මිනිස්සුන්ට කොච්චර දේවල් තිබුණත් මොන මොන දේවල් අතින් සාර්ථක වුණත් ආත්ම විශ්වාසය කියන දේ තියෙන්නේ හරිම අඩුවෙන්. ආත්ම විශ්වාසය කියන දේ හැදෙන්න ඕනෙ පුංචි කාලෙ ඉඳන්මයි. මොකද පෞරුෂය නිර්මාණය වෙන්නෙ මේ කියන ආත්ම විශ්වාසයත් එක්ක. කුඩා අවධියේ පෞරුෂ වර්ධනයේදී ඇතිවෙන ගැටලු මත තමයි තීරණය වෙන්නෙ ඔහුගේ හෝ ඇයගේ වැඩිහිටි විය මොන ආකාරයෙන් ගලාගෙන යාවිද කියල. මොකද වැඩහිටිවියේ ජීවිතය හරිම අභියෝගාත්මකයි. රැකියා කරන්න, මුදල් උපයන්න, විවාහ වෙන්න, පවුල් නඩත්තු කරන්න මේ හැමදේම එක්ක අපිට තරගයක් ඇති වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා ඉදිරිපත් වෙන කෙනෙක්ද බියගුළු කෙනෙක්ද කියන දේ තීරණය වෙන්නෙත් දෙමාපියන්ගෙන් වගේම ගුරුවරුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත.
අපි දැකල තියෙනවා සමහර ළමයි නිර්මාණශීලී දේවල්වලට හරිම දක්ෂයි. අපි හිතමු පාසල් යන දරුවෙක් පාසලේ වැඩ අතපසු කරගෙන වෙනත් නිර්මාණ කටයුතු ඉතාම උනන්දුවෙන් සිදුකරනවා. මේ දිහා බලාගෙන ඉන්න ගුරුවරු හෝ දෙමාපියෝ දන්නෙ නෑ දරුවට හොඳින්ම පුළුවන් කොටස අගය කරන්න. අම්මලා කියන්නෙ දරුවට “ඔය දේවල් කරන්න කට්ටිය ඕනතරම් මේ රටේ ඉන්නවා. ඒ නිසා ඔයා ඉගෙනගන්න.” කියල. එහෙම දරුවෙක්ව අවතක්සේරුවට ලක් කළාම පළවෙනි වතාවට දරුවට දරුවා ගැනම අවිශ්වාසයක් ඇති වෙනවා මට මේ දේ කරන්න බෑ කියලා.
ඒ වගේම දරුවෙක් මොකක්හරි දෙයක් කළාම දෙමව්පියෝ ඉස්සෙල්ලම දකින්නෙ ඒ කරපු දේ යම් අඩුපාඩුවක්. උදාහරණයකට අපි හිතමු දරුවෙක්ට දෙනවා ගණිත ගැටලු 10ක් විසඳන්න. ඒ ගැටලු දහයෙන් දරුවා අටක් විසඳනවා. දෙකක් විතරයි විසඳගන්න බැරි වෙන්නෙ.
ඒත් බොහෝවෙලාවට ගුරුවරු සහ දෙමාපියන්ගේ අවධානය ඉක්මණින්ම යොමුවෙන්නෙ අර විසඳපු නැති ගැටලු දෙකට. “බලන්නකො මෙච්චර ප්‍රශ්න අටම හරියට විසඳලා අර දෙක විතරක් විසඳුවේ නෑනෙ” කියලයි කියන්නෙ. එහෙම කිව්වම දරුවගෙ ඔළුවට යන්නෙ සෘණාත්මක ආකල්ප විතරයි. දරුවට හැමතිස්සෙම හිතෙන්න ගන්නවා මට දෙයක් කරන්න බෑ කියලා. නැත්නම් මොන දේ කළත් ඒකෙ අඩුපාඩුවක් තියෙනවා කියල හිතනවා. ඒ නිසයි මම මුලිනුත් කිව්වෙ බාහිර පරිසරයෙන් ලැබෙන ප්‍රතිචාර මත තමයි දරුවෙකුගේ පෞරුෂයක් ගොඩනැගෙන්නෙ.
