සෑම වසරකම නොවැම්බර් 14 වැනි දා ලෝක දියවැඩියා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර දියවැඩියා දිනයේ තේමාව වන්නේ ”ගෝලීය සෞඛ්‍ය බලගන්වමු ඔබේ අවදානම හඳුනාගන්න. ඔබේ වගකීම හඳුනාගන්න. (Empowering global health- Know your risk– Know your response) යන්නයි. ගෝලීය සෞඛ්‍ය ගැන කතාකරන විට කාන්තාවන් සුවිශේෂියි. ප්‍රජාව බිහිකිරීමේදී දායකත්වයක් ලබාදෙන කාන්තාව නීරෝගීවීම ඇයගේ පවුලට පමණක් නොව අනාගතය බාරගැනීමට සිටින දරුවන්ගේ ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමටත් හේතු වෙනවා. ඒ අතර පිරිමින්ට සාපේක්ෂව බලන විට කාන්තාවන් අතර දියවැඩියා රෝග තත්ත්වය වැඩියෙන් දක්නට ලැබෙනවා.
දියවැඩියාවේ ප්‍රභේද දෙකක් තිබෙනවා
පළමු ප්‍රභේදය (Type 1) මෙහිදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීමක් සිදුවෙන්නේ නැහැ. මෙය බොහෝ විට තරුණ වයසේදීම ඇතිවන රෝග තත්ත්වයක්.
දෙවන ප්‍රභේදය (Type 2) බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක්. මෙම ප්‍රභේදයේදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීමක් අවශ්‍ය ප්‍රමාණයට සිදුනොවීම හෝ ඉන්සියුලින් ශරීරයේ සෛල තුළට ඇතුළු වීම අවහිර වීම නිසා ඇතිවන පරිවෘත්තීය බාධාවන්. බොහෝ විට මෙය මැදි වයසේදී හෝ ස්ථුල බව නිසා ඇතිවන රෝග තත්වයක්. ගැහැනු දරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය මවකගේ කුසයේ සිටින කාලයේ පටන්ම ආරම්භ වනවා. මේ කාලයේදී මවගේ ආහාර පුරුදු කුස තුළ සිටින දරුවාගේ නීරෝගී බවට බලපානවා.
ගර්භණී මවක් දෙන්නෙකුට සෑහෙන්න කන්න ඕන කියන එක අපේ අම්මලා අතර ගොඩනැගුන මිත්‍යාවක් . ඒ අන්දමින් අතිරික්ත ආහාරලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. ප්‍රමාණයට වඩා අනවශ්‍ය අන්දමින් ආහාර ලබාගැනීම නොව සමබර පෝෂ්‍යදායී ආහාර රටාවක් මගින් මවගේ වගේම උපත ලබන දරුවාගේ නීරෝගීතාවත් ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනවා.
ගැහැනු දරුවෙක් දියවැඩියා රෝග තත්ත්වයට පත්වුණොත් විවිධ සංකුලතාවන් ඇති වෙනවා. එය සෘජු ලෙසින්ම ඔවුන්ගේ ප්‍රජනන සෞඛ්‍ය තත්ත්වයට බලපානවා. මාසික ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදුනොවීම නිසා මද සරුබව පිළිබඳ ගැටලු ඇතිවනවා. දියවැඩියා රෝග තත්ත්වයේ සංකුලතාවන් නිසා ඇතිවන හෝර්මෝන පිළිබඳ ගැටලු සහ ඉන්සියුලීන් ප්‍රතිරෝධීතාව (Insulin resistance) නිසා PCOD Polycystic Ovarian Disease (PCOD) රෝග තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙනවා.
