රසාදරී පීරිස්
“ඔෂීන්… ඔයාටත් පිට ගෙදරක වැඩ කරන්න යන්න සිද්ධ වෙයි. ලී වෙළෙන්දෙක්ගෙ ගෙදර නැවතිලා එහි වැඩපලවලට උදව් වෙන්න ඕනෙ.ඒගොල්ලො හරි පෝසත් නිසා හොඳට කන්න ලැබෙයි. මෙහෙ කනවට වඩා ඒක හොඳයිනේ”
“මට මෙහෙම හොඳයි. යන්න බෑ”
“ඔෂීන්ට තාම අවුරුදු හතයිනෙ”(ඒ ඔෂීන්ගේ ආච්චි)
“එයාගෙම හොඳටයි මේක කරන්නෙ. අනෙක අවුරුද්දකට විතරයිනේ”
“මම ගෙදරින් යන්න කැමති නෑ. ළඟදි ඉස්කොලෙත් පටන්ගන්නවනේ”
ඒ දෙබස්වලින් ඇරඹුනු ඔෂීන් එදා පටන් අද දක්වාම දශක ගණනාවක් විවිධ මාධ්‍ය ඔස්සේ ජනතාවට සමීප වෙමින් තිබෙනවා. පොඩි ඔෂීන්ගෙන් පටන්ගෙන ලොකු ඔෂීන් දක්වාම අප හදවත් තුළ ඇය ජීවත් වෙන්නෙ ඇගේ පෙනුමට සමාන ලෙස ගැළපෙන කටහඬක් ඇයට ලැබුණු නිසාමයි. අද තමයි ඔෂීන්ලා වැඩිපුරම මේ සමාජෙට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ හඩේ ජීවමාන බව අප හදවත්වල පතුලෙහිම රුන්දූ ඇය අපට හමුවෙන්නෙ පිළියන්දල මඩපාත ආදරණීය කැදැල්ලෙදීමයි. මේ කතාබහට රසාදරී පීරිස් වන ඇයත් ඇගේ සැමියත් එකම පුතනුවනුත් එකතුකරගත්තේ අපූරු ඡායාරූප පෙළකට මුහුණ දෙමින්.ලේඩිස් ෆස්ට් කිව්වත් සම්ප්රදාය අතික්‍රමණය කරන්න කිසිසේත් බය නැති අපි රසාදරියගේ ආදරණීය සැමියා දුමින්ද මුණසිංහ සමඟ කතාව පටන් ගත්තා.
කොහොමද දුමින්ද?
මම හොඳින් ඉන්නවා. මම ව්‍යාපරිකයෙක්. මටම කියලා ව්‍යාපාර දෙකක් තියෙනවා. එකක් කන්ස්ට්‍රක්ෂන්ස් ෆීල්ඩ් එකේ ඉන්ටීරියල් සහ එක්ස්ටීරියල් සම්බන්ධ ව්‍යාපාරයක්. දෙවන ව්‍යාපාරය තමයි ස්පසීස්. ස්පයිසස් එක්ස්පෝට් කරන කම්පැනියකුත් මට තියෙනවා. ඇත්තම කිව්වොත් මේ කාලෙ ව්‍යාපාරවලට හරි අභියෝගාත්මක කාලයක්.
කන්ස්ට්‍රක්ෂන්ස් වුණත් අලුතෙන් පටන් ගන්නෙ නෑ. අපේ ස්පයිසීස්වලට ලෝකයේම හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපට මේ වෙලාවේ අවශ්‍යවෙලා තියෙන්නෙ ලංකාව වැටිලා තියෙන තැනින් ගොඩ එන්න ව්‍යවසායකයෙක් හැටියට ඩොලර් ගේන ව්‍යාපාර කරන්න. ඒක ඩොලර් බිලියන ගණනක් වෙන්න ඕනෙ නැහැ. ඒ නිසා මේ ව්‍යාපාරය වැඩිදියුණු කරලා රටට යමක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව.
ව්‍යාපාර කටයුතුවලින් ඈත් වුණාම දුමින්ද ගෙදර වැඩවලට දෙන දායකත්වය කොහොමද?
