පහේ ශිෂ්‍යත්වෙ ලකුණු පහුගියදා නිකුත් වුණා. අතිශයින්ම තරගකාරී විභාගයක් ලෙස සලකන ඉන් පාස් දරුවනුත් ෆේල් දරුවනුත් හැම පාසලකම හිටියා. ෆේල් දරුවන් සිතිය යුත්තේ මේ ඔවුන්ගේ ජීවිතයේ ලැබූ එක් අවස්ථාවක් පමණක් බව. පාස් දරුවන් සිතිය යුත්තේ තමන් ජයගත් මේ අවස්ථාව ඉදිරි අධ්‍යාපන කටයුතු දක්වාම නොවෙනස්ව පවත්වාගත යුතු බව.මේ කතා සියල්ල පුංචි මල් කැකුළුවලට මතක් කරන අතරේ පහ වසර ශිෂ්‍යත්වයෙන් එක රොත්තට පාස් වූ මල් කැකුළු පිරිසක් ගැන අපූරු සිද්ධියක් අපේ නෙත ගැටුණා. ශිෂ්‍යත්වෙට එකම පන්තියෙන් ඉදිරිපත් වූ දරුවන් 53 දෙනාගෙන් 42 ක්ම කඩයිම් ලකුණු සීමාව පසුකර තිබුනේ හරි අපූරුවට. ඉතිරි දරුවන් 11 දෙනාත් ලකුණු 140 ට වඩා වැඩියෙන් ලබාගෙන තිබීමත් මේ පන්තියේ අපූර්වත්වය මුළු ලොවටම කියන්න ඕන කතාවක් කළා. ඒ තැනට දරුවෝ මෙහෙයවපු අපූරු චරිතයක් එතන හිටියා. එතනින් තමයි අපි කතාව පටන් ගත්තේ…
මුලින්ම සර්ගේ නම කියලා අපි කතාව පටන් ගනිමු…
මගේ නම නිලාන් බුද්ධික ප්‍රසාද් කස්තුරිආරච්චි. හැමෝම මට කියන්නෙ ප්‍රසාද් සර් කියලා.
ප්‍රසාද් සර් උගන්වන ඔය අපූරු පාසල මොකක්ද කියලා කියමු…
මගේ ඉස්කෝලේ වැලිමඩ විජය විද්‍යාලය. අපේ ඉස්කෝලේ දරුවෝ 3000 ක් විතර ඉගෙනගන්නවා. මම ඉගැන්නුවේ 5 F පංතියට. ඒකේ පන්තිබාර ගුරුවරයත් මම. මගේ පංතියෙ දරුවෝ 53 ක් ඉන්නවා.
මොකක්ද මේ අරුම පුදුම ජයග්‍රහණය…
5 F පංතියේ දරුවෝ 53 දෙනෙක් මේ පාර ශිෂ්‍යත්වය කළා. එයින් දරුවෝ 42 ක් මේ පාර ශිෂ්‍යත්වෙන් පාස් වුණා. ලකුණු 180 ට වැඩියෙන් ගත්ත දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. ලකුණු 170 ට වඩා වැඩියෙන් ගත්ත දරුවෝ 11 ක් ඉන්නවා. ලකුණු 160 ට වඩා ගත්ත අයත් 9 ක් ඉන්නවා. 149 කට වඩා ගත්ත දරුවෝ 13 ක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අනෙක් දරුවෝ 11 දෙනාමත් කඩයිම් ලකුණු 149 පසු නොකරට 140 ට වඩා වැඩියි. ඒ නිසා මේ දරුවෝ එක්කෙනෙක්වත් අදක්ෂ නෑ.
මේ අරුම පුදුම ජයග්‍රහණයේ රහස මොකක්ද ?
