අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ජීවත් වන කෙල්සි හැචර් පසුගිය වසන්ත කාලයේ එක්තරා උදෑසනක අවදි වුණේ වෙනදට වඩා ඇඟට දැනුණු අමුතුම අමාරුවක් එක්ක. ඒ වනවිට ඇය දරුවන් තිදෙනෙකුගේ 32 හැවිරිදි මවක්. දරුවො තුනක්ම ඉන්න කෙල්සිට මේ අමුතු වේදනාව මොකද්ද කියල තේරුම්ගන්න මහ වෙලාවක් ගියෙ නෑ. ඒ නිසා ඇය මුලින්ම කළේ එදා දවසෙ දරුවන්ගෙ සේරම වැඩ කරල සැමියා කාලේබ්ටත් හොරෙන්ම වෛද්‍යවරයා හමුවෙන්න ගිය එක.පුංචියට ඉදිරියට නෙරා ආපු කුසේ ජෙල් ටිකක් ගාලා ඩොක්ටර් ස්කෑන් එක කරද්දි තිරෙන් පෙනුණු කුඩා කලල දැකපු හැටියෙ කෙල්සිගෙ මූණෙ ඇඳුණෙ ලස්සන ලොකු හිනාවක්. ඇය සිව්වන වතාවටත් මවු පදවිය ලබලා. ඒත් ඇගේ පළමු අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයෙන් පසු ඇය ඇගේ වෛද්‍යවරයාගෙන් වැඩිදුර පරීක්ෂණයක් ඉල්ලුවේ කෙල්සිට උපතින්ම අසාමාන්‍ය කුසක් පිහිටා තිබුණ නිසයි. ඇයට ක්‍රියාකාරී ගර්භාෂ දෙකක් පිහිටා තිබුණා. ඒ අනුව වෛද්‍යවරයා නැවතත් කලින් ස්කෑන් කළ පැත්තට විරුද්ධ පැත්ත ස්කෑන් කරද්දි දුටු දෙයින් ඔහු පුදුමයට වගේම කම්පනයටත් පත්වුණා. ඔහු දුටුවේ කෙල්සිගෙ ගර්භාෂ දෙකෙහි කලල දෙකක් වැඩෙමින් තිබෙන අයුරුයි. නමුත් කලල දෙකම ඉතා නිරෝගීව තිබුණ නිසා කෙල්සි ගෙදර ගියේ හිතේ සැනසීමෙන්..
“කාලේබ් අපි ආයෙමත් දෙමව්පියන් වෙන්නයි යන්නෙ” ඒ සුබ පුවත ඇය සැමියාට පැවසුවා. “නමුත් මගේ ගර්භාෂ දෙකේ දරුවන් දෙදෙනෙක් වැඩෙනවා.” කෙල්සිගේ මුවින් පිටවුණ වචන විශ්වාස නොකරපු කාලේබ් ඇයට කිව්වෙ “කරුණාකරලා බොරු කියන්න එපා” කියලයි. ඒ සැණින් ඇය ඇගේබෑගයේ තිබූ ස්කෑන් ඡායාරූපය ඔහු අතින් තියනවා.
විශ්වාස කරන්න අපහසු වුණත් අම්මලා මිලියනයකින් එක්කෙනෙකුට සිදුවෙන මේ අරුම පුදුම දේ තමන්ගෙ බිරිඳටත් සිද්ධ වෙලා කියල පිළිගන්න කාලෙබ්ට සිද්ධ වෙනවා. එදා ඉඳලා කාලේබ් හිටියේ බිරිඳගේ අධි අවදානම් දරු උපත ගැන තැවිල්ලෙන්.
ඒ මොකද ඇයව බාර ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ ස්වේතා පටේල් පවසා තිබුණ විදිහට කෙල්සිගේ ගැබ්ගැනීම ඇත්තේ ඉහළම අවධානමක. මේ සිදුවීම වෛද්‍ය ඉතිහාසයේ පෙරලිකාරම සිදුවීමක් වන අතරම දැනට කලලවල තත්ත්වය සාමාන්‍ය වුවත් ඊළඟ ගැටලුවට මුහුණ පාන්නට සිදුවන්නෙ ප්‍රසුතිය අවස්ථාවේ බව වෛද්‍ය ස්වේතා පවසා තිබුණා. ඇයට ලැබෙන්න ඉන්නේ දියණියන් දෙදෙනෙක්.මේ අවධානම් උපතේ විශේෂම සහ ආකර්ෂණීයම දේ මේ බිලිඳියන්ට මේ ලෝකෙට එන්න වෛද්‍යවරුන් දින දීලා තියෙන්නේ එළඹෙන නත්තල් දිනයට.