අපි පුංචි ෆැමිලි එකක්නේ. මමයි, මගෙ නෝනයි, පුතයි. අපිත් එක්ක රසාගේ අම්මත් ඉන්නවා. මම කොහොමත් ෆැමිලි මෑන් කෙනෙක්. මගේ සාමාන්‍යයෙන් දවස ගෙවෙන්නෙ ගෙදරින් ඔෆිස් එකට, ඔෆිස් එකෙන් ගෙදරට. ජාත්‍යන්තර සිංහ සමාජයේ සමාජිකයෙක් හැටියට ඒ කටයුතුවල නිරත වෙනවා හැරෙන්නට අනෙක් සමාජ වැඩකටයුතු මගේ ගොඩක් අඩුයි.
ඒ නිසා ගෙදර වැඩකටයුතුවලට රසාදරීට ඕනෙ කරන උදව් මම කරනවා. අපි දේවල් ශෙයා කරගෙන කරගන්නෙ. අනවශ්‍ය ලෙස බිසී වුණොත් තමයි ෆැමිලි එකේ ප්‍රශ්න ඇතිවෙන්නෙ. මම විශ්වාස කරන දෙයක් තමයි අයි ඈම් බිසී කියලා කියනවානේ, ඒ බිසී කියන පුද්ගලයා එයාගේ කාලය මැනේජ් කරගන්න දන්නෙ නැති කෙනෙක් බව.
දෙන්නා බැඳලා කොච්චර කල්ද?
මමයි රසයි බැඳලා අවුරුදු 23 ක්. අපි අවුරුදු 23 ට අපේ පවුල් ජීවිතයේ රසාදරී වෙන තැනක මම වෙන තැනක එහෙම ඉඳලම නැහැ මම පිටරට ගියොත් ඇරෙන්නෙ. එළියට ගියත් අපි ෆැමිලි එක්ක විදිහටමයි එළියට යන්නෙ. මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි රෑ කෑම වේල පවුලක් එකට ගන්න ඕනෙ කියන එක. පවුලෙ ඔක්කෝම එක මේසයේ ඉදගෙන කන්න පුළුවන්කම තියෙන්න ඕනෙ. ගෙදර ඉන්නව නම් කිසි දවසක අපි වෙන වෙනම කෑම ගන්නෙ නෑ. ඒ කාලේ අපට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් වෙනවා. අපිට තියෙන්නෙ බොහෝම සරල පවුල් ජීවිතයක්.
පුතාට දැන් වයස කීයද?
අපේ පුතා වෙනුල් පසන්දුල. පුතාට දැන් 20 ක්. අපිත් එක්කම තමයි එයාගේ හැමදෙයක්ම. අම්මා සමහර වෙලාවට එයාට නම් සැර වෙනවා. පුතා දැන් UCL යුනිවසිටි එකේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. එයා තව අවුරුදු දෙකකින් කැනඩාවේ යුනිවසිටි එකකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පුතා කරන්නෙ IT. එයා ආසාවෙන් ඉන්නෙ මෑනෙජ්මන්ට් පැත්තට.
දුමින්දට ඔයාගේ ආදර රසාව හම්බෙන්නෙ කොහොමද?
ඇත්තටම කිව්වොත් රසාදරී ප්‍රපෝසල් එකක්. ඒ කාලෙ මම හිටියෙ පිටරට. මගේ අම්මගෙ යාළුවෙක් රසාදරිගෙ අම්මගෙත් යාළුවෙක්. ඒ යාළුකමට රසාදරීටත් ප්‍රපෝසල් හොයනවා මටත් හොයනවා. ඒ කාලෙ කසාද බදින්න කියලා ලංකාවට ආවම ආපහු හෙමීට ලංකාවෙන් මම යනවා. අම්මා මේ ප්‍රපෝසල් එක ගෙන්ල්ලා බලන්න යන්න කතා කළා. ඊට කලින් අම්මා රසාගේ පිංතූර, පේපර් අර්ටිකල් මට එවලත් තිබුණා.
මේ ළමයා තමයි ඔයාට ප්‍රපෝස් කරලා තියෙන්නෙ කියලා පෙන්නුවා. මම ඉතින් හා හා කිව්වා. අපි කවදාවත් හම්බ වෙලා නෑ. ප්‍රපෝසල් එකෙන් තමයි මුලින්ම දකින්නේ. රසා හිටපු ටෙලිඩ්‍රාමා එකක්වත් මම බලලා තිබ්බෙ නැහැ. ඕෂීන් පවා බලලා තිබුණේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා රසා ගැන මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ප්‍රපෝසල් එකේදී අපි හඳුනගත්තා. මම ඒ ගෑනු ළමයාට කැමතියි කිව්වා. එහෙම තාමයි අපි විවාහ වුණේ.