ලොකුම රහස තමයි කැපවීම. ඒ කැපවීම ගුරුවරයා විදිහට මමත්, මගේ පන්තියේ දරුවනුත්, දරුවන්ගේ දෙමව්පියනුත්, මුළු පාසලමත් එකතුවෙලා කළා. අනෙක් මූලික කාරණය වුණේ මම තමයි මේ දරුවන්ගේ හතර වසරේ ඉඳලම පන්තිබාර ගුරුවරයා. මට අවශ්‍ය වුණේ මේ දරුවන්ට සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වෙලා අලුත් විදිහට උගන්වන්න. පහුගිය අවුරුදු 2 ක පුරාම දරුවන්ගේ මනස මම හැදුවා. එයාලව මෝටිවේට් කළා. එහෙම කළේ මගේ හිතේ තිබුණ අරමුණ වෙනුවෙන් එයාලව මෙහෙයවන්න. මම විතරක් නෙමෙයි මේ දරුවොත් හිතන්න බැරි තරම් කැපකිරීමක් කරලා තමයි මේ ජයග්‍රහණය ලබාගත්තේ.
සර් දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය ගැනත් කතා කරමු…
දෙමාපියන්ව මට ඕන කරපු අරමුණට මෙහෙයවන්න එයාලටත් පහුගිය අවුරුදු දෙක පුරාම වැඩසටහන් කරලා මනස හැදුවා. එහෙම කරපු නිසා දරුවන්ගේ දෙමාපියන්ගෙන් ලොකු සහයෝගයක් ලබාගන්න පුළුවන් වුණා.
ඔබේ පාසලෙන් මොන වගේ සහයෝගයක්ද මෙවර ශිෂ්‍යත්වය සඳහා ලැබුණේ…
ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමා ඩී. එම්. සී. එල්. දසනායක සර්ව මතක් කරන්නම ඕනේ. එතුමා මට ලොකු සහයෝගයක් දුන්නා. නමුත් එයා දැන් ජීවතුන් අතර නෑ. දසනායක සර් තමයි හතර වසරේ ඉඳලා පහ වසරට දරුවෝ මාරු වෙනකොට මේ දරුවන්ගේ පහ වසරත් මම කරන්නම් කියලා ඉල්ලීම කරනකොට ඒ අවසරය ලබාදුන්නේ.
ඒ වගේම දැන් ඉන්න විදුහල්පතිතුමා ආර්. එම්. සී. රත්නායක සර්වත් මතක් කරන්න ඕනේ. රත්නායක සරුත් ඉල්ලන හැමදෙයක්ම මට කරලා දුන්නා.තවත් මේ දරුවන්ට 1, 2, 3 පන්තිවල උගන්නපු පුෂ්පාන්ජලී ටීචර් සහ අචලා ටීචර්වත් මතක් කරන්න ඕනේ.
සමාජයෙ මතයක් තියෙනවානේ ශිෂ්‍යත්ව කියන්නේ ළමයින්ගේ ළමා කාලය නැතිකරන, අම්මලගේ විභාගය කියලා. ඒ ගැන සර් මොකද කියන්නේ…
මෙහෙමයි මේක හරියට මල නොතලා වැඩගන්න ඕන අවස්ථාවක්. ඒකට හැකියාව ගුරුවරයාට තියෙන්න ඕනෙ. දරුවන්ව පීඩනයට ලක්නොකර අපට ඕන මාවතට එයාලව ගන්න එක හරි පරිස්සමෙන් කරන්න ඕනෙ වැඩක්. එතකොට දරුවන්ගේ ළමා කාලය නැතිවෙන්නෙත් නෑ. අම්මලාට දරුවන්ව බලෙන් විභාගයට තල්ලුකරන්න ඕන වෙන්නෙත් නෑ.
අමතර පන්ති, අමතර පේපර් මේ දරුවන්ට කළාද ?
ඔව්. මේ දරුවන්ට හතර වසරේදි සතියට එකපාරක් අමතර පන්තියක් කළා. පහ වසරට ආවට පස්සේ මුලින් සතියට දෙපාරක් අමතර පන්ති කරලා විභාගය ළං වෙනකොට සතියකට දවස් තුනක් කළා. ඒ විතරක් නෙමෙයි අපි පහුගිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තර ගොඩක් කළා. ලංකාවේ තියෙන ප්‍රශ්න පත්තර කට්ටල හොයාගෙනත් කළා. ඒ නිසා දරුවන්ට ප්‍රශ්න පත්තරේ ලියන හුරුව ඇතිවුණා.
