බැසිලිකා සිද්ධස්ථානයේ පරිපාලක ගරු ශ්‍රියානන්ද ප්‍රනාන්දු පියතුමා
දෙසැම්බරයේ පටන්ගැන්මත් එක්කම දැනෙන සීතල අපිට අඟවන්නෙ නත්තල ළඟ ළඟම එන බවක්. ආගම් බේදයකින් තොරව අපි කවුරුත් කැමතියි නත්තල් කාලයට. යුධ ගිනි අතර පිපුණු කුසුමක් වන් ජේසුස් වහන්සේගේ උපත සමරන්න ලොව පුරා කිතුනු බැතිමතුන් මුළු දෙසැම්බරයේම සූදානම් වෙද්දි නවලිය අපිට හිතුණා ලංකාවේ විශාලතම කිතුනු දේවස්ථානය වන ලංකා අප ස්වාමිදුවගේ දේවස්ථානය එහෙමත් නැත්නම් බොහෝදෙනා අතරේ ප්‍රචලිත රාගම බැසිලිකා දේවස්ථානය මෙදා පාර නත්තලට සූදනම් වන හැටි බලන්න යන්න.
දකුණු ආසියාවේ දෙවනුවට විශාලතම දේවස්ථානය වගේම ලංකාවෙ ඇති එකම බැසිලිකා දේවස්ථානය තියෙන්නෙ විශාල රබර් වතුයායක් මැද්දේ. මේ දේව අඩවියට පය තියද්දි හිතට දැනෙන සැනසීම, ආධ්‍යාත්මික සුවය වචනයෙන් විස්තර කරන්න බැරිතරම්. අපි යද්දි පල්ලිය නත්තල් සැරසිලිවලට නම් සූදානම් වෙලා හිටියෙ නෑ. ඒ නිසා අපි ගියා ජාතික බැසිලිකා සිද්ධාස්තානයේ පරිපාලක ගරු ශ්‍රියානන්ද ප්‍රනාන්දු පියතුමා එක්ක මෙදා පාර නත්තලේ විශේෂත්වය ගැන ටිකක් කතාබහ කරන්න…
පියතුමනි කොහොමද මෙවර නත්තලට පල්ලියේ සූදානම?
දේවස්ථානයක් විදිහට අපි නත්තලට දෙවිදිහකට සූදානම් වෙනවා. මූලිකවම වෙන්නෙ ආධ්‍යාත්මිකව සූදානම් වෙන එක. ඊටපස්සෙ ඒ ආධ්‍යාත්මය මිනිසුන් අතරට ගෙනියන්න බාහිරින් සූදානම් වෙනවා. අපේ දේව වන්දනා ලිතේ පරිච්ඡේදයක් තියෙනවා නත්තල වෙනුවෙන් සති හතරක් එකදිගට සූදානම් වීමක් ගැන. එය හඳුන්වන්නේ ආගමන කාලය කියලා. ඉරු දින හතරක තමයි මේ සූදානම වෙන්නේ. ඒක හරිම වැදගත්. මොකද ආගමන කාලෙ අපි ඉටි පන්දම් දල්වලා සූදානම් වෙන්නෙ ජේසුස් වහන්සේගේ පැමිණීමට.
උන්වහන්සේ නැවතත් ඉතිහාසයේ වගේ ගවලෙනක උපදින්නෙ නෑ. නමුත් කිතුනු බැතිමතුන් උන්වහන්සේගේ නැවත පැමිණීමක් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ නැවතත් මේ ලෝකෙට එන්නෙ ලෝකෙ අවසාන දවසේ රජෙක් විදිහට අපිව විනිශ්චය කරන්න. ඒක විශ්වාසයෙන් තමයි අපි නත්තලට සූදානම් වෙන්නේ.
නත්තලට පෙර සූදානම ගැන සඳහනක් කළොත්…
ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන දේශනා කරපු අවසාන දිවැසිවරයා කියනවා උන්වහන්සේ නැවතත් ලෝකයට එද්දි අපේ ජීවිතවල ඇද නැති මාවතක් සකස් කරලා තියාගන්න කියලා. ඇද නැති මාවතක් සකස් කරගන්නෙ නිදොස්, සත්‍යවාදී ජීවිතයක් සකසාගැනීමෙන්. ඒ වෙනුවෙන් අපි නත්තල් ආගමන කාලෙ සති හතරෙදි ඉටි පන්දම් පහක් දල්වනවා. දම් පාට ඉටිපන්දම් තුනක් අපි පළමු සහ දෙවෙනි ඉරිදා ආගමන කාලෙදි දිව්‍ය පූජා යාගයට දල්වනවා. තුන්වෙනි ඉරිදා දල්වන්නෙ රෝස පාට ඉටි පන්දමක්.
