මිනිස්සු කියන්නෙත් සත්ව කොට්ඨාසයක්නෙ. ඊටපස්සෙ දෙමාපියන්ගේ ආදරය, රැකවරණය, ආගමික පසුබිම, අධ්‍යාපන මට්ටම සහ සමාජයත් එක්ක පවත්වන අන්තර් පුද්ගල සම්බන්ධතා එක්ක තමයි ‘තමා’ කියන පුද්ගලයා නිර්මාණය වෙන්නෙ. දරුවෙක්ගෙ අවුරුදු පහක කාලය තමයි ඔවුන් බුද්ධිය හොඳින්ම ග්‍රහණය කරගන්නා කාලය. ඒ කාලයේ ග්‍රහණය කරගන්න දේවල් ඔවුන්ගේ මුළු ජීවිතේටම බලපානවා තමන් සතු පුද්ගලයාව නිර්මාණය කරගන්න.
ඔය දරුවා ගැහැණු හෝ වේවා පිරිමි හෝ වේවා ලොකු වෙලා විවාහයක් කරගෙන වෙන ගෙදරකට ගියාට පස්සෙ බොහෝ වෙලාවට කියන දෙයක් තමයි නැන්දම්මා හින්දා, එක්කො සැමියා, බිරිඳ නිසා එහෙමත් නැත්නම් අලුතින් හම්බුණ නෑදෑයන්ගේ ක්‍රියාකලාපය නිසා ඉස්සර දේවදූතයෙක් වගේ හිටපු මාව යක්ෂයෙක් වුණා කියලා. මෙහෙම අය අනන්තවත් මට මුණගැහිල තියෙනවා. උපදේශිකාවක් හැටියට මම ඒ අයගේ අතීතය අධ්‍යයනය කරනකොට තේරුම් යනවා ඔවුන්ගේ ළමා කාලය එතරම් සුන්දර නෑ කියලා. දෙමාපිය ආරවුල්, එහෙමත් නැත්නම් පවුලේ තනිවෙලා හැදුණ ළමයෙක් නිසා වගකීමක් දරන්න අවස්ථාවක් ලැබිලා නෑ. නිදහසක් ලැබිලා නෑ.
කාන්තාවකගේ හෝමෝන වෙනස් වෙන ආකාර තුනක් තියෙනවා. පළවෙනි හෝමෝන වෙනස්වීම සිද්ධ වෙන්නෙ වැඩිවිය පැමිණීමේදී. දෙවන වෙනස් වීම දරුවෙක් පිළිසිඳගැනීමේදී සිදුවෙනවා. තුන්වන හෝමන වෙනස්වීම සිද්ධ වෙන්නෙ ආර්ථවය අවසන් වන අවස්ථාවෙදි. අවසන් අවස්ථා දෙක අදාළ නැති වුණත් පළමු අවස්ථාවේදී හෝමෝන වෙනස්වීම පිරිමි අයටත් සිද්ධ වෙන නිසා මේ අවස්ථාවන්වලදි දෙගොල්ලන්ටම සංකුලතා ඇති වීම සාමාන්‍යයයි.
අධික කෝපය, නොරිස්සුම් ස්වභාවය, සන්තාපය මෙහිදී වැඩිපුර සිද්ධ වෙන දෙයක්. සමහරවිට කියන්න හිටපු වචන නෙවේ වෙන්න පුළුවන් කටින් පිටවෙන්නෙ. ඉතින් මෙහෙම තමන්ගෙ වෙනසක් තමන්ටම දැනෙන්න ගත්තම ඒ පුද්ගලයම ඇවිත් ගැටලුව කියල ප්‍රතිකාර ලබාගන්න අවස්ථා තියෙනවා. විවාහයෙන් පස්සෙ හෝමෝන වෙනස් වෙන්නෙ දරුවෙක් පිළිසිඳගැනීමකදිනෙ.
එතකොට ඒකට අපි ක්‍රියාමාර්ගයක් අරන් තිබුණෙ නැත්නම් අපිට තරහා යන එක, දුක හිතෙන එක පාලනය කරගන්න, යම් ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. කාන්තා පාර්ශ්වය හිතන්න ගන්නවා එහෙම තත්ත්වයක් ඇති වුණේ සැමියා සහ ඔහුගේ පවුලෙ අය නිසා කියලා. නමුත් තමන්ගේ රසායනික සංයුති වෙනස් වීම නිසා මෙහෙම දෙයක් වෙන්න ඇති කියල පිළිගන්න ලෑස්ති නෑ.