බඳින්න කලින් මොනවගේ ඉල්ලීමක්ද කළේ ?
ප්‍රපෝසල් එකෙන් අපි හම්බෙනකොටත් ඇය කලාවට සම්බන්ධ කෙනෙක්. ඇයට ජනප්‍රියත්වයක් තිබුණා.එයාගෙන් ඉල්ලීමක් කළා ටෙලිඩ්රාමාවලින් අයින් වෙන්නෙ කියලා. හැබැයි එයාගේ වොයිසින්, එනවුන්සින් කරන්න ප්‍රශ්නයක් නැහැ කිව්වා. මට ඕනෙ වුණේ මම ගෙදර එනකොට මගේ වයිෆ් ගෙදර ඉන්න කෙනෙක් වෙන්න. ඒක මම ආස කරපු දෙයක්. අදටත් මම ඒ දේ බලාපොරොත්තු වෙනවා. එයත් ඒකට කැමති වුණා. එයත් ආසාවෙන් හිටියේ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න.
එයාගේ ටැලන්ට් එකට බාධා කරන්න මට ඕන වුණේ නෑ. ඒ කාලේදි එයාට ඔෂීන්ගේ වොයිස් එකට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබුණා. ඒකට සහයෝගය මම දිගටම දුන්නා. ටීවී ප්‍රෝගෑම්වලට එයාව උදේ 5 ට පවා එක්කගෙන ගියා. අදටත් අපි ක්‍රියාත්මක කරන්නේ එදා අපි ගත්ත තීරණයම තමයි.
ගෙදර වැඩකටයුතු බොහෝමයක් හරි හරියට කරන අතර වාරයේදී ඉඩ ලැබුණ සැනින් ඔෂීන් හඬේ අයිතිකාරිය අපිත් එක්ක එකතු වුණා…
කොහොමද රසාදරී?
මේ දවස්වල නම් ගෙදර ඉන්න මට වැඩි කාලයක් තියෙනවා. මම එච්චරම කාර්ය බහුල නෑ. පෝයට මම ප්‍රෝගෑම් එකක් කරනවා. හඬ කැවීමේ පුහුණු පාඨමාලාවල දේශනවලට සහභාගී වෙනවා. ඒ දෙක තමයි නිළ වශයෙන් කරන්නෙ. ඉඳලහිටලා වෙළෙඳ දැන්වීම්වලටත් එකතු වෙනවා.
ඇයි එහෙම වුණේ?
නිර්මාණකරණය අඩුවෙලා. ඒක අපට පැහැදිලිව පෙනෙන දෙයක්. ඒ අඩුවීමත් එක්ක මම කොහොමටත් තෝරගෙන වැඩ කරපු කෙනෙක් නිස මට කොහොමටත් වැඩ ටිකක් අඩුම වුණා. මගේ අම්මගෙ වයස දැන් අවුරුදු 86 ක්. එයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. නමුත් පොඩ්ඩක් තනියම ගෙදර ඉන්න බය ගතියක් තියෙනවා. එයා සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතයෙ ඕෂීන් එයා කියලයි මම කියන්නෙ.
එයා හරි හයිය කෙනෙක්. නමුත් වයසත් එක්ක එයා හිතන්නෙ එයාට තනියෙම ඉන්න බයයි කියලා. මම යන්න ලෑස්ති වුණොත් ඔයා යනවාද ? කීයටද එන්නේ ? ප්‍රශ්න සීයක් අහනවා. මූණ ඇද කරගන්නවා. ඒ නිසා මම එළියට යන ගමන්බිමන් වගේ දේවල් දැන් ගොඩක් අඩුකරගෙනයි තියෙනවා. එතකොට තමයි හිතෙන්නෙ ගෙදර කොච්චර වැඩ තියෙනවද කියලා. ඉවර වෙන්නෙ නැති වැඩ තියෙන්නෙ ගෙවල්වල.
හස්බන්ඩ් හැමදේටම උදව් කරනවනේ?
