මෙළොව එළිය දකින ඕනෑම අයෙකුට තමන්ගේ වාසස්ථානය තරම් නිදහස් නිස්කලංක වෙනත් තැනක් නොමැත. ඒ අතර තවත් පිරිසකට කොතෙක් උත්සාහ දැරුවද ජීවිත කාලය තුළ ඔවුන්ගේම කියා නිවසක් තනා ගැනීමට නොහැකි වේ. තමන්ගේම නිවසක, ජීවත් වීමටද යම් භාග්‍යයක් තිබිය යුතුමය. එහෙත් නොයෙකුත් කරුණුකාරණා මත ඇතිවන බාධක නිසා තමාටම කියා නිවසක් තනා ගැනීමට නොහැකි වන අවස්ථාවල කාහට වුවද සිදුවන්නෙ කුලී පදනම මත ලබාගත් නිවසක දිවි ගෙවීමටය.
මේ අතර සමහරෙකු තමන්ගේම නිවසක ජීවත්වනවාට වඩා කුලී පදනම මත ලබාගත් නිවාසවල සතුටින් ජීවිතය ගත කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. බොහෝවිට එවැන්නන් සියලු පහසුකම් මත ප්‍රබල ආර්ථික දියුණුවක්ද ඇතිව ජීවත්වන අවස්ථා අපට දැකගත හැකිය. තවත් පිරිසකට නිවසේ කුලිය ගෙවා ගැනීමට තරම්වත් ආර්ථික ශක්තියක් නොමැතිව කිසිදු දියුණුවක් සාර්ථකත්වයක් නොලබා කලින් කලට තැනින් තැනට වාසස්ථාන වෙනස් කිරීමට සිදුවන අවස්ථාද නැතුවාම නොවේ.
ඔබ, ඔබගේම නිවසක ජීවත් වුවත් කුලී නිවසක ජීවත් වුවත් එම නිවසේ තිබෙන වාස්තු දෝෂ නිවසේ පදිංචි අයගේ දියුණුවට මෙන්ම පරිහානියටද බලපානු ලබයි. සමහර අවස්ථාවල වාස්තු විද්‍යානුකූලව ඉදිකරන ලද නිවාස කුලී පදනම මත ගත් කල ඉතා ඉක්මනින් තමාටම කියා නිවසක් ඉදිකර ගෙන යාමට තරම් භාග්‍යය උදාවේ. ඒ සඳහාද ඔබ පදිංචි ස්ථානය බලපානු ලබයි. එසේම වාස්තු දෝෂ බහුලව ඇති නිවසක ජීවත් වන්නේ නම් ඔබට කල් තියා ඉඩමක් මිලට ගෙන නිවසක් සෑදීමට පවා නොහැකි වනවා සේම එදිනෙදා ජීවිකාව ගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් උදාවේ.
නමුත් වර්තමානය වන විට වාස්තු විද්‍යාව පිළිබඳව මිනිසුන් තුළ පවතින යම් යම් අවබෝධයන් මත කුලී පදනමට නිවසක් ගත්තද වාස්තු පරීක්ෂාවක් සිදුකර ගැනීමට තරම් ඔවුන් උනන්දු වෙති. සාපේක්ෂව ගත් කළ කුලී නිවාසවල පවතින වාස්තු දෝෂ තත්ත්වයන් එකින් එකට වෙනස් කළ නොහැක. එවැනි අවස්ථාවලදී එම නිවසේ මුලු 4 ට වාස්තු යන්ත්‍ර 4 ක් යෙදීමෙන් එම දෝෂ තත්ත්වයන් 70% කට වඩා අඩුකර ගත හැකි වීම සාර්ථක ක්රමයකි. මෙම වාස්තු යන්ත්‍ර හෙවත් ස්වස්තික යන්ත්‍රය අතීතයේ පවා අපේ මුතුන් මිත්තන් භාවිත කර ඇති අතර පැරණි නිවාසවල මෙම ලකුණ බිත්තිවල සටහන්කර ඇත.
