමරිකාව, එංගලන්තය වැනි දියුණු රටක මෙවැනි සිද්ධියක් සිදුවුවහොත් මේ වෙනකොටත් එම වෛද්‍යවරයාගේ වෛද්‍ය ලියාපදිංචිය තහනම් කරමින් සේවය අත්හිටුවනවා. නමුත් අපේ රටේ එහෙම නීති නැහැ. නියාමනයකුත් නැහැ.
ඒ නිසා තමන්ට ඕන ඕන විදිහට මේ IVF තාක්ෂණය යොදාගෙන හිතුමතේ කාන්තාවන්ගේ ගර්භාෂවල කලල තැන්පත් කරනවා. මේ රටේ IVF හරහා සාරධර්මවලින් පිටට ගිය මෙවැනි දේවල් ඕනෑ තරම් සිදුවෙනවා. එයින් අමාරුවේ වැටෙන්නෙ මෙවැනි අසරණ දෙමාපියන් සහ ඔවුන්ට දාව උපදින කිසිත් නොදන්නා දරුවන්.
අනෙක් කාරණය තමයි කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු දැඩිසත්කාර ඒකකයට අපට කිසිම දරුවෙකු දැන් අලුතෙන් ඇතුළු කරන්නට බැහැ. අඩුම තරමින් අපේ රෝහලේම අසනීප වන දරුවෙක්වත්. මොකද ඉඩකඩ සහ පහසුකම් නැති නිසා. එහෙම වුණොත් අපට සිදුවන්නෙ ලංකාවේ තියෙන වෙනත් ළදරු දැඩි සත්කාර ඒකකවලට ඇම්බියුලන්ස් මාර්ගයෙන් ලෙඩ වන දරුවන් මාරුකර යවන්නයි.
එතකොට ඒ දරුවන්ගේ ජීවිත අවදානමකට ලක් වෙනවා. අපේ රෝහලේ ළදරු දැඩිසත්කාර ඒකකය මේ බබාලගෙන් දැන් පිරිලා ඉවරයි. මේ ඔක්කෝම මේ සිද්ධිය එක්ක ඇතිවෙලා තියෙන තිත්ත ඇත්ත තමයි. අනෙක් කාරණය තමයි මේ ළදරුවන් හයදෙනා අපි කොහොම හරි බේරාගත්තොත් ඒගොල්ලො ගෙදර යද්දී තමයි අපි ඒක සෙලිබ්රේට් කරන්න ඕන.
නමුත් මේ දරුවන්ගේ තාත්තා කියනවා “මේ කාලෙ එක දරුවෙක්වත් හදාගන්න හයියක් නැති එකේ මම කොහොමද හය දෙනෙක් හදාගන්නෙ කියලා” එය අවධානය යොමු කළ යුතුම කාරණයක්. මම විශේෂඥ වෛද්‍යවරයෙකු වෙලත් මට එහෙම කරන්න ශක්තියක් නැහැ. ඒ නිසා මේවා තමයි කල්පනා කරන්න ඕන දේවල්. ඒකයි අපි කියන්නෙ මේවට නියාමනයක් සහ නීති අවශ්‍යයි කියල. අපේ රටේ නීතියක් හැදුවත් ඒවා මඟට ගිහින් නවතිනවා. පාර්ලිමේන්තු පනතක් විදිහට එළියට එන්න දෙන්නෙ නැහැ. මොකද මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ අය පනත් සහ නීති අතර මඟදී නවතනවා.
මම මේ අම්මගෙන් ඇහුවම කිව්වෙ එයාට IVF කළ පෞද්ගලික රෝහලෙන් දැනුම් දුන්නෙ කලල දෙකක් තැන්පත් කළ බව කියලයි. ඒකෙන්ම පේනවා මේ දෙමාපියන්ටත් කලල තැන්පත් කළ ආයතනය බොරු කරල තියෙන බව. ඔය කියන විදිහට තැන්පත් කළ කලල දෙක බෙදී දරුවන් හැදුනා නම් ලේ ඝන දෙකක නිවුන් දරුවන් ගර්භාෂයේ සිටිය යුතුයි.
නමුත් මේ දරුවන් හය දෙනාගේ රුධිර ඝන තුනක් අපි හඳුනාගෙන තියෙනවා. එතනින්ම පේනවනෙ මේ අම්මගෙ ගර්භාෂයේ කලල තුනටකට වඩා වැඩි ගණනක් ඔවුන් තැන්පත් කර ඇති බව. මෙවැනි දේ නිසා අද බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික අංශයෙන් IVF කරගෙන දරුවන් වැඩි සංඛ්‍යාවක් ගර්භාෂය තුළ ඉන්නා බව දැනගත් විට බොහෝ මව්වරුන් ප්‍රසූතිය සඳහා රජයේ රෝහල්වලට යොමුවීමක්. ඇත්තටම මේක බරපතළ ගැටලුවක්.
නව ජන්ම ළමා රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
එල්. පී. සී. සමන් කුමාර
ප්‍රධානී-ළදරු දැඩිසත්කාර ඒකකය
කාසල් වීදියේ කාන්තා රෝහල
බොරැල්ල
හරින්දී ලියනගේ