5 F පන්තියේ දරුවෝ විෂයබාහිර දේවල් කළාද ?
ඔව්. පරිසරය කියන විෂයේදි අපි පොතෙන් ඈත්වෙලා එයාලව ඇත්දැකීම් ලබාගන්න පරිසරයට දැම්මා. එතකොට ඒකාකාරී බවෙනුත් එයාලා මිදුණා.
පාස්වුණ දරුවෝ ඔක්කොම වෙනත් ජනප්‍රිය පාසල්වලට යනවද ?
අපේ ඉස්කොලේ බොහෝම හොඳ එකක්. ඒ නිසා මම හිතන්නේ නෑ ඔක්කොම දරුවෝ වෙනත් ජනප්‍රිය ඉස්කෝලවලට යාවි කියලා. හැබැයි පාස් වුණ දරුවෝ වෙන ඉස්කෝලවලට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ එයාලගෙ අම්මල තාත්තලාගේ තීරණත් එක්ක. අපි බලමු.
ප්‍රසාද් සර් ඉගෙන ගත්තේ මේ පාසලෙන්මද ?
නැහැ. මගේ මුල් පාසල වුණේ ශ්‍රී පුඤ්ඤසාර මහ විදුහල, ඒ හෙවණකුඹුරේ. ඊටපස්සෙ මම එනවා වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළ කරන්නේ කලා විෂයන්වලින්. ඒ ලකුණුවලින් මම නිල්වලා විද්‍යාපීඨයට තේරෙනවා.
ඒ කියන්නේ ගුරුවරයෙක් වෙන්න ආසාවෙන් හිටියා කියන එකද?
නැහැ. තුන් හිතකවත් තිබුණේ නැහැ ගුරුවරයෙක් වෙන්න. ආසාවෙන් හිටියේ මාකර්ටින් පැත්තට යොමු වෙන්න. ඒත් දැන්නම් මේ රස්සාවට මාර ආසයි. මට ඕනේ මේ රස්සාව ඇතුළේ අමුතු දේවල් කරන්න. ඒ වගේම මට මඟහැරුණු සිහින මම උගන්වන දරුවන්ට දිනන්න දෙන්න. ඒකට මම වැඩකරන්නේ අරමුණකින්.අනෙක් කාරණය තමයි මගේ තාත්තා හොඳ ගුරුවරයෙක්. මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. මගේ මල්ලිත් ගුරුවරයෙක්. මම හිතන්නේ මගේ තාත්තාගේ ආභාෂය තමයි මට ලැබිලා තියෙන්නේ.
ප්‍රසාද් සර්ගේ පවුලේ අයගෙන් මේ අරමුණට යන්න මොනවගේ සහයෝගයක්ද ලැබුණේ?
මගේ අම්මගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. එයා වගේ ශක්තිමත් ගැහැණියක් මම දැකලා නැහැ. ඒ වගේම තමයි මගේ මල්ලියි එයාගෙ නෝනයි. ඒ දෙන්නත් මට ගොඩක් උදව් කළා. ගෙදර කිසිම පීඩනයක් මට දුන්නේ නෑ.
මුලින්ම දරුවන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දැක්ක වෙලාවේ මොනවද හිතුණේ?
මුලින්ම බැලුවේ ඉන්ටර්නෙට් එකෙන්. ඒ අවස්ථාවෙ ඇතිවුණු හැඟීම ගැන කියන්න මට වචන නැහැ. පුදුම සතුටක් දැනුණේ. මගේ බලාපොරොත්තුව තිබුණේ දරුවෝ 45 ක් 149 ට වඩා වැඩියෙන් ගනීවි කියලා. මගේ ඉලක්කයට මේ දරුවෝ මාව අරගෙන ගිහිල්ලා.
හරින්දී ලියනගේ ✍️