දරුවෙක්ගෙ බුද්ධිය තීරණය වෙන්නෙ ජාන හා පරිසරය තුළින්. මේකෙදි පරිසරය කියන්නෙ ඉතාම වැදගත් කොටසක්. ළමා විය තමයි වැඩිහිටි විය තීරණය කරන්නෙත වැඩිහිටියෙක්ගෙ හැසිරීම දිහා බලලා ඔහුගේ ළමා කාලය මේ වගේ වෙන්න ඇති කියල අපිට නිගමනය කරන්න පුළුවන්. දෙමාපියන්ට වගේම ගුරුවරුන්ට පුළුවන් දරුවෙක්ගෙ මනසට ඇතුළු කරන ආකල්ප මත නිහඬවම ඒ දරුවව මරලා දාන්න.
තමාව නගාසිටුවීමට වගේම තමාව පහළට ඇදලා දාන්නත් පුළුවන් තමාටමයි. කවුරු මොන විදිහට නගාසිටවීමට උත්සාහ කළත් තමන්ගෙ අභ්‍යන්තරය සෘණාත්මකයි නම් තමන්ට ගොඩනැගෙන්න බෑ. මොකද අභ්‍යන්තරයෙන් හැමතිස්සෙම තමන්ව ආපස්සට අදිනවා. කලාතුරකින් මේකෙ අනිත් පැත්තත් සිද්ධ වෙනවා. දරුවා අධ්‍යාපන වැඩකටයුතුවලට දක්ෂ නැති වෙන්න පුළුවන්.
හැබැයි දෙමව්පියො සහ ගුරුවරු ඒ දරුවට තියෙන මොකක්හරි දක්ෂකමක් ඉස්මතු කරගන්න උත්සාහ ගන්නවා. ඔයාට මේක බැරි වුණාට මේ දේ පුළුවන්නේ කියල දිරිගන්වනවා. එතකොට දරුවත් දෙයක් පටන්ගන්නෙ “මට මේක පුළුවන්” කියන තැන ඉඳන්. එතනින් පස්සෙ කවුරු ඒ දරුවව පහළට ඇදලා දාන්න උත්සාහ කළත් දරුවගෙ අභ්‍යන්තරය ධනාත්මක නිසා බාහිර බලපෑම් ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ. ආත්ම විශ්වාසයක් නැත්නම් අපිට කිසිම දෙයක් කරගන්න බෑ. අඩුගාණෙ මහ පොළවෙ හිටගෙන ඉන්නවත් බෑ. මොකද එතනත් ඒ දරුවට අවිනිශ්චිතභාවයක් ඇති වෙනවා.
කවදහරි රැකියාවකට අපි ඇයදුම් කරද්දි අයදුම් පත්‍රයේ දානවනෙ තමන්ට තියෙන සුදුසුකම් ගොඩ. මේ සුදුසුකම් තමන්ගෙ ආයතනයට ගැළපෙනවනම් තමයි ඒ ආයතනයෙන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවන්නෙ.
එතකොට ආයතනය ඒ රැකියාව දෙද්දි සේවකයා ගැන විශ්වාසයක් තියනවා ඔහුට හෝ ඇයට මේ දේ කරන්න පුළුවන් කියලා. ඒ වගේම රැකියාව ලැබුණට පස්සෙ සමහරු අපි දකිනවා තමන්ට ලැබෙන අවස්ථා උපරිමයෙන් පාවිච්චි කරලා ආයතනය ඇතුළෙ තමන්ව හයිලයිට් කරගන්නවා. ඔය සුදුසුකම්ම තියෙන තවත් කෙනෙක් අපි දකිනවා කොච්චර දක්ෂ වුණත් හැමදාම එකම තැන පල්වෙන ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන නෑ. මෙතනදි බලපාන්නෙත් තමන්ට තමන් තුළ පවතින ආත්ම විශ්වාසය. අපිට ලැබෙන හැම අවස්ථාවක්ම කොහොමද හසුරුවගන්නේ කියන එක මත තමයි තීරණය වෙන්නෙ තමන්ට තමන් කොච්චරක් විශ්වාසද කියලා.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක
හා මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා ✍️