මේ වෙනකොට වෛද්‍යවරුන් අතර මේ දරු උපත පිළිබඳව බොහෝ සංවාද සිදු වෙමින් පවතිනවා වගේම ප්‍රසූතිය වෙනුවෙන් විශේෂිත වෛද්‍ය කණ්ඩායමක්ද සැදී පැහැදී ඉන්නවා. වෛද්‍යවරුන් පවසන විදිහට කෙල්සිට එක් දරුවෙකුට ස්වභාවික උපතක් ලබාදිය හැකි වුවත් අනෙක් දරුවාට උපත ලබාදීමට වෙනත් ක්‍රමයක් එහෙමත් නැත්නම් Plan B එකක් සූදානම් කරගතයුතු වෙනවා.
ඒ වගේම මේ සිඟිත්තියන් දෙන්නා ගර්භාෂ දෙකක ඉන්න නිසා එකම වෙලාවක ඉපදෙයිද නැතිනම් පැය කිහිපයක, දින හෝ සතියකින් පමණ එක් දරුවෙකු ප්‍රමාද වෙයිද කියන ගැටලුවත් වෛද්‍යවරුන්ට තියෙනවා.
වෛද්‍යවරුන්ට සෑම ගර්භාෂයක්ම නිරීක්ෂණය කර සංකෝචනය වන්නේ කුමන ගර්භාෂයදැයි බලන්න සිදුවෙනවා. මේ ගැබ් ගැනීමේදි මතුවෙන අනිත් උභතෝකෝටිකය තමයි සෑම දරුවෙක්ටම තමන්ගෙම ගර්භාෂයක් හා වැදෑමහක් තිබීමත් සමඟ සාමාන්‍යයෙන් නිවුන් දරුවන් බිහිවුණත් මේ සිඟිත්තියන් දෙදෙනා වෙන වෙනම ගර්භාෂවල සිටින නිසාවෙන් මොවුන් නිවුන් දරුවන් වෙනවාද නැද්ද යන්නයි.
නමුත් වෛද්‍ය පටේල් සඳහන් කරන්නෙ මෙම සිදුවීම වෛද්‍යමය වශයෙන් කෙතරම් දුර්ලභ වුවත් ඔවුන් දෙදෙනා ගර්භාෂ දෙකක හැදුණත් නිවුන් දරුවන් ලෙස හඳුන්වනවාට වඩා වෙනත් විස්තර කිරීමක් ඔවුන්ට නොමැති බවයි.
බොහෝ දුරට මෙවැනි දෙයක් සිදුවන්නේ වෙන වෙනම ඩිම්බ මෝචනය වීමත් ගර්භාෂයේ සෑම පැත්තකින්ම එක් ඩිම්බය බැගින් බැස තිබීමත් සහ පසුව එක් එක් ගර්භාෂය මත ශුක්‍රාණු ගමන් කර වෙන වෙනම සංසේචනය වීමත් නිසා විය හැකි බව වෛද්‍ය පටේල් පෙන්වා දෙනවා.
කෙසේවෙතත් මේ දරු උපතත් සමඟ දරුවන් පස්දෙනෙකුගේම මව්පියන් වීමට සිටින කෙල්සි සහ කේලබ් පවසන්නෙ නත්තල් දිනයේ ඉපදෙන්නට ඉන්න මෙම බිළිඳුන් දෙදෙනා ඔවුන්ගේ අවසන් දරුවන් වන බවයි. “ලොව වටෙන්ම ලැබෙනා ආශිර්වාද වෙනුවෙන් අපි කෘතඥ වෙනවා. නමුත් මෙය නිසැකවම අවසානය වනු ඇත.” ඇය එලෙස පවසා තිබුණා.
එරංදි කෞශල්‍යා ✍️