PCOD රෝග ලක්ෂණ
තරබාරුව
ඔසප් වීමේ අක්රමිකතාවන් ඇතිවීම
මදසරු බව
අධික රෝම වර්ධනය
කුරුලෑ වර්ධනය
ගෙල ප්‍රදේශයේ පිටුපස කළු පැහැගැනීම
හන්දි අමාරුව
හිස කෙස් අඩුවීම
දහඩිය ගඳ
ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියා තත්ත්වය බොහෝ මව්වරුන්ට දරු ප්‍රසුතියෙන් පසුව රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වුණත් සමහර මවුවරුන්ගේ මේ තත්ත්වය දිගටම පවතිනවා. කොහොම වුණත් දියවැඩියා රෝග තත්ත්වය ගැන අනතුරු සංඥාවන් ලැබුණ මවුවරුන් ඉදිරියේදී තමන්ගේ රෝග තත්ත්වය ගැන පාලනය පවත්වා ගැනීමත් වැදගත්.
දරුවා උපත ලැබුවාට පසුව
දරුවන් මහත වූ පමණින් ඔවුන් නීරෝගියි කියල අපේ අම්මලා හිතනව නම් ඒ අදහස වැරදියි. බොහෝ දෙනා “චබී බබාලට” කැමැතියි. නමුත් අනවශ්‍ය තරබාරුව නිසා බාල කාලයේ පටන්ම දරුවා දෙවන වර්ගයේ දියවැඩියා රෝග (Type 2 Diabetes ) තත්ත්වයට පත් වීමට පුළුවන්.ඒ වගේම අද මවුපියන් දරුවාට සමබල ආහාර වේලක් ලබාදෙන්නේ නැහැ. ඔවුන්ගේ ආහාරයට එළවළු, පලා, පලතුරු පංගු ඇතුළත් වෙන්නේම නැහැ. ඒවායේ ලුුණු, තෙල්, පිටි බහුලයි. ඒ වගේම අතිරේක විදිහටත් කෙටි කෑම ලබාදෙනවා. මේ නිසා දරුවා බාල කාලයේ පටන්ම තරබාරු වෙනවා.
දරුවන්ට කිසිම ව්‍යායාමයක් නැහැ. දුවන්න, පනින්න ඉඩක් නැති බව ඇත්ත. ඒ වුණත් එය නිදහසට කාරණාවක් නොවෙයි.දරුවන් අනවශ්‍ය අන්දමින් ජංගම දුරකථනය, රූපවාහිනිය, පරිගණකයට හුරුවෙලා. ඒ නිසාම දරුවන් තවත් තරබාරු වෙනවා. කෙටි දුරක්වත් ඇවිද යන්නේ නැහැ. මේ උදාසීන සහ වැරදි පුරුදු සහිත ජීවන රටාව නිසා දරුවන් ඉතාම බාල කාලයේ පටන් දියවැඩියා රෝගයේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පමණක් නොව වෙනත් උසස් විභාග කාලයේදීත් දරුවන් තරබාරු වීමේ වැඩි ප්රවනතාවක් ඇතිවනවා.
දියවැඩියා රෝගී තත්ත්වය දැන ගන්නේ කොහොමද?
බොහෝ කාන්තාවන් තමන්ගේ රෝග තත්ත්වයන් ගැන එතරම් සැලකිළිමත් නැහැ. සමහර විට ඇය දියවැඩියාව බව දැනගන්නේ දියවැඩියාවට කිසිසේත්ම සම්බන්ධයක් නොමැතිව වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක හෝ කාලයක් පුරා දියවැඩියාව නොදැනීම තිබී වෙනත් අතුරු ආබාධයක් සඳහා ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවකදී සිදුකරන රුධිර පරීක්ෂණ වාර්තාවකින් වෙන්නත් පුළුවන්.
සමහර විට කිසිම රෝග ලක්ෂණයක් නොමැතිව දියවැඩියාව තිබෙන්න පුළුවන්.
දියවැඩියාව යම් ප්‍රමාණයකට ඇතිවුණාම දැඩි පිපාසය, නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවීම.
සිරුරේ බර අඩුවීම හෝ කෙට්ටු වීම.