එසේම නව නිවසක් කුලී පදනම මත ලබාගත්තද පෙර භාවිත කරන ලද වාස්තු යන්ත්‍ර නැවතත් වෙනත් තැනක ස්ථාන ගත කළ හැකිවේ. වාස්තු පරීක්ෂාවකින් තොරව ඕනෑම අයෙකුට තම නිවසේ ඇති ඕනෑම දෝෂ තත්ත්වයක් සමනය කර ගැනීමට මෙම වාස්තු යන්ත්‍ර භාවිත කළ හැකිය. එසේම පයිරා යන්ත්‍ර, පිරමීඩ භාවිත කිරීමද වාස්තු දෝෂ ඉවත් කරගැනීමට ඇති සාර්ථක ක්රමයකි.
නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ පවතින අයහපත් විශ්ව ශක්තීන් උරාගැනීම නිසිලෙස පිළියෙල කරගත් ස්වස්තික යන්ත්‍ර මගින් උරාගැනීම ප්‍රබල වීම තුළ වාස්තු දෝෂ දුරුවී ඔබගේ ගෘහයට, කාර්යාලයට, ව්‍යාපාරික ස්ථානයට දෙවියන්ගේ ආශිර්වාදය හිමිවනු ඇත. ස්වස්තිකය දර්ශනය වීමෙන් කෙනෙකුගේ මනස සැහැල්ලු වන අතර ලේ ධාතුව පිරිසිදු වේ.
එමෙන්ම ස්වස්තිකය මත දක්ෂිණාවෘතව දෑත චලනය කිරීමෙන් තමන්ගේ යහපත් අරමුණු ඉටුවනු ඇත. තමන්ගේම නිවසක මෙන්ම කුලී නිවසක වුවද පවතින වාස්තු දෝෂ මෙවැනි යන්ත්‍ර යොදා දුරුකර ගැනීමෙන් ප්‍රබල ආර්ථික දියුණුවක් ලබාගත හැකි අතර සතුටින් සාමයෙන් ජීවත් වීමටද හැකියාව උදාවනු ඇත. ඔබ කොතැනක ජීවත් වුවද නිවැරදි වාස්තු යන්ත්‍ර භාවිතයෙන් ජීවිතයේ දියුණුව මෙන්ම සාර්ථකත්වය ඔබ වෙත ළඟා වෙන්නේ නිතැතිනි.
ඒ සඳහා යොමුවන ඔබ සුබ හෝරවකදි දිග හා පළල අඟල් 4×4 ලෙස ගෙන නිවැරදි ආකාරයට දක්ෂිණාවෘත ස්වස්තික ලකුණු ඇඳ මල් බුලත් තටුවක තබා ඒ සඳහා වූ විශේෂිත ගණදෙවි ස්තෝත්ර භාවිත කරමින් 108 වරක් ජීවම්කර අදාල ස්ථානයේ හතරකොන තැනපත් කරගැනීමෙන් වාස්තු දෝෂවලින් ආරක්ෂා වී බාධක වලින් මිදී දිවිගෙවීමේ වාසනව උදාවනු ඇත. මෙය ස්ථානගත කිරීමේදී ගෘහමූලිකයාගේ හා නිවැසියන්ගේ ජන්මනැකැත්වලට සීහෙන සුබ නැකතකින් සිදුකළ යුතුවේ.
මෙම වාස්තු යන්ත්‍ර යෙදීම තුළින් ඔබගේම නිවසේ හෝ කුලියට ගන්නා නිවසක ඇති දෝෂ තත්ත්වයන් කඩා බිඳ නොදමා වෙනස් කරගත හැකි වනු ඇත. මෙම ක්‍රමය මගින් ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ පවතින වාස්තු දෝෂ තත්ත්වයන්ද සමනය කරගත හැකි වනු ඇත. ඔබගේ ජීවිතයේ ආර්ථික දියුණුව, සාර්ථකත්ව, නිරෝගී බව, දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුව ඇතිවන බැවින් මෙවැනි සාර්ථක වාස්තු ක්‍රම උපයෝගී කර ගැනීම තුළින් ඔබේ හෙට දවස වඩාත් යහපත් වනු ඇත.
වාස්තු විද්‍යා විශාරද
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය
අජිත් මද්දුමආරච්චි
ධම්මික හේවාවසම්