මිනිසාගේ බහිස්රාවීය පද්ධතිය වකුගඩු, මුත්‍ර නාල, මුත්‍රාශය හා මුත්‍රා මාර්ගය යන අවයවයන්ගෙන් සමන්විත වේ. නීරෝගී මිනිසෙක් දිනකට ආසන්න වශයෙන් මුත්‍රා ලීටර් දෙකක් පමණ පිට කරන අතර යම් යම් රෝගී තත්ත්වයන් මත මේ ප්‍රමාණය වෙනස් වෙනවා. වකුගඩුවලින් සිදුවන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය දුර්වල වීම වකුගඩු රෝගීවීමක් ලෙසින් හැඳින්වෙනවා. විවිධ හේතූන් නිසා වකුගඩුවලට හානි සිදුවනවා. දීර්ඝකාලීන වකුගඩු ක්රියාකාරීත්වයේ සිදුවන අක්‍රමවත් වීම් නිදන්ගත වකුගඩු රෝග (CKD) ලෙස හැඳින්වේ.
රෝග ලක්ෂණ
ඕනෑම රෝගයක මුල් අවස්ථාවේදී යම් යම් රෝග ලක්ෂණ මතුවුණත් බොහෝ වකුගඩු රෝග තත්ත්වයන්වල දී එසේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම විශේෂයක්. නමුත් රෝගය උත්සන්න වීමත් සමග පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීමේ අවශ්‍යතාව ( විශේෂයෙන් රාත්‍රියට ) හෝ මුත්‍රා පිටවීමේ කැපී පෙනන අඩුවීමක් දක්නට ලැබීම.
මුත්‍රා පෙණ සහිත ස්වභාවයක් ගැනීම.
මුත්‍රා සමග රුධිරය පිටවීම.
කොන්ද කැක්කුම.
ඇස් වටා සහ වළලුකර ප්‍රදේශ ඉදිමීම.
අධික මහන්සිය. ආහාර අරුචිය.
මෙම රෝග ලක්ෂණවලින් එකක් හෝ කීපයක් තිබේ නම් වහාම වකුගඩු රෝග සායනයක් වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.
වකුගඩු රෝග ඇතිකරන හේතු
වකුගඩු රෝග සඳහා විවිධ හේතු බලපානවා. දිගුකාලීනව පවතින විවිධ රෝගාබාධ නිසා නිදන්ගත වකුගඩු රෝග තත්ත්වයන් ඇතිවිය හැක.
දියවැඩියාව. අධිරුධිර පීඩනය.
ගුච්ඡිකා ප්‍රදාහය – (Glomerulonephritis )
කෝෂ්ඨ රෝග – (Cystic disease)
මුත්‍රාවාහිනී පද්ධතිය ආශ්රිත රෝග.
වකුගඩු ආසාදන.
1 – බොහෝ වකුගඩු රෝග ඇතිවන්නේ දිගුකාලීනව පවතින බෝ නොවන රෝගයන්හි සංකුලතාවන් නිසාය. ඉහතින් දක්වා ඇති දියවැඩියාව සහ අධිරුධිර පීඩනය ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම යම්කිසි රෝගයක් සඳහා දීර්ඝකාලීනව වේදනා නාශක ඖෂධ ලබාගැනීම නිසාද රෝග තත්ත්වය ඇතිවිය හැකිය. ඒ නිසා මෙම වේදනා නාශක ( NSAIDS) වෛද්‍ය උපදෙසකින් තොරව භාවිත කිරීම වකුගඩුවලට අහිතකර වේ.
2 – කිසිදු විශේෂ හේතුවක් නිශ්චිතව හඳුනාගෙන නැති තත්ත්වයක් තුළ වුවද ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් වාර්තා වනවා. ඒ තත්ත්වය CKDU යනුවෙන් හැඳින්වෙනවා. කෙසේ වෙතත් CKDU සඳහා හේතු වේ යැයි අනුමාන කරන සාධක කීපයක් තිබෙනවා.
● ෆ්ලෝරයිඩ්. ● දීර්ඝකාලීන විජලනය.
● මන්දපෝෂණය. ● බැරලෝහ. ● විෂ.
● ඖෂධ. ● ප්‍රවේණිගත වකුගඩු රෝග.
● සර්ප දෂ්ඨනය. ● මී උණ වැළඳීම.