දම් පාට ඉටිපන්දම්වලින් කියවෙන්නෙ පසුතැවිලි වීම සහ සූදානම් වීම. රෝස පාට ඉටිපන්දමෙන් කියවෙන්නෙ සතුට. අවසානයේ නත්තල් දා රාත්‍රියේ මේ ඉටිපන්දම් හතර මැද්දෙන් සුදු පාට ඉටිපන්දමක් දල්වනවා. සුදු ඉටිපන්දමෙන් අදහස් වෙන්නෙ ජේසුස් වහන්සේගේ ශුද්ධත්වය සහ පවිත්‍රත්වය. උන්වහන්සේගෙ ආලෝකයත් ඉන් අදහස් වෙනවා. ඔය විදිහට තමයි අපි නත්තල වෙනුවෙන් පෙර සූදානමක් වෙන්නේ.
අද නත්තල කිතුනු බැතිමතුන් විතරක් නෙවේ වෙනත් ආගම්වල බැතිමතුනුත් සමරනවා. මේ ආගමික සංහිඳියාව ගැන පියතුමා මොකද හිතන්නෙ?
දහමක් කිව්වම හැම මනුස්සයෙක්ටම ගන්න පුළුවන් පොදු ධර්මතාවයක් තියෙනවා. කිතුනු දහමෙ තියෙන එක ධර්මතාවක් තමයි ප්‍රේමය. ප්‍රධානම ධර්මතාව සාමය. ප්‍රේමයට කවුරුත් කැමතියිනෙ. ප්‍රේමය නැතුව පැවැත්මක් නෑ. හැම ආගමකම තියෙනවා සතුටක්. ඒ සතුට විඳින්න ආගම් බේදයකින් තොරව කවුරුත් කැමතියි.
ඒකයි දැන් කිතුණු බැතිමතුන්ට අමතරව වෙන වෙන ආගමික බැතිමතුනුත් නත්තල් ගස් හදාගෙන,බල්බ් වැල් දාගෙන නත්තලට සූදානම් වෙන්නෙ. ඒ කෙනා කතෝලිකයෙක් වුණත් අකතෝලිකයෙක් වුණත් අන්‍ය ලබ්ධිකයෙක් වුණත් අපේ දහමෙන් ගන්න දෙයක් තියෙනව නම් ඒක තමයි අපෙත් සතුට. ආගමික සංහිඳියාව කියන්නෙ අනිවාර්යයෙන්ම රටක තියෙන්න ඕනෙ දෙයක්.
මෙදා පාර නත්තලේ විශේෂයක් තියෙනවද?
කිතුනු බැතිමතුන් විදිහට මෙදා පාර නත්තල ගැන සතුටකුත් ඒ වගේම කණගාටුවකුත් තියෙනවා. එකක් තමයි ලෝකයේ පවතින යුධ වාතාවරණය. ජේසු ඉපදෙන්නෙත් ළමයෙක් වගේ. යුද්ධෙ නිසා පුංචි ළමයි දාස් ගණනින් මැරෙද්දි අපි කොහොමද ඒක අමතක කරලා නත්තල සමරන්නෙ? අපේ රටෙත් එවැනි කාලයක් තිබුණා. සාමය කියන්නෙ හුදෙක් වචනයක් විතරක් නෙවේ.
සාමය කියන්නෙ නිහඬතාව නෙවේ. එහෙම නම් සාමයට හොඳම තැන කනත්ත. සාමය කියන්නෙ කරුණු හතරක ප්‍රතිඵලයක්. ඒ තමයි සත්‍ය, සාධාරණත්වය, සමානාත්මතාවය සහ සහෝදරත්වය. අපේ රටේ ඔය එකක්වත් නෑ. ඒ නිසා බොරුවට නත්තලේ විතරක් සාමය ගැන කතා කරලා තේරුමක් නෑ. නමුත් නත්තලේ අඳුරු සේයාවන් තිබුණත් සතුටු සේයාවකුත් අපිට තියෙනවා.
විශේෂ දේව මෙහෙය
සාමාන්‍ය පරිදි 24 වෙනිදා රාත්‍රියේ 11.45 ට දිව්‍ය පූජාව පටන්ගන්නවා. රෑ දොළහට ජේසු බිලින්දව ගව ලෙනෙන් තියන වෙලාව වෙනකල් දේව මෙහෙය පැවැත්වෙනවා. 25 වැනිදා අළුයම තමයි දේව මෙහෙය අවසන් වෙන්නෙ. ඊටපස්සෙ පෙ.ව. 09.30 ට ඉංග්‍රීසි බසිනුත් 11.00ට සිංහල බසිනුත් 12.30 ට දමිළ බසිනුත් දිව්‍ය පූජාව පැවැත්වෙනවා.
මොකද්ද මේ පඬුරු පෙරහැර?
අපි බැතිමතුන්ගෙන් එකතු කරන විවිධ දේවල්වලින් තමයි පඬුරු පෙරහැර තියන්නෙ. වියළි ආහාර තමයි වැඩිපුරම තියෙන්නෙ. පඬුරු පෙරහැර තියන්න හේතු දෙකක් තියෙනවා. එක අන් අය සමඟ බෙදාහදාගැනීම. දෙක මීසමේ ස්වාමිගේ නඩත්තුව සඳහා යම්කිසි දෙයක් ප්‍රධානය. පඬුරු පෙරහැරෙන් එකතු වෙන දේවල් අපි දිළිඳු ජනතාවට දෙනවා. නත්තල් කාලෙට ආධාර ඉල්ලගෙන මිනිස්සු එනවා වැඩියි.