දරුවෙක් කුඩා කාලයේ ඉඳන් යහපත් පෞරුෂයක් ගොඩනගාගෙන තියෙනවනම් වෙනත් පුද්ගලයෙක් නිසා ඒ මනුස්සයා වෙනස් වෙන්න කිසිම විදිහක් නෑ. ඒ ගොඩනගාගත්ත පෞරුෂය තමයි බිරිඳක්, මවක්, ලේලියක් විදිහට ඉස්සරහට අරගෙන යන්නෙ. යක්ෂයො වගේ මිනිස්සු ඉන්න පවුල්වල තමන්ගේ පෞරුෂත්වය ආරක්ෂා කරගෙන ඉන්න කාන්තාවනුත් ඉන්නවා. තමන් ගාව තියෙන්නෙ ආදරයනම් තමන් ඒ පවුලෙ අයට දෙන්නෙත් ආදරයනෙ. තමන් ළඟ වෛරය තියෙනවනම් අනිත් අයට බෙදන්නෙ අධික කෝපය. ඒ වගේම දෙවිවරු වගේ මිනිස්සු ඉන්න පවුලකට සම්බන්ධ වෙලා ඒ ජීවිතේ විඳගන්න පින නැතුව යක්ෂණියො වගේ හැසිරෙන ගැහැණුත් ඕනතරම් ඉන්නවා.
සමහරු මං ගාවට ඇවිත් කියනවා අනේ දැන් ඉන්නෙ මං බඳින්න කලින් හිටපු කෙනා නෙවේනෙ කියල. මෙයා මාව සැක කරනවා, බොරුවට අඬනවා, හැමදේ ගැනම බරපතලව හිතනවා කියල කියනවා. ප්‍රධානම දේ තමන් සහ සහකරු අතරේ ප්‍රශ්නයක් තියෙනවම් ඒක මුලින්ම පවුලේ අයට කියන්න යන්න එපා.
ඒකෙන් වෙන්නෙ තමන්ගෙ පවුල තවත් දෙකඩ වෙලා දරුවන් පවා අසරණ වෙන එක. මුලින්ම ගැටලුවක් තියෙනවනම් ඔයාල දෙන්නා විතරක් ඒ දේ ගැන සාකච්ඡා කරන්න. මේ ගැටලු කාන්තාවන්ට විතරක් නෙවේ පිරිමින්ටත් අදාළයි. වෙනස තමයි දෙපාර්ශ්වයටම හෝමෝන වෙනස්වීම් සිද්ධ වුණත් කාන්තාවන්ට වැඩිපුර ඒ දේ සිද්ධ වීම. ඒ දේ පිරිමි අවබෝධ කරගන්න ඕනෙ.
දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න කාලෙදි කාන්තාවන්ට කේන්ති යන එක, දුක හිතෙන එක, ආදරේ වගේම අවධානය වැඩියෙන් හොයන එක සාමාන්‍යයි. ඔවුන්ට වෙනද වගේ කන්න බෑ. වෙනදා ඇඳපු ඇඳුම් අඳින්න බෑ, ශරීර අපහසුතා වැඩියි. ඒවත් එක්ක ඇතිවෙන හෝමෝන අසමතුලිතතාවය එක්ක සිතුවිලි වෙනස් වීමේ ඉඩ ප්‍රස්තාව වැඩියි. එතකොට බිරිඳට සැමියාගෙන් චෝදනාවක් එල්ල වෙනවා බිරිඳ නිසා තමයි මට මෙහෙම වුණේ කියල. සමහරවිට බිරිඳගේ වෙනත් ගැටලුවක් සැමියගේ වෙනස්වීමට හේතු වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ගැනම කිය කිය පවුල ඇතුළෙ ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ඒවට පිළියමක් හොයාගන්න එක වැදගත්.
අනිත් කෙනා හැදෙනකල් බලන් ඉන්න එපා. එයත් මේ වැරදි හදාගත්තොත් තමයි මමත් හදාගන්නෙ, එයා කවුන්සලින් ගියොත් විතරයි මමත් යන්නෙ කියන තැන ඉන්න එපා. නමුත් මගේ පැත්ත මම හදාගන්නවා කියල තමන් පියවරක් අරගෙන හැදෙනවා කියන තැන තමන් එක්කම අනිත් පාර්ශ්වයත් වෙනස් වෙයි.
මනෝ චිකිත්සක
මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ
එරංදි කෞශල්‍යා