තවද කෘෂි රසායන ද්‍රව්‍ය හා පළිබෝධ හා වල්නාශක භාවිතයේදී නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම සහ ඒවාට වැඩි වශයෙන් නිරාවරණය වීම නිසාද වකුගඩු රෝග ඇතිවීමේ අවදානමක් පවතී.
අවදානම් කණ්ඩායම් කවුද?
වකුගඩු රෝග ඇතිවීම කෙරෙහි අවදානම් වැඩි පුද්ගල කණ්ඩායම් කීපයක් සිටිනවා.
දියවැඩියා රෝගීන්.
අධිරුධිර පීඩනය සහිත පුද්ගලයින්.
කෘෂි රසායන සහ පළිබෝධ කෙරෙහි වැඩි වශයෙන් නිරාවරණ්ය වන පුද්ගලයින්.
වකුගඩු රෝග බහුල ප්‍රදේශයක වාසය කරන්නන් ( අවශ්‍ය කරන සාධක ඇති )
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. ඖෂධ, ආහාර සහ ව්‍යායාම මගින් රෝග අවදානම අඩු කරගත හැකියි. දියවැඩියාව සහ අධිරුධිර පීඩනය හා ලබාගන්නා ඖෂධ මගින් වකුගඩු රෝගය ඇතිවන බවට පවතින විශ්වාසය සත්‍යක් නොවේ. බෝ නොවන රෝගීන් නිසි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිත නොකිරීම නිසා වකුගඩු රෝග තත්ත්වයන්ට ගොදුරු වෙනවා.
ඒ නිසා නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර ලබාගනිමින් රෝග තත්ත්වය හොඳින් පාලනය කරගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතු වනවා.
හඳුනාගැනීමේ පරීක්ෂණ
ක්රියටිනින් (Serum Creatinine) & EGFR
සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණ – UFR
මුත්‍රා ප්‍රෝටීන් මට්ටම – Urinary Microalbumin
මුලින් සඳහන් කළ අවදානම් පුද්ගල කණ්ඩායමට හෝ වයස අවුරුදු 40 ට වැඩි අයකු නම් ඉහත පරීක්ෂණ සඳහා යොමුවීම මගින් රෝගය වැළඳී ඇත්දැයි කල්තබා හඳුනාගත හැකියි.
මෙම පරීක්ෂණ මගින් සිදුකරන්නේ කුමක්ද?
සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය -UFR– urine full report
මේ පරීක්ෂණය මගින් මුත්රාවල ඇති ප්‍රෝටීන් සංයුතිය පරීක්ෂා කළ හැකියි. මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම නොසලකා සිටියොත් දිගුකාලීන වකුගඩු රෝග තත්ත්වය (CKD) ඇතිවීමේ අවදානමක් පවතී. දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් නිසාත් මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවෙන තත්ත්වයන් පවතින නිසා එවැනි රෝගීන් විසින් මෙම පරීක්ෂණය සිදුකරගැනීම ඉතාම වැදගත්.
මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවන තත්ත්වයන්හි මුල් අවස්ථාවේදී එය රෝගියාට නොදැනෙන නමුත් අධික ලෙස පිටවීම නිසා රුධිරයේ ප්‍රෝටීන් මට්ටම පහළ යෑම නිසා විවිධ රෝග ලක්ෂණ ඇතිවනවා.
පෙණ සහිත ස්වභාවයකින් මුත්‍රා පිටවීම.
රක්තහීනතාව.
කොන්ද ආශ්‍රිතව ඇතිවන වේදනාව.
සිරුරේ ඉදිමුම ( ඇස් අවට සහ දෙපා වළලුකර )
ක්‍රියේටිනින් Serum Creatinine
මේ මගින් වකුගඩු ආශ්රිත සංකුලතාවන් හඳුනාගත හැකියි. ඒ අනුව අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මණින් යොමුවීම වැදගත්.
E-GFR පරීක්ෂණය
වකුගඩු රෝග තත්ත්වය අවස්ථා පහකට බෙදා දැක්වීමක් මෙම පරීක්ෂණයේදී සිදුකෙරේ. පළමු අදියර මුල් අවස්ථාව ලෙසත් 5 වන අදියර රෝගයේ උත්සන්න අවධිය ලෙසත් කාණ්ඩ කෙරේ. මුල් අදියරේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමවුණොත් රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගැනීමේ හැකියාව ලැබෙනවා.
වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර
වකුගඩු රෝගය වැළඳී ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර ක්‍රමද විවිධාකාරයෙන් සිදුකෙරේ. ඒවා රෝගියාගේ ස්වභාවය හා රෝගයේ පවතින ස්වභාවය මත වෙනස් වේ.
ඖෂධ මගින්
රුධිර කාන්දුකරණය – (Hemodialysis )
පෙරිටෝනියම් කාන්දුකරණය – 🙁 CAPD )
බද්ධකරණය
වකුගඩු රෝග තත්ත්වය මූලික අවස්ථාවේදී පාලනය කිරීම හෝ සුවකිරීමට හැකියාවක් පැවැතියද රෝගය උත්සන්න වූ විටක එනම් GFR අදියර 5 දක්වා යෑමක් සිදුවුණොත් කාන්දුකරණය හෝ බද්ධ කිරීම වැනි ප්‍රතිකාරවලට යොමුවිය යුතුය. 5 වන අදියර දක්වා උත්සන්න වුවහොත් සිදුකළ යුතු ප්‍රතිකාර ක්‍රම රෝගියාට තරමක් අපහසු හා වියදම් සහිතය. එමෙන්ම නොසැලකිලිමත් බව හේතුවෙන් කාන්දුකරණය හෝ බද්ධ කිරීම් වැනි ප්‍රතිකාරවලට අනවශ්‍ය ලෙස යොමුවීම නිසා රටේ ආර්ථිකයටත් බලපාන බැව් කිව යුතුය. ඒ නිසා මුල් අවස්ථාවේදීම වකුගඩු රෝග සායන වෙත ගොස් රෝගය සුවකර ගැනීම හෝ පාලනය කරගැනීම රෝගියාට වගේම රටක ආර්ථිකයටත් සුබදායකයි.
වකුගඩු රෝග වළක්වා ගැනීමට උපදෙස්
දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන කාණ්ඩයේ රෝග තත්ත්වයන් කල් තබා හඳුනාගැනීම සහ ඊට අවශ්‍ය ඖෂධ සුදුසු ආහාර, ව්‍යායාම වෙත යොමුවීම වැදගත් වනවා.
වයස අවුරුදු 40 පමණ වන විට රුධිරයේ සීනි මට්ටම සහ අධිරුධිර පීඩනය හඳුනාගැනීමේ පරීක්ෂණ වෙත යොමුවීම වැදගත්.
සාමාන්‍ය පුද්ගලයකු දිනකට වතුර ලීටර් දෙකක් වත් පානය කිරීම සුදුසුයි. මේ තත්ත්වය රැකියාවේ ස්වභාවය මත වෙනස් වේ. එළිමහනේ වැඩි වේලාවක් ගතකරන සහ දහඩිය වැඩිපුර පිටවෙන පුද්ගලයන්ට මෙම ප්‍රමාණය වැඩි විය යුතුයි.
අධික ලුණු භාවිතයෙන් වැළකීම.
දීර්ඝකාලීනව ලබාගන්නා (NSAIDS) වේදනා නාශක අනවශ්‍ය ලෙස ලබා නොගැනීමත් ඒවා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබාගැනීම.
කෘෂි රසායන ද්‍රව්‍ය සහ පළිබෝධ නාශක භාවිතයේදී නිසි ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම.
සර්පයින් දෂ්ට කිරීම් වළක්වා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ එවැනි දෂ්ටනයකදී ඉක්මන් හා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම.
මී උණ වැළඳීමට ඇති ඉඩ වළක්වා ගැනීම.
මී උණ හා මුත්‍රා ආසාදන වැළඳීමක් සිදු වුණොත් ඉක්මන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම.
මේ අනුව වකුගඩු රෝග වර්ග බොහොමයක් ඇති අතර ඒවා වැළඳීමටත් විවිධ හේතු බලපානවා. එබැවින් රෝගයෙන් වැළැකීමේ පිළියම් කල්තබා හඳුනාගැනීමත් අවදානම් කණ්ඩායමක සිටිනවා නම් රෝග හඳුනාගැනීමේ පරීක්ෂණ වෙත යොමුවීම මගින් රෝගය කල්තබා හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමුවීම මගින් ඔබටත් රටටත් ඉතා යහපතක් සිදුවන බැව් සඳහන් කළ යුතුයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️