13 වැනි සඳුදා ඉර උදාවත් සමඟ ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයක් දෑස් දල්වා බලාගෙන සිටියේ මුදල් ඇමතිධුරය දරණ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැය පිළිබඳවය. එය මෙරට මුදල් ඇමතිවරයෙක් ඉදිරිපත් කළ 78 වැනි අයවැය ලෙස ඉතිහාස ගත විය. ‘සවිමත් අනාගතයට පෙරවදනක්’ මැයෙන් ඉදිරිපත් කළ මෙම අයවැය පිළිබඳව පෙනෙන්නට තිබෙන්නේ අභියෝගාත්මක තත්ත්වයක් වුවත් මෙරට දැවෙන ප්‍රශ්න බහුතරයකට මෙයින් විසඳුම් නොලැබෙනු ඇත. අවසානයේ කිව හැක්කේ තවමත් බංකොලොත් රටක සහ එයින් බැට කන ජනතාවකට රිදී ඉරක්වත් මෙම සිහින අයවැයෙන් නොපෙන්වන බවය.
මෙවර අයවැයේ වඩාත් ආකර්ෂණීය යෝජනාව වන්නෙ 2024 වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් දසදහසකින් ඉහළ නංවා තිබීමයි. එයින් විශ්‍රාමිකයන්ටත් රුපියල් දෙදහස් පන්සීයක් වැඩිකර තිබේ. රාජ්‍ය සේවකයන්ට යළිත් ආපදා ණයද ලබාදී තිබේ. මේ පිළිබඳව මතුපිටින් බැලූ විට වාව් ලෙස පෙනුනද එහි ඇතුළත කිසිඳු වාව් එකක් නැති බව ඕනෑම මෝඩයෙකුට පවා තේරුම්ගත හැකිවේ.
මන්ද 2024 ජනවාරියේ සිට රජය බලාපොරොත්තු වන 18% ක වැට් බද්ද සමඟ වැඩිවන සියලු භාණ්ඩ සහ සේවාවල මිල රාජ්‍ය අංශයේ සේවකයන්ටත් පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාමිකයන්ටත් මෙකී නොකී සියලුදෙනාටත් ඔළුවට තදින් දැනෙන පහරක් ලෙස ළඟදීම එල්ල වන බැවිනි. මතුපිටින් අයවැයෙන් රාජ්‍ය සේවකයන් පිළිබඳව සානුකම්පිත ලෙස බැලූවද වැඩි කරන දසදහසට බුදුසරණයැයි ඒ අනුව පැහැදිලිවම කිව හැකිය.
අයවැයට අනුව රජය මතක් වී ඇත්තෙ ලෝකයම දන්නා මෙරට අකාර්යක්ෂතම රාජ්‍ය සේවය ගැන පමණක් වුවත් රටේ ජනගහනයෙන් 40% ක් සේවය කරන පෞද්ගලික අංශය හෝ කුලියක් මලියක් කරගෙන එදිනෙදා ජීවිතය ගැටගසාගන්නා පිරිස ගැන රජයට වගේ වගක් නොමැති වීම පුදුම සහගතය. ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමකදී ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව පසුගිය අවුරුදු කිහිපය තුළ පෞද්ගලික අංශයේ ඇතැම් ආයතනවල සේවකයන්ට වැටුප් වර්ධක ලබා දී ඇති බැවින් රාජ්‍ය සේවකයන් පිළිබඳව රජය මෙලෙස වැඩි අවදානයක් යොමු කළ බවයි. තවද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ වැටුප් වැඩි වීම් ලබාදී නොමැති පෞද්ගලික ආයතනවලින්ද ඔවුන්ගෙ සේවකයන් වෙනුවෙන් සහන ලබා දිය යුතු බවය.
මෙවර අයවැයේ තිබූ තවත් ආන්දෝලනාත්මක කාරණයක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නැංවීම සඳහා බිලියන 1.5 ක මුදලක් වෙන් කිරීමයි. ක්‍රිකට් එපා වී සිටින ජනතාවක් ඉන්න රටක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ චෝදන ගැන එළිවෙමින් තිබෙන සමයක ක්‍රිකට් නැංවීම සඳහා මුදල් ප්‍රමාණයක් වැය කර ඇත්තේ මන්දැයි ප්‍රශ්න කළ විට ජනාධිපතිවරයා කියා සිටියේ බස්නාහිර පළාතෙන් ඔබ්බට ගිය සබරගමු පළාත, උතුරුමැද පළාත, ඌව පළාත වැනි පළාත්වල ක්‍රිකට් ගැසීමට බැට් එකක් බෝලයක් පිච් එකක් නොමැති දරුවන්ගේ අඩු පාඩු සකසා දෙමින් පළාත් මට්ටමෙන් ක්‍රිකට් නැංවීම තුළින් 2030 පමණ වනවිට දක්ෂතා ඇති වෙනත් පළත්වල ක්‍රිකට් ක්‍රීඩකයන් මතුකර ඔවුන් ජාතික තලයට රැගෙන ඒම සඳහා සාර්ථක වැඩ පිළිවෙලකට අඩිතාලම මෙවර අයවැයෙන් දැමූ බවයි.
අවශ්‍ය නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් දීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ වැටුණු ආර්ථිකයක් ගොඩනගමින් සිටින ඔහුට ක්‍රිකට් ගොඩනැගීම කජ්ජක් නොවන බවය. මෙකී ප්‍රධාන කරුණුවලට අමතරව මෙවර අයවැය පිළිබඳව කරන පසු විපරමකදී ජනතාවට සහන පැකේජයක්වත් ඡන්දය ගැනීම සඳහා කරන පෙර ආයෝජනයක්වත් ගම්‍ය නොවේ. වඩාත් දුකට හේතුවන කරුණ වන්නේ ජනතාවගෙන් අය කිරීම් පමණක් කරමින් රජයේ ආදයම වැඩි කරගැනීමට ඉදිරිපත් කළ අයවැයක් වීමයි.