ඇත්තටම ඔව්. එයා මට වඩා කර්යබහුලයි. ඒ ව්‍යාපාර නිසා. සමාජ සේවාවත් කරනවනේ. එයා මට ලොකු සහයෝගයක් දෙනවා. පුතත් අපරාදේ කියන්න බැ. මට තනියෙන් කරගන්න බැරි වැඩවලට ගොඩක් උදව් කරනවා. සතියට එක දවසක් කිලීනින්වලට උදව් කරන කෙනෙක් අපට එනවා. එහෙම නැතුව සර්වන්ට්ස්ලා අපිට නෑ. අම්මත් එයාට පුළුවන් විදිහට මට පොඩි සපෝට් කරනවා .
පුතා කලාවට සම්බන්ධයිද?
එයාට ටැලන්ට්ස් තියෙනවා. පුංචිම කාලේ මාත් එක්ක එයත් ඩබින් කළා. අඩ්වටීස්මන්ට් එකකත් හිටියා. ඒක කළේ ලයිෆ්බෝයිවලින් හැන්ඩ් වොෂ් ඩේ එකට. එකම දේ සියපාරක් කරපු නිසා පුංචි කාලෙදීම එයා කිව්වා මම නම් මේවා කරයි කියලා හිතන්නෙ එපා අම්මා කියලා. මට නම් මේවා හරිම බෝරිං කිව්වා. ඒත් සැහෙන කාලයක් මාත් එක්ක ඩබින්වලට නං ආවා. මගේ පුතා විදිහටත් ඩබින් කළා. ටිකක් ලොකු වෙනකොට කිව්වා මම අප්පච්චි වගේ වෙනවා කියල. අප්පච්චි ස්පෝට්ස් පැත්තටනේ බර. නමුත් දැන් මට තේරෙනවා එයා ෆුට්බෝල්, ක්‍රිකට්, කරාතේ කරන අතරේ කලාවටත් අයේ පොඩි නැඹුරුවක් තියෙන බව.
ජීවිතයට කලාව සම්බන්ධවීම කොයිතරම් වටිනවාද රසාදරී?
ඒකට හොඳම උදාහරණය මම. මම හැමතිස්සේම කියන්නෙ අපි පුංචි පවුලක් කියලා. මම නැති වෙන්න පුළුවන්. අප්පච්චි නැතුවෙන්න පුළුවන්. එතකොට ඔයා තනිවෙනවනෙ. එතකොට ඔයාගේ ජීවිතයට අපහසුවක් දැනේවී විඳින්න දෙයක් නැතිවුණොත්. ඒ නිසා
මම නිතරම එයාට සිංදු අහන එකේ වටිනාකම කියල දෙනවා. පොඩ්ඩක් ඩ්‍රාමා වර්ක්ශෝප් එකකටත් දැම්මා. මුලින්ම දැම්මෙ ජයලාල් රෝහණ අයියා ගාවට මොකද මම ඉගෙන ගත්තෙත් එයාගෙන් නිසා. ඒත් ඒකට යන්න වුණේ මාස 3 ක් වගේ. එයා නැති වුණා.
මෑතකදී හේමන්ත ප්‍රසාද්ගේ ඩ්‍රාමා වර්ක්ශෝප් එකකට පුතාව දැම්මේ. ඒකෙන් පස්සෙ මම එයාගෙ පොඩි වෙනසක් දැක්කා. කතාකරන විදිහ හිතන පතන විදිහ පවා වෙනස් වුණා. ඒකේ ඇඩ්වාන්ස් වර්ක්ශෝප් එකටත් යන්න කැමැත්තෙන් ඉන්නවා. මගේ බලකිරීමක් නැහැ. එයත් කලාව හොබී එකක් විදිහට තියාගෙන ඉන්නවා නම් කැමතියි. ඩබින් ආටිස් කනෙක් වීම මම එන්ජෝයි කරනවා වගේම අන්තිමට මගේ ඉන්කම් එකත් වුණා. මට ඕනෙ මගේ පුතා සුන්දර මනුස්සයෙක් වෙන එක දකින්න.
කොහොමද ඔෂීන්ට තවමත් ලැබෙන ප්‍රතිචාර?
දැන් ඉස්සරට වඩා වැඩියි. කන්දක් සේමා චිත්‍රපටයත් දැන් ඇවිල්ලනෙ. ඔෂීන්වල තියෙන්නේ මේ කාලේ වගේ අභියෝගාත්මක කලයක්නේ. මම හිතන්නේ ඒ සිස්ටම් එක තමයි හරියන්නෙ. ගෙවල් අතුළේ දැන් තියෙන ප්‍රේෂර් එක දරාගන්න ඔෂීන් කෙනෙක් ගෙදරක ඉන්නම ඕනේ. එයා හැමදේම දාරාගෙන අනෙක් අයව හිනස්සලා සතුටු කරනවා. කිසිදෙයකින් සැලුනේ නැති කෙනෙක් නේ.