ක්ලාන්ත ගතිය.
පාලනය නොවූ දියවැඩියාව නිසා දිගු කාලයක් සිරුරේ සීනි සාන්ද්‍රණය වැඩි වී කුඩා රුධිරනාල Microvascular වගේම මධ්‍යම ප්‍රමාණයේ රුධිරනාල Macrovascular අවහිර වීමටත් පුළුවන්.
කුඩා රුධිරනාල අවහිර වීම නිසා ඇතිවන රෝග තත්ත්වයන්
දියවැඩියාව පාලනය නොවුණ රෝගීන් ඇසේ සුද හා ග්ලුකෝමා ( Glucoma ) රෝග තත්ත්වයට පත්වන්න පුළුවන්. දියවැඩියාව නොමැති රෝගීන්ට වඩා දියවැඩියා රෝගීන් ඇසේ සුද ( Cataract ) ඇතිවීමේ රෝග තත්ත්වයට පත්වීමට ඉහළ අවදානමක් තිබෙනවා.
වකුගඩුවල ඇතිවන බලපෑම නිසා වකුගඩු අකර්මන්‍ය වීම
ස්නායුවලට රුධිරය සපයන ඉතා කුඩා ලේ නහර අවහිර වීමෙන් කකුල්වල සංවේදන නැතිවීම
තුවාල ඇතිවීම
ලිංගික බෙලහීනතාව
මධ්‍යම ප්‍රමාණයේ ලේ නහර අවහිරවීම නිසා හෘද පේශි මියයෑම සහ හෘදයාබාධ
මොළයට රුධිරය සපයන රුධිරනාල අවහිර වීම නිසා අංශභාග තත්ත්වය
පාදවලට ඇති අවහිරතාවන් නිසා කෙණ්ඩා වේදනාවන් සහ පාදවල සුවනොවන තුවාල ඇතිවීම
ප්‍රතිශක්තිය දුර්වල වීම.
දියවැඩියාව සහ මුඛ ආසාදන
දියවැඩියා රෝගීන්ගේ ආසාදන ගැන කතා කිරීමේදී වඩා ප්රකටව සාකච්ඡා නොවුණත් මෙම රෝගීන්ගේ මුඛ ආසාදන රෝග තත්ත්වයන් ( බැක්ටීරියා- දිලීර ) ඉහළ බවත් සඳහන් කළ යුතුයි.
විදුරුමස ඉදිමීම
විදුරුමසෙන් ලේ ගැලීම
දත් සෙලවීම
දත් හිරිවැටීම
මුඛ දුර්ගන්ධය සංකුලතාවන් වැළක්වීම හෝ ප්‍රමාද කිරීම
රුධිර සීනි, රුධිර පීඩනය සහ රුධිර මේද පාලනය යටතේ තබා ගැනීම සංකුලතාවයන් අඩු කිරීමට බෙහෙවින් උපකාරී වේ
දුම්පානය නතර කරන්න
සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුමනය කරන්න
උසට සරිලන බරක් පවත්වා ගන්න
ව්‍යායාම කරන්න
මාස හයකට වරක් හෝ ඔබේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න
කාන්තාවක් යනු නිවසක ප්‍රධාන චරිතයක්. තරුණ කාලයේදීම රෝගී තත්ත්වයට පත්වුණොත් ඇගේ ජීවිතයේ ගුණාත්මක බව පවත්වාගෙන යෑම අපහසු වෙනවා. එය සැමියාට, දරුවන්ට වගේම පවුලේ හැම දෙනාගේම ජීවිතයට බලපානවා.
ඒ නිසාම ජීවිතය අකාලයේම අඩපණ කරන දියවැඩියා රෝග තත්ත්වයෙන් තමා පමණක් නොව ඇය පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරගැනීමේ සුවිශේෂී කාර්යභාරයක හිමිකාරිණිය බැව් සඳහන් කළ යුතුයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා