මෙම ලිපිය ලියැවෙන්නේ පසුගිය සතියේ දිගුවක් විදිහටයි. එහිදී අපි කතාකළේ යටිපතුලේ (විලුඹ ආශ්‍රිතව) කැල්සියම් තැන්පත් වීම පිළිබඳවයි. ඒ ගැන කතාව මතුවුණේ එම ආබාධයට ලක්වුණ කෙනෙකුගේ ගමන් ලතාව ස්ථිර වශයෙන්ම වෙනස් වන බව වෙද මහත්තයා කළ පැහැදිලි කිරීමත් සමගයි. අද අපි ගිය සතියේ නතර කරපු තැන ඉඳලා කතා කරමු.
මම හොරිවිල ගිය දවසට පහුවදා උදේ ආපහු එන්න සූදානම් වෙද්දී එක්තරා සුපිරි වෙළෙඳසලක සේවිකාවක් ප්‍රතිකාර ගන්න ආවා. ඒ කාන්තාවගේ පාද දෙකේම විළුඹට උඩින් (ආසන්නයේම වාගේ) ශරීරයට පිට පැත්තෙන් තරමක නෙරුම් දෙකක් දකින්නට ලැබුණා. මෙහිදී ඒ ගැන මට ඇතිවුණේ විශාල කුතුහලයක්. එතකොටම මගේ හිත කියෙව්වා වගේ වෙද මහත්තයා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පටන් ගත්තා.
‘මේ තියෙන්නේ මේ ආබාධයේ වර්ධනීය අවස්ථාවක්. පතුලට, අමතරව කැල්සියම් වර්ධනය වෙලා. ලෙඩේ උපරිමයට ඇවිල්ලා තියෙන්නේ. සැලකිය යුතු කාලයක් බෙහෙත් බඳින්න සිද්ධවෙයි. ඒකත් නොකඩවා කෙරෙන්න ඕන.’
මේ ආබාධය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම බලපානවද?
‘අනිවාර්යයෙන්ම මේ රෝගයට ලිංග භේදයක් නැහැ’
මේ ආබාධය බහුලව ඇතිවෙන්නෙ කාටද?
‘මූලිකවම ගත්තොත් හොඳට ඇවිදින අයට මේ ආබාධය එන්නෙ නැහැ. හැබැයි සැප අඩි තියන සපත්තු දාගෙන මෝස්තරේට ජොගින් ගියාට නම් වැඩක් නැහැ. තද අඩි තියෙන සපත්තු දාගෙන හෝ සපත්තු නැතිවම ඇවිදිනවා නම් තමයි හොඳ.’
අද කාලෙ අඩි දහයක් යන්නත් මෝටර් සයිකල්, ත්රීවිලර්…
‘කාටද මේවා කියන්නෙ. අඩු තරමේ ව්යායාමයකටවත් ෆුට් සයිකලයක් පදින්නෙ නැහැ දැන් ඉන්න අය.’
කැල්සියම් තැන්පත් වීම සිද්ධ වෙන්නෙ යටිපතුලෙ විතරද?
‘නැහැ. සන්ධිවලට නිසි ව්‍යායාම නොලැබුණාමත් ඕනම සන්ධියක් ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම සිද්ධවෙන්න පුළුවන්. උරහිස් සන්ධිය ආශ්රිත කැල්සියම් තැන්පත් වුණු රෝගීන් බොහොමයක් මට හමුවෙලා තියෙනවා.’
කැල්සියම් තැන්පත් වීම ප්‍රතිකාරයකින් තොරව සනීප කරන්න බැරිද?
‘මේ තත්ත්වයෙන් මිදෙන්න බෙහෙත් වගේම ව්‍යායාමත් අවශ්‍යමයි. වෙන විකල්ප නැහැ. කැල්සියම් වර්ධනය කරන බෙහෙත් තිබුණට ඒවා දියකරන ප්‍රතිකාර තියෙන්නෙ හෙළ වෙදකමේ විතරයි. ඒකයි විශේෂත්වය.’
මේ තත්ත්වයේ වැඩි බලපෑම කාටද ?
‘ගොඩක් වෙලාවට තරබාරුව හේතුවෙන් බරපතළ පීඩනයක් පාදවලට එනවා. තරබාරු වෙනවා කියන්නෙම ව්‍යායාම නැහැ කියන එකනෙ. ව්‍යායාම සමස්ත නිරෝගී බවටම වැදගත්.’
ප්‍රමාණවත් ජලය පානය මෙතැනටත් අදාළද?
‘අනිවාර්යයෙන්ම. ඒ විතරක් නෙමෙයි විදුලි පංකා වගේම වායුසමීකරණ භාවිතයත් සෘජු ලෙස බලපානවා. ඔය කාරණා තුනම ශරීරය වියළි ස්වභාවයට පත්කරනවා. විළුඹ බිමට තද වෙද්දී වේදනාවට පත්වෙන මුල් අවස්ථාවේදීම ප්‍රතිකාරවලට යොමුවීමෙන් පහසුවෙන්ම මෙම ආබාධය සුව කරගන්න පුළුවන්. ප්‍රතිකාර පමාවෙනවා කියන්නෙ සුව වීමට ගතවෙන කාලයත් එයට සමානව වැඩි වෙනවා කියන එකයි.’
වෛද්යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ
දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙදගෙදර
අජන්ත ජයසේකර ✍️