රාබු බත් එක පවා ආදරෙන් දෙනකොට මිනිස්සු ඒක සතුටින් කෑවා. තාමත් ළමයි යූටියුබ් එකෙන් හරි ඔෂීන් බලනවා මම දකිනවා. මේ කාලේ ඕෂීන් පෙන්නනවා නම් හොඳයි කියලා කියනවා ඒකෙන් අයෙමත් අපේ ජීවිතය ධෛර්යමත් කරගන්න ඕන කියලා එයාලා හිතනවා. නරක දේවල් පෙන්වනවාට වඩා පරණ දේවල් රීපීට් කරාට කමක් නෑ කියලා මමත් හිතනවා.
රූපවාහිනියේ සවස 6.30 බෙල්ට් එක හැදුවේ ඔෂින් අයේ දාලා. අතුල සර්ට පවා ඒ ගැන ඩවුට් එකක් තිබුණා. දැන් තියෙන කොරියන් ඩ්‍රාමවල පික්චර් කොලිටි එක දැකපු ළමයි මේ පරණ ඩ්‍රාමා එකට කැමති වෙයිද කියලා. නමුත් අලුත් ජෙනරේෂන් එක පරණ ඕෂීන් ආදරයෙන් වැළඳගත්තා. ඒ ළමයින්ගේ අම්මලා තමයි මුල් ඔෂින් බලලා තිබුණේ. ඒ නිසා මට දැන් පොඩි රසික කොටසකුත් ඉන්නවා.
ජීවිතය ගැන මොනවද හිතන්නේ රසාදරී?
ඇත්තම කතාව මම යන්න හිටිය පැත්තෙ නෙමෙයි දැන් ඉන්නේ. මගේ හීනේ තිබුණේ ලංකාවේ හොඳ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න. ඒකට අවශ්‍ය කරන දේවල් තමයි මම කළේ. මම විශ්වවිද්‍යාලයට ගියේ රූපවාහිනියේ ප්‍රසන්ට කෙනෙක් වෙන්න ඕන නිසා. ඒ කාලේ ප්‍රසන්ට කෙනෙක් වෙන්න උපාධියක් තියෙන්න ඕනෙ කියලා තිබුණා. මම ඩ්රාමත් කරනවා, රේඩියෝ එකේ රස්සාවත් කරනවා, ඒ අතර යුනිවසිටිත් යනවා මේ ඔක්කෝම බැලන්ස් කළේ මගේ ටාර්ගට් එකට යන්න ඕන නිසා. කොහොම හරි ජාතික රූපවාහිනීයෙ ආයුබෝවන් මැදිරියට යන්න තිබුණු හීනය මම සැබෑ කරගත්තා.
කාලයත් එක්ක කැලණිය විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා හිතුවා කසාද බදින්න ඕනෙ කියලා. ඒ වෙනකොට මගේ නංගිත් මැරි කරලා හිටියේ. ඊටපස්සෙ ආයේ හිතුණා මීඩියා පැත්තෙන් මගේ හීනයට යනවා කියලා. අපේ අම්මා එක්ක බේරෙන්න බැරිවුණා. හැබැයි මම මැරි කළොත් හීන දෙකක් එකට නොයන බව දැනගත්තා. අම්මා තමයි ටාර්ගට් දුන්නේ ජීවිතයට බැරියස් දාලා ඒවා උඩින් පනින්න. ඒ වෙනකොට නංගිට බබා ලැබිලත් තිබුණා.
ඒක මගේ ජීවිතයේ ලොකු තීරණයකට හේතුවක් වුණා. හැබැයි ඒ වෙනොකට මම ආදරය කරපු අයත් එක්ක මට ඉස්සරහට යන්න බැරිවෙලාත් තිබුණා. ඒ නොගැළපීම් සහ මගේ හීනවලට එයාලා අකැමති වීම නිසා. ඊටපස්සෙ මම අම්මට කිව්ව හොඳ කෙනෙක් හොයන්න මම කසාද බදින්නම් කියලා. අම්මා දින්නා. එහෙම තමයි මගේ ජීවිතය අද ඉන්න තැනට වෙනස් වුණේ.
හරින්දී ලියනගේ ✍️