පියතුමාගෙ පුංචි කාලෙ නත්තල මොන වගේද?
මම ඉපදුණේ 98% ක් පමණ කතෝලිකයන්ම ඉන්න ගම්මානෙක. ඒ මීගමුව පිටිපන. මම බොහොම ආඩම්බරෙන් කියන්නෙ මම ධීවරයෙක්ගෙ පුතෙක් කියලා. ආගමන කාලෙ පළවෙනි සතියෙම අපි ගමේ කොල්ලො ටික එකතු වෙලා ගවලෙන හදන්න පටන්ගන්නවා. අපේ පුංචි කාලේ සංකීර්ණ ළමා කාලයක් තිබුණෙ නෑ. අපි කල් ඇතුව නත්තලට සූදානම් වුණා. පල්ලි ගියා. දෙසැම්බර් මාසෙ පළමු දවසෙම ඒ කියන්නෙ නොවැම්බර් 30 වෙනිදා රෑ දොළහට මුළු ගමේම රතිඤ්ඤා පත්තු කරනවා. නත්තල් පූජාවට ගිහින් ගෙදර ඇවිත් නිලා කූරු, රතිඤ්ඤා පත්තු කරනවා. මුළු ගමම සද්ද බද්දවලින් පිරිලා. ඒ කාලෙ මතක් වෙද්දිත් මට හරි ආසයි. දැන් එහෙම නත්තලක් නෑ.
එදා තිබුණ උත්සවශ්‍රීයයි අද තියෙන උත්සවශ්‍රීයයි වෙනස් නේද?
ඒකට හේතුව තමයි මිනිස්සු දියුණු වෙද්දි හොඳ පැත්තට වඩා ගිහින් තියෙන්නේ නරක පැත්තට. මනුස්සයෙක් දියුණු වෙද්දි මනුස්ස මට්ටමින්ම ඉන්න ඕනෙ. වෙනදට වඩා මනුස්සකම ජනිත කරගන්න ඕනේ. නමුත් දැන් හැමෝම ඉන්නෙ ඩිජිටල් ලෝකෙක. ස්වභාවික ලෝකෙන් යන්නෙ අස්වභාවික ලෝකෙකට. අද හැමදේම අස්වාභාවිකයි. මිනිස්සු ඉන්නෙ ලොකු තරගයක. ඉතින් ඒ කාලෙයි මේ කාලෙයි දේවල් වෙනස් වෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
මේ පාර නත්තලට පියතුමාට දෙන්න තියෙන නත්තල් පණිවිඩය මොකද්ද?
ප්‍රධාන වශයෙන්ම අපේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ ප්‍රඥාවන්ත වෙන්න කියලා. අපි රටක සාමයක් බලාපොරොත්තු වෙනව නම් ඒක සංහිඳියාව එක්ක එන්න ඕන දෙයක්. අපි විවිධ ආගම් අදහන එක ඇත්ත. නමුත් කිසිම දහමකින් කියලා නෑ කාටවත් හිරිහැර කරන්න, කාවවත් මරන්න කියලා.
අපි විවිධ පැතිවලින් කන්දක් තරණය කරනව නම් කන්ද මුදුනෙදි අපි හැමෝම එකට මුණගැහෙනවා. නමුත් ඒ යන ගමනත් එකමුතුවෙන් යන්න ඕනේ. දේශපාලනය අපිව බෙදන්න හදන්නෙ එයාලගේ වාසිය තකා. මොකද ආගම් මූලික කරගෙන අපිව බේද කළොත් එයාලට පාලනය කරන්න ලේසියි.
ඒ නිසා ප්‍රඥාසම්පන්න වෙන්න. අනිත් මිනිස්සු ගැනත් තමන් වගේම හිතන්න. තමන්ට රිදෙනව නම් ඒ මනුස්සයටත් රිදෙන බව මතක තියාගන්න. දේශපාලනය අපිව බෙදන්න හදන්නෙ එයාලගේ වාසිය තකා. පවුකාර ස්ත්‍රියට ගල් ගහල මරන්න ගෙනියන වෙලාවෙ ජේසුස් වහන්සේ කියන්නෙ තමුන්ලා අතරින් පවු කරලා නැති කෙනෙක් ඉන්නව නම් ඒ කෙනා පළමු ගල ගහන්න කියලා.
හැමෝම අතේ තිබුණ ගල් බිමට දානවා. මේ ලෝකෙ වැරදි කරන මිනිස්සු නෑ. නමුත් වැරදි නොකර ජීවත් වෙන්න හැමකෙනෙක්ම උත්සාහ ගත යුතුයි. එහෙම හිතුවොත් තමයි සාමය ඇති වෙන්නෙ. සාමය වෙනුවෙන් හැමදෙනාම එකතු වෙන්න. සාමයක් නැතුව බොරුවට නත්තල් ගස් හදලා නත්තල් පප්පලව බෙල්ලෙන් එල්ලලා තිබ්බට වැඩක් නෑ.
එරංදි කෞශල්